Saturday, July 30, 2016

කොළොම්පුරේ කිඹුල් දොරටුව

යමුද කොළොම්පුරේ කිඹුල් දොරටුව පැත්තට? කිඹුල්ලූ? කොළඹ කොහේද කිඹුල්ලූ? ඔන්න ඇහැව්වා ප‍්‍රශ්නයක්. අහලා තියෙනවාද කයිමන් දොරකඩ ගැන? එ්කට තමයි කිඹුල් දොරටුව කියන්නේ. එන්න යමු, ගිහිල්ලා කිඹුල් දොරටුව බලාගෙන අතීතයේ සැඟවුනු කතන්දරේ දැනගෙන එන්න. 



කිඹුල් දොරටුව කොහේද? කොතැනද තියෙන්නේ?
එහෙනම් ඉස්සෙල්ලාම තියෙන ඉසව්ව හොයාගෙන යමු. කොළඹ රජ වීදිය (Konings street / Kings street) නමින් එදා හැඳින්වු පිටකොටුවේ කෙලින් වීදියේ (Main Street) එහා කෙළවරේ පැරණි නගර සභා ගොඩනැගිල්ල පෙනෙන මානේ කාටත් නොපෙන ලෙස හුදුකලාවු ඝාන්ඨාර කුළුණක් තියෙනවා. අතීතයේ කයිමන් දොරකඩ ඝාන්ඨාර කුළුණ (Belfry at Kayman’s Gate) නමින් හැඳින්වුනු මේ කුළුණ කාගෙවත් අවධානයට ලක්නොවි තියෙනවා. ආරුක්කු හැඩයෙන් යුක්ත මිටර් හතරක් පමණ උස මේ කුළුණ තියෙන තැන තමයි මේ අපි කතා කරන කිඹුල් දොරටුව පිහිටලා තිබුනේ. මෙතැන සන්නද්ධ මුරභටයෙක් රදවලා තිබ්බ මුරගෙයක් එහෙමත් තිබුනා. පස්සේ කාලෙක මේ මුරගෙය කැඩිබිදි නටබුන් වෙලා ගිහිල්ලා කොටුව පිටකොටුව ජනාකීර්ණ වෙළඳ පොලක් බවට පත්වූනා.

පෘතුග‍්‍රීසින් සිංහලයන් හමුදාවන්ගේ ප‍්‍රහාරයන් වලින් බේරෙන්න හැදුව ආරක්ෂක උපක‍්‍රමයක්වුනේ බේරේ වැව කොළඹ කොටුව වටා ඉදිකරපු එක. ලන්දේසින් කොළඔ නගරය පෘතුග‍්‍රීසින්ගෙන් අල්ලගන්නා විට බලකොටුව තනා තිබ්බේ කබොක් ගලෙන් කියලයි සඳහන් වෙන්නේ. ඉතිං මේ බලකොටුවට ඇතුල්වෙන්න තිබුනේ දොරටුවලින් පමණයි. අපි මේ කියන කිඹුල් දොරටුව තිබ්බේ උතුරු පැත්තේ. ශාන්ත ජෝන් ඇල මතින් පාළමකින් එතෙරවෙලා තමයි බලකොටුවට ඇතුල්වෙන්න ලැබුනේ. මේ ශාන්ත ජෝන් ඇල බේරේවැවට සම්බන්ධවුනු නිසා මේ ඇලේ කිඹුලන් විශාල විදිහට හිටියා. කිඹුලන්ගෙන් බලකොටුවට ආරක්ෂාවක්ද ලැබුණා. පස්සේ කාලෙක මේ ඇලමාර්ගයත් අවට පහත් බිම් ටිකත් අපේ කොළොම්පුරේ පාලනය අතට ගත්තු ඉංග‍්‍රීසින් විසින් පුරවලා ගොඩකරලා දැම්මා. කාලෙකට ඉස්සර ඔය අපි මාළු ගන්න ගිය ශාන්ත ජෝන් මාළු මාකට් එක ( දැන් එතැන තියෙන්නේ ගොල්ඞ් සෙන්ටර් එක ) පිහිටලා තිබුනේ එක කෙලවරක තමයි.



කොළඹ බලකොටුවට ඇතුල්වන දොරටුවට කිඹුල් දොරටුව නම තිබ්බේ ලන්දේසින්.  Kaimaan’s Poort   නමින් ලන්දේසින් හැදින්වුවා. ඇමරිකානු ඉන්දියානු වචනයක් වන "ගෙයිමන්"  දැවැන්ත කිඹුලා තේරුමය ගෙන දෙන එකක්. කෙයීමන් ලෙසින් ඉංග‍්‍රීසියටත් (Kayman’s Gate) කයිමන් දොරටුව  කයිමන් දොරකඩ විදිහටත් සිංහලයට පෙරලූනා.   


1888 දි වෑන් ඩොට් විසින් අදින ලද සිතුවමක්

මොකටද දොරටුවට ඝාන්ඨාරයක්?   
මේ කුළුනේ තියෙන ඝාන්ඨාරය බොහෝම පැරණි ඝාන්ඨාරයක්. පෘතුග‍්‍රීසින් විසින් ශ‍්‍රී ජයවර්ධන පුර කොට්ටේ පිහිටුවන ලැබු ශාන්ත ෆ‍්‍රෑන්සිස් මුනිතුමන්ට කැපකරන ලද දේවස්ථානයේ එකක් බවයි ඓතිහාසික තොරතුරුවලින් කියවෙන්නේ. පස්සේ කාලෙක ලන්දේසින් ගේ අතින් දේවස්ථානය විනාසවුනා. දේවස්ථානයේ ඝාන්ඨාරය අරන් ආපු ලන්දේසින් එක  කොළඹ බලකොටුවේ උතුරු පැත්තේ දොරටුව අසළ පිහිටෙව්වා. මේ ඝාන්ඨාරයෙන් ආදිරිප්පු වීදියේ පල්ලියේ (Wolvendaal Church) ඉරිඳා දේව මෙහෙයන් දැනුම් දිමත්  රාති‍්‍ර කාලයට දොරටුව වසන වේලාව සියල්ලන්ටම දැනුම් දෙන්නටත් (Curfew Bell) යොදාගත්තා කියනවා. දේව මෙහෙයන් දැනුම් දෙන්නට උදේ සවස දේව මෙහෙයට පැය බාගයක විරාමයන් සහිතව තුන්වරක් නාදවුනා කියනවා. එත් සමහරුන් නම් කියන්නේ පල්ලියේ ඉදලා ඝාන්ඨාරයට තියෙන දුරත් එක්ක මේ වැඬේට මේක යොදාගත්තා  කියලා හිතන්න අමාරු බවයි. 

වෙනත් ඝාන්ඨාර වල කොටලා තියෙන්නේ එක නිෂ්පාදිත වර්ෂයයි කරවන තැනැත්තාගේ නම වුනත් මේ ඝාන්ඨාරයේ තියෙන්නේ "ආවේ මරියා ග‍්‍රාන්සියා ප්ලේනා දෝමිනුස්  තේ කුමි බෙනදික් තා තු මුලියේරිබුස් " යන  ලතින් භාෂාවෙන් ලියැවුනු ආගමික පාඨයක් තමයි. එ් නිසා මේක ගොඩාක්  සුවිශේෂි එකක් බවයි කියවෙන්නේ.



මේ ඝාන්ඨාරය අවසන් වරට නිලවශයෙන් නාද කෙරුවා කියලා සටහන්වෙන්නේ  1926 ජනවාරි 21  සහ 28 වෙනිදායි. එ් පස්වෙනි ජෝර්ජ් රජතුමා අභාවප‍්‍රාප්ත වුනු බව දැනුම් දෙන්නයි, රජතුමා වෙනුවෙන් ආදුරුප්පු පල්ලියේ පැවැත්වුනු අනුස්මරණ දේව මෙහෙය දැනුම් දෙන්නයි විතරයි.  එ් හැරුනාම දෙවන ලෝක යුද්ධ කාලේ 1945 අගෝස්තු 14 දින අනෙක් පල්ලිවල ඝාන්ඨාර සමගින් නාද කලා කියලා කියනවා. අවසන් වරට මේ කුළුණ පිලිසකර කර ඇත්තේ 1926 මාර්තු මාසයේදි කොළඹ නාගරික ඉංජිනේරුතුමා විසින් බවයි දැනගන්නට ඇත්තේ. එ් පුජක සභාවේ ඉල්ලීමක් මතයි. මේ ඝාන්ඨාර කුළුණ වගේම ඝාන්ඨාර කුළුණක් බම්බලපිටියේ  ඕලන්ද රෙපරමාදු දේවස්ථානයේ (Duch Reformed Church)  පිහිටවලා තියෙනවා. ගාලූපාරේ යන  ඕනෙම කෙනෙකුට  එ් ඝාන්ඨාර කුළුණත් බලාගන්න පුළුවනි.  




මාත් එක්ක ඝෝෂාවෙන් පිරුනු කෙලින් වීදියේ කෙලවරට ගිහිල්ලා කයිමන් දොරකඩ ගැන කියන්න තියෙන එකම ස්මාරකය වන ඝාන්ඨාර කුළුණත් බලාගත්තානේ. එහෙනම් සුනිල් එදිරිසිංහ මහත්තයා ගයන මේ සිංදුවත් පොඞ්ඩක් මුමුන මුමුන කොටුව පැත්තට ඇවිදගෙන යමු.
   
පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත්වුනා
ගෑස් පහට ලංවෙනකොට අපි හොඳටම හවස්වුනා
සෙක්කු විදියෙ කම්බා දැක නුඹ  මට මතක්වුනා
කයිමන් දොරකඩ හිටපං මන් එනතුරු සෙලෙස්තිනා








Wednesday, July 27, 2016

ශ්‍රී ලංකාවේ ෂෙක්ස්පියර්

ශ්‍රී ලාංකික අපිට නම් ලොයර් කෙනෙක් නැත්නම් නීතිඥ මහත්තයෙක් ගැන කිව්ව සැනින් මතක්වෙන්නේ කළු කොට් බෑයයි උසාවියයි නඩුවට යන වියදමයි තමයි.  නඩු කියලා ප‍්‍රසිද්ධ වෙච්චි ලෝයර්ලා ලංකාවේ කොපමණ හිටියත් නුර්තියෙන් කීර්තිමත් වෙච්චි ලොයර් කෙනෙක් ගැන අහලා තියෙනවාද? එ් තමයි සිංහල නාට්‍යයේ පියා,  ලංකා කාලිදාස නැත්නම් ශ්‍රී ලංකාවේ ෂෙක්ස්පියර් යන විරුදාවලීයන් ගෙන් පුදනු ලැබු හා හැඳින්වුනු නීතිඥ ජෝන් ද සිල්වා මහත්තයා. 



ජෝන් ද සිල්වා මහතා උපන්නේ 1857 ජනවාරි 13 වෙනිදා ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ තෙලෙඹුගහවත්ත ගමේ විසු සම්භාවනීය මාකලන්ද පවුලේ.  එතුමාගේ පියා මාකලන්දගේ දොන් බැස්ටියන් ද සිල්වා. අම්මාගේ නම නාවල දොන් මනුවෙල්ගේ දෝන ඉසබෙලා හාමිනේ. කුඩා කාලේ කෝට්ටේ කි‍්‍රස්තියානි පාසලෙන් අධාපනය ඇරඹු එ් මහතා ශිෂ්‍යත්වයක් ලබාගෙන වැඩිදුර ඉගෙන ගන්න කොළඹ ඇකඩමිය කියලා එ් කාලේ කිව්ව රාජකීය විද්‍යාලයට ඇතුල්වූනා. මේ කාලේදි දොන් අන්දිරිස් සිල්වා බටුවන්තුඩාවේ නැත්නම් බටුවන්තුඩාවේ පඬිතුමාගෙන් හා හෙන්රි පෙරේරා මහත්තුරුන්ගෙන් සිංහල, පාලි, සංස්කෘත භාෂා හදාරන්න ගත්තා. එ් ලැබුණු භාෂා ඥාණය නිසා වෙන්න  ඕනේ අපිට විශිෂ්ට සිංහල නාට්‍ය බිහිවුනේ. 

පාසල් ගමනින් පස්සේ ගුරු වෘත්තියට අවුරුදු විසිපහේදි එකතුවුනා. එ් කාලේ කොළඹ ශාන්ත ජෝශප් හා වෙස්ලි විද්‍යාලවල ගුරුවරයෙකු වෙලා හිටියා. ගුරුකමේ ඉන්න අතරේදි ලක්මිණි පහන, කවට තිලක පත්තරවලටත් ලිපි යන්න පටන්ගත්තා. පාඨශාලා පරික්ශක ඇස්. වෙලායුදන් මහත්තයාගේ මග පෙන්විම හින්දා ගුරුකම අතහැරිය ජෝන් ද සිල්වා මහත්තයා නීති විද්‍යාලයට බැදුනේ නීතිඥවරයෙකු වෙන්නයි. නීති විභාගයට පෙනි සිටි දොලොස්දෙනාගෙන් පළමුවෙනියා වෙන්න එ් මහතාට පුළුවන්වූනා. එ් අධ්‍යාපනයෙන් පස්සේ නීතිඥවරයෙකු විදිහට වැඩ කරද්දි මනස නම් වැඩ කලේ නාට්‍ය යා කාව්‍ය රචනා කරන්න තමයි. 

ජෝන් ද සිල්වා මහත්තයා අවුරුදු විසිතුනේදි කොටහේනේ කතෝලික පවුලකින් කසාදයක් එහෙම කරගත්තා. සෙලෙස්තිනා පෙරේරා මෙනවිය  බැන්දාට පස්සේ එයාලට පිටර් ද සිල්වා, ඇලිස් ද සිල්වා, ජෝසප් ද සිල්වා නම් තිබ්බ දරුවෝ තුන්දෙනෙක් ලැබුණා. සෙලෙස්තිනා පෙරේරා මියගියාට පස්සේ දෙවන වරටත් ජෙනට් පි‍්‍රසිලා ගුණතිලක මෙනවිය සමගින් විවාහ වුනා. එයාගෙන් ගැලැඩිස් ද සිල්වා නම් දියණිය උපන්නා.  දෙවන බිරිඳත් මිය ගිය හින්දා අපේ නීතිඥතුමා තුන්වන සැරේටත් කසාදයක් එහෙම කරගත්තා. ජෙරි එ්කනායක මෙනවිය කරකාර බැන්දාට පස්සේ එයාලට තවත් දියණියන් දෙදෙනෙක් උපන්නා කියලා සඳහන් වෙනවා.

සි. දොන් බස්තියන් ජයවිරගේ නුර්ති ශෙලියේ නාට්‍ය වලට පි‍්‍රය කෙරුව මිනිස්සු ඒවා බලන්නට  එන්න පටන්ගත්තා. ජෝන් ද සිල්වා මහත්තයා තමන්ගේ යාළුවන් එකතු කරගෙන පිහිටුවා ගත් සිමාසහිත ලංකා පුර්ව දිග නාට්‍ය සමාගම මගින් 1886 ජුනි 05 දවසේ පිටකොටුවේ මල්වත්ත පාරට යාබඳ රැකට්කොට් එකේ තිබුණ පූෂ්ප ශාලාවේ (Floral Hall) තමන්ගේ පළමු වේදිකා නාට්‍ය වු "රාමායණය "වේදිකාගත කෙරුවා. මේ නාට්‍යයේ ජෝන් ද සිල්වා මහත්තයා විශේෂ රංග උපක‍්‍රම භාවිතා කෙරුවා. මේ රාමායණය නාට්‍ය ප‍්‍රසිද්ධ වෙයි කියලා බය වෙච්චි සතුරෝ පුෂ්ප ශාලාවට ගිනිතිබ්බා. ශාලාව දැවි ගිහිල්ලා නාට්‍ය පෙන්විම නතරවුනා. මේ නාට්‍ය පසුව ප‍්‍රසිද්ධවුනේ "ගිනිගත් රාමායණය" කියලා තමයි. මේ ලංකා පුර්ව දිග නාට්‍ය සමාගම වෙනුවෙන් එතුමා "පරාක‍්‍රමබාහු", "ගිනිගත් හටන හෙවත් හනුමා", "නලාගිරිචරිතය", "සීතාහරණ හෙවත් ගිනිගත් රාමායණය" හා "දස්කොන්" නාට්‍ය රචනා කළා. 

ගිනිගත් රාමායණය නාට්‍යයෙන්  පස්සේ ටික කලක් නිහඬව හිටිය ජෝන් ද සිල්වා මහත්තයා 1092 දි ආර්්‍ය සුබෝධ නාට්‍ය සභාව පිහිටුවා ගත්තා.  පියදාස සිරිසේන වැනි ලේඛකයින් ගෙනගිය ජාතික ව්‍යාපාරය හා අමද්‍යප ව්‍යාපාරයට ආර්්‍ය සුබෝධ නාට්‍ය සභාවෙන් මහත් රුකුලක් ලැබුණා. "සිංහල පරාභව නාටකය" (සුරා කාණ්ඩය) (1901),  "සිංහල පරාභව නාටකය" (සිරිත් කාණ්ඩය) (1902), "සියබස් ලියගේ විලාපය" (1906), "ශ‍්‍රී වික‍්‍රමසිංහ රාජසිංහ - අපේ අන්තිම රජ" (1906) නාට්‍ය ආර්්‍ය සුබෝධ නාට්‍ය සභාව සඳහා රචනා කෙරුවා. ජාතික අමද්‍යප ව්‍යාපාරය බෙලහින විමත් එක්කම මේ නාට්‍ය සභාවද අවසන්වුනා. 

1913 දි ජොන් ද සිල්වා මහත්තයාගේ කලා ජිවිතය තවත් එක් පියවරක් ඉදිරියට තිබ්බේ විජය රංග සභාව පිහිටුවා ගනිමින්. ඔහු මේ රංග සභාවට "අලකේශ්වර චරිතය" (1913)  "මහනාම චරිතය" (1913)  "දේවානම් පියතිස්ස චරිතය", (1914)  "කැප්පොටිපොළ" (1916)  නාට්‍ය රචනා කළා. ටික කාලයකින් මේ රංග සභාවේ නම ශ‍්‍රී ලංකා නාට්‍ය සභාව විදිහට වෙනස් කරගෙන "කුස ජාතක දෘශ්‍ය කාව්‍ය" (1916)  රචනා කළා.

ජෝන් ද සින්වා මහත්තයා නාට්‍ය රචකයෙක් නිෂ්පාදකයෙක් විතරක් නොවෙයි දක්ෂ කවියෙක් හා කථිකයෙක්ද වුනා. එතුමා 1912 දි රචනා කරපු කවි 100 කින් යුක්ත "ශ‍්‍රීපාද ශතකය" කොතරම් ජනප‍්‍රියවුනා කිව්වොත් එකේ මුද්‍රණ පිටපත් 10,000 වඩා විකුනුනා.   

1915 දි ඇතිවු සිංහල මුස්ලිම් කෝලාහලය  නිසා රාජදෝහි චොදනාව යටතේ සිරභාරයට ගෙන වැලිකඩ බෝඩිමේ සිටින්නටත් ඔහුට සිද්ධවුනා. බත්තරමුල්ලේ සුභූති නාහිමියන් බොතලේ වලව්වේ දොන් චාල්ස් ෆ්‍රෙඞ්රික් රිචඞ්, දොන් ස්ටිවන් සේනානායක සහෝදරවරුන් හා අනගාරික ධර්මපාලතුමන්ගේ සහෝදරයන්වු එඞ්මන්ඞ් හේවාවිතාරණ දොස්තර චාල්ස් හේවාවිතාරණ,අධිනීතිඥ ඩි. බි. ජයතිලක, දොස්තර ඩබ්ලිව්.ආතර් ද සිල්වා, ඒ.ඊ. ගුණසිංහ, ආතර් වි. දියෙස් හා ගත්කතුවර පියදාස සිරිසේනයන්ද ජෝන් ද සිල්වා එක්ක හිරේ ඉන්න සිද්ධවුනා.  



මුහුදේ නාන්න ගිය අවස්ථාවකදි ගලක් උඩ ලිස්සා වැටිමෙන් වු තුවාල නිසා අසනිපවෙච්චි  ජෝන් ද සිල්වා මහත්තයා තමන්ගේ හැටපස්වෙනි උපන් දිනයත් පසුකරලා 1922 ජනවාරි 21 වෙනිදා කොළඹ බුලස් පාරේ (බෞද්ධාලෝක මාවත) ස්පිට්ල් දොස්තර මහත්තයාගේ විචර්ලි ආරෝග්‍ය ශාලාවේ දි අභාවප‍්‍රාප්තවූනා. දැන් එ් දොස්තර ස්පිට්ල් මහත්තයාගේ බෞද්ධාලෝක මාවතේ විචර්ලි ගෙදර තමයි විචර්ලි ජාත්‍යන්තර පාසල තියෙන්නේ. 

අප රටේ නූර්ති කලාව වෙනුවෙන් කල සේවය අගයන්නට එතුමාගේ නමින් ජෝන් ද සිල්වා සමරු රඟහලක්ද ඉදිකෙරුවා. එකසිය තිස්වැනි ජන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තුමෙන්තුව විසින් ජෝන් ද සිල්වා මහත්තයාගේ රූපය තියෙන සමරු මුද්දරයක්ද 1987 ජනවාරි 31 වෙනිදා නිකුත් කළා.  



ජෝන් ද සිල්වා මහත්තයා ලිව්ව අදටත් ජනප‍්‍රිය ගීත රාශියක් තියෙනවා.

අඹ දඹ නාරං  කෙසෙල් දෙල් - රමායණය නාටකය
දන්නෝ බුදුන්ගේ   - සිරිසඟබෝ චරිතය නාටකය
සුවඳ පත්ම  ඕලූ ආදී නොයෙක් පුෂ්පයෙන් සැදී -  දුටුගැමුණු චරිතය නාටකය
දන්න වම්හුම් අප කන්නසාමි රාජධූරයේ - ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ චරිතය නාටකය
අද වෙස්සන්තර රාජ පුතා -  වෙස්සන්තර  නාටකය
වාසනා දිනේක මේක පාමූ තුටින් සිතේ -  රත්නාවලී නාටකය
පිනවන්නට සවන් ඇසුවන්ගේ සොඳින්  -  ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ නාටකය
මගේ මද්‍රි නම් බිසෝගේ  - වෙස්සන්තර  නාටකය
බෝ දොස් කියා මාගේ බෝ දොස් කියා - වෙස්සන්තර  නාටකය

ආදි බොහෝ ගීත  හා නාට්‍ය රාශියක් එතුමා රචනා කරලා තියෙනවා.

Saturday, July 23, 2016

අශ්ව ඉස්තාලය වසා මෙරෙඤඤෙගේ වත්තේ හදපු ටවර් හොල් එක


මිට සියවසකට පෙර මරදාන ප‍්‍රදේශයේ කැලෑ රොදකින් වැසුනු පංචිකාවත්තේ වු මෙරෙඤඤෙගේ වත්තේ තමයි අපේ කොළොම්පුරේ පැරණි නෘත්‍ය ශාලා වලින් එකක්වු ටවර හෝල් එක හැදුනේ. රුපියල් පනහකට ගත්තු මෙරෙඤඤෙගේ වත්තේ ගොඩනැගුනු මේ ටවර් හොල් රඟහල රථවාහන අමතර කොටස් කඩ අතරේ අදටත් තම පැරණි ප්‍රෙෘඩත්වය පෙන්වමින් ඉන්නවා. යමුද මරදාන පැත්තේ ටවර් හොල් එකට ගොඩවැදිලා එන්න. 



දහඅටවන සියවසේ අවසාන භාගයේ දි ගාල්ලේ උපන් දොන් හෙන්ද්‍රික් සිංඤෝ සෙනවිරත්න අප්පුහාමි කොළඹට ආවේ රස්සාවක් කරන්නයි. එයාට කවුරුත් කිව්වේ ලොකු අප්පුහාමි නමින්. ඔහු කරපු පළවෙනි රස්සාව වූනේ කාලේ ජනප‍්‍රිය ක‍්‍රීඩා භාණ්ඩයක්වු බමර කපා විකිණිමයි. කාලෙයක් එක එක ජාති වෙළෙඳ ව්‍යපාර කරපු පසු ඔහු පසුකාලේක පළාතේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූනා. ලොකු අප්පුහාමිගේ පැසෙන්ජර් යුනියන් නම් හෝටලය තමයි එ්කාලේ හොඳට ප‍්‍රසිද්ධ හොටලයක් විදිහට නම් දරාගෙන හිටියේ.  ඒක පිහිටලා තිබුනේ දැන් ඇල්පින්ස්ටන්  සිනමාහල තියෙන ස්ථානයේ තමයි. එ් හොටලයේ කලමණාකරු විදිහට හිටියේ බි. ජේ. පෙරේරා හෙවත් ජේමිස් අප්පුහාමි මහතායි.  ජේමිස් අප්පුහාමි මරදානේ අභිනව නාට්‍ය සභාව නමින් නෘත්‍ය සමාගමක්  පිහිටුවාගෙන තිබුණා. පැසෙන්ජ් යුනියන් හෝටලයට  එහා පැත්තේ තාවකාලික ටකරන් මඩුවක් හදාගෙන එහි නාට්‍ය රඟ දක්වන්නට පටන්ගත්තා.  දැනට මරදානේ ප්ලැට්ස් ගොඩනැගිල්ල පිහිටි භූමියේ නාගඩම් මඩුවක් ඉදිකරගත් ජේමිස් අප්පුහාමි සිංහල නෘත්‍ය සමාගම පිහිටුවා එහි නාඩගම් රඟ දැක්වුවා. එකාලේ රාති‍්‍ර නමයට පටන්ගත් නාඩගම පසුදා එළිවෙනතුරුම පෙන්වූවා. 


දැනට ටවර් හෝල් පිහිටි භූමිභාගය අන්දර ගස් පෙළකින් මායිම් ව වල් බිහිවි ගිය කුඩා කඳුගැටයක් වූනා. 1909 දි දිගින් අඩි 250 ක් හා පළලින්  අඩි125 ක් පමණ වූ පර්චස් 68 ක මේ මෙරෙඤඤෙගේ වත්ත නම්වු  කඳුගැටය රුපියල් පනහකට මිලදිගත් හෙන්ද්‍රික් ලොකු අප්පුහාමි එහි කබොක් ගල් කප්පවා කන්ද සමතලා කෙරුවා.
 දවසක් මේ හෙන්ද්‍රික් ලොකු අප්පුහාමි ජේමිස් අප්පුහාමි හා ආර් ජෝන් පෙරේරා කතාබහක වැටිලා හිටියා. තම මිලදිගත් මේ ඉඩමේ අශ්ව ඉස්තාලයක්  හෝ කොප්පරා ගබඩාවක් හදන්නට හිතාගෙන ඉන්න බව ලොකු අප්පුහාමි කිව්වා. අපට දැන් අඩු පාඩුවකට තියෙන්නේ අංග සම්පුර්ණ නාට්‍ය ශාලාවක් නැති එක. නාට්‍ය ශාලාවක් හැදිමෙන් අපට සිංහල නාට්‍ය දියුණු කරවන්නට හැකියි ජේමිස් අප්පුහාමි කිව්වා. ජෝන් පෙරේරා ද මේ කතාව අනුමත කලා. 

1910 දි ඉඩමේ සිව්කොන් සරසා වළවල් කපා පුන්කලස් හතරක පවුම් තුන බැගින් හා පස්ලෝ දමා කප් සිටෙව්වා. අනගාරික ධර්මපාලතුමන්, ඩි.එස්. සේනානායක, ඇෆ්.ආර්. සේනානායක, සර් ඩි.බි. ජයතිලක, නීතිඥ ජෝන්ද සිල්වා, වලිසිංහ හරිචන්ද්‍ර, පියදාස සිරිසේන, පොන්නම්බලම් රාමනාදන්, නීතිඥ චාල්ස් ඩයස් වැනි සම්භාවනිය අමුත්තන් අතින් මේ රඟහලේ වැඩ පටන්ගත්තා. කන්ද කපා ගන්නා ලද කබොක් ගල් වලින්ම රඟහල හදලා නිම කරන්නට අවුරුදු දෙකක්ම ගතවූනා. බොම්බායේ නාට්‍ය ශාලා ආකෘතියක් අනුගමනය කර ලන්ඩන් ටවර් ගෘහ නිර්මාණ ශිල්පියට අනුව යමින් රඟහල අභියස උස් ඔරලෝසු කණුවක්ද එකතුකලා. මේ ඔරලෝසු කණුව නිසාම රඟශාලාවට "ටවර් හෝල්" නම දැමුවා. නීතිඥ චාල්ස් ඩයස් මහතා තම මාමන්ඩියගේ රඟහල විවෘත කරනදා රාත‍්‍රියේ පෙන්වන්නට පණ්ඩුකාභය නම් ඓතිහාසික නාට්‍ය රචනා කළා. පණ්ඩුකාභය නාට්‍යයේ සින්දුවලට රාගතාල සැපයුවේ නීතිඥ ඩබ්ලිව්. සතාසිවම් මහතායි.
 1911 දෙසැම්බර් 15 වෙනදා රාත‍්‍රියේ විද්‍යෝදය පිරිවේණාධිපති මහගොඩ ඥානේශ්වර නාහිමියන් ප‍්‍රමුඛ භික්ෂු සංඝයා සියයක් නමක් ශාලාව මැද විසිතුරු පිරිත් මණ්ඩප්පයක ඉදලා පිරිත් දේශනා කළා. 

1911 දෙසැම්බර් 16 වෙනිදා උදාවුනේ මරදානටම එළියක් එක්කරවමින්. රඟහල විවෘත කරන්නට ආරාධනා ලැබුවේ ශී‍්‍රමත් අනගාරික ධර්මපාල තුමන්ට. උදේ හතට යෙදුණ ශූභ මුහුර්තියෙන් අනගාරික ධර්මපාලතුමා රිදිමය යතුරකින් මඟුල් බෙර සක්හඬ මැදින් ටවර් රඟහලේ ප‍්‍රධාන දොරටුව විවෘත කළා.      
විවෘත කිරිමෙන් පස්සේ අනගාරික ධර්මපාලතුමා මෙසේ පැවසුවා. 
"නාටකය හුදු විනා්දය සඳහාම කැප කළ යුතු නැත. මෙහි රඟදක්වන නාට්‍ය මඟින් සිංහල ජාතියෙත්, සම්බුද්ධ ශාසනයෙත් පුනරුද්දිප්තියක් ඇතිවේවායි මම ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි."  


1911 දෙසැම්බර් 16 වැනිදා රාත‍්‍රියේ පණ්ඩුකාභය නාට්‍යයෙන්  ටවර් රඟහල ආරම්භ විය. එදා නාට්‍යය පටන් ගත්තේ 9.30 දර්ශනයෙන්.හරියටම 9. 15 ට ආණ්ඩුකාර සර් හෙන්රි මැකලම් මහතා සහ මහමුදලි සර් සලමන් ඩයස් බණඩාරනායක මහතා සමග මහලේකම් පැමිණියා.  දොන් හෙන්ද්‍රික් සිංඤෝ සෙනවිරත්න අප්පුහාමි ඔහුගේ පුතුන් වන ඇඞ්මන්ඞ් අර්වින් සහ ග‍්‍රැන්ඞ්විල් සෙනවිරත්න සහ බෑනණුවන් වන නීතිඥ චාල්ස් ඩයස්, කළමණාකාර බි.ජේ. පෙරේරා යන මහතුන් විසින් පිළිගනු ලැබුවා.  නීතිඥ චාල්ස් ඩයස් මහතා පිළිගැනිමේ කතාව කෙරුවා. කළමණාකාර බි.ජේ. පෙරේරා මහත්තයා තමයි ස්තුති කතාව පැවැත්වූයේ.
රාත‍්‍රි 9.30 ට සීනුව නාද වීමත් එක්කම ලංකාවට ජාතික නාට්‍ය ශාලාවක් බිහිවුනා. පණ්ඩුනාභය නූර්තිය බලන්නට බැරිවුනු ගොඩාක් දෙනාට අපසු හැරියන්නටත් සිද්දවුනා. එ් නිසාම නාට්‍ය සතියක් පුරාවටම රඟදක්වන්නට සිද්ධවුනා. 

ඉතිං මේ ටවර් හොල් එක 1911 ඉදන් 1931 දක්වාම තිබුනේ ලංකාවේ නූර්ති වේදිකාගතවන ප‍්‍රධාන රංඟශාලාව විදිහටයි. පසු කාලිනව සිංහල නාට්‍ය පෙන්විම අඩුවෙන්න ගත්තා. දොන් හෙන්ද්‍රික් සිංඤෝ සෙනවිරත්න අප්පුහාමි මිය ගියාට පස්සේ දරුවන් අතරේ අසමගියක් ඇතිවුනේ මේ රංඟ ශාලාව අයිතිය බෙදාගන්නයි. 1930 අවුරුද්දේ එෆ්. සි. ෆ‍්‍රෑන්ක් මහතා රුපියල් 2000 ක මාසික කුලියකට මේ ටවර් හෝල් එක බද්දට ගත්තා. එ් නිසා 1931 අගොස්තු මාසේ 29 දින දිනමිණ පත්තරේ මෙන්න මේ දැන්විම පළ කළා. 
"මෙන්න ලංකාවේ චිත‍්‍ර දර්ශන හා නෘත්‍ය දර්ශන පිළිබඳ ශ්‍රේෂ්ඨකර සිද්ධිය. මරදානේ ටවර් චිත‍්‍ර හා නෘත්‍ය දර්ශන ශාලාව විවෘත විමේ දිනය බලාපොරොත්තු වන්න."  

  1931 සැත්තැම්බර් 12 වෙනිදා සයිරන් ඔෆ් බැග්ඩෑඞ්  Siren of Baghdad  නම් චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය කලා. එ නිසා මේ ශාලාව චිත‍්‍රපට ප‍්‍රදර්ශන ශාලාවක් බවටත් පත්වූනා. චිත‍්‍රපට පෙන්විම විතරක් කරගෙන යද්දි අසරණ වෙච්චි නූර්ති ශිල්පින් කම්කරු නායක එ. ඊ.ගුණසිංහ මහතා හමුවෙලා තමන්ගේ අසරණභාවය ගැන කිව්වා. 1932දි ගුණසිංහ මහතා හා ෆ‍්‍රෑන්ක් මහතා අතර සාකච්ඡුාවකින් පස්සේ නූර්ති ශිල්පින්ගේ බලවත් ඉල්ලීම හින්දා සිකුරාදා රාති‍්‍ර නමයේ දර්ශනය පමණක් නූර්ති ප‍්‍රදර්ශණයට වෙන්කෙරුවා. මේ විදිහට චිත‍්‍රපට පෙන්වපු ටවර් හෝල් එක 1947  අපේ‍්‍රල් මාසේ සිලොන් තියටර්ස් සමාගම රුපියල් 125,000 කට මිලදිගත්තා. සිලොන් තියටර්ස් සමාගමේ අයිතිකරු කේ.ගුණරත්නම් මහත්තයා "ටවර් ටෝකීස් සමාගම " පිහිටවලා පුර්ණ කාලින චිත‍්‍රපට ශාලාවක් බවට පත්කෙරුවා. 

ටවර් හෝල් එක රජයට පවරා ගන්න 1973 දි අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය කැබිනට් එකට ඉදිරිපත් කරපු සන්දේශයට ඇමති මන්ඩලයේ අනුමැතිය හිමිවූනා. 1978 වර්ෂයේදි අගමැති ආර් පේ‍්‍රමදාස මහතා මේ ටවර්හෝල් එක රජයට පවරාගත්තා. කැඩි බිදි ජරාවාස වෙමින් තිබුණු මේ රඟහල ආර් පේ‍්‍රමදාස මහතා විසින් ප‍්‍රතිසංස්කරණයෙන් පස්සේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් 1978 මාර්තු 15 දින නාට්‍ය ප‍්‍රදර්ශනයට විවෘත කළා.  
1978 ඔත්තෝම්බර් මාසේ 19 වෙනිදා "ටවර් හෝල් රඟහල පදනම" පනත පාර්ලිමේන්තුවේදි සම්මත කරගත්තා.  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපති ධුරය හොබවන කාලේදි මේ රඟහල යළිත් වරක් නවිකරණයට පත්කරලා 2000 අගෝස්තු මාසේ 11 වෙනිදා නාට්‍ය ප‍්‍රදර්ශනයට විවෘත කළා. 2009 වර්ෂයේදි රඟහලේ සියවස වෙනුවෙන් පුර්ණ නවිකරණයකට පත්කරන්නට වැඩ ඇරඹුවා. ටවර් හෝල් රඟහලේ සියවස වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා හා සංස්කෘතික හා කලා කටයුතු ඇමති ටි. බි. එකනායක  මහතා විසින් 2011 ජනවාරි 11 වෙනදා නවිකරණය කරපු රංඟ ශාලාව මහජනයාට විවෘත කිරිම කළා. 


ඔය කාර් එකට අමතර කොටස් කෑල්ල දෙකක් ගන්න මරදාන පැත්තේ ආවොත් ටවර් හෝල් රඟහලටත් පොඞ්ඩක් ගොඩවෙන්න. නාට්ටියක් එහෙම බලලා එකේ පොඞ්ඩක් ඇවිදලා මම මේ කිව්ව ඉතිහාසෙත් මතකෙට ගන්න. රඟහල ඇතුලේ පොත් සාප්පුවක් එහෙම තියෙනවා. නාට්‍ය ගැන ලියැවුනු හොඳ පොත්පත් එහෙම මිළඳි ගන්න පුළුවනි. ටවර් හෝල් රඟහල පදනමෙන් නාට්‍ය විතරක් නොවෙයි ගොඩාක් දේවල් සිද්ධ කරනවා. ටවර් හෝල් රඟහල කියන්නේ නාට්‍ය රඟදැක්විමට කැපවු ප‍්‍රථම රංග ශාලාව විතරක් නොවෙයි ජාතික පුනරුදයට දායක වු සංස්කෘතික කෙන්ද්‍රස්ථානයක් බව අමතක කරන්න එපා. 


ඉන්න ඉන්න තාම ඉවර නෑ. ඔය නිකං ලිපිය කියවලා විතරක් යන්න එපා ඔයාලගෙත් අදහස් ටිකත් පහලින් තියෙන කොමෙන්ටුවක දාලායන්න අමතක කරන්න එපා.  


Wednesday, July 20, 2016

ආණ්ඩුවේ හාල් ස්ටෝරුව කොළොම්පුරේ චාමර්ස් ධාන්‍යාගාරය


මීට දශක කිහිපයකට කලින් එ් කාලේ කවුරුත් කිව්ව ආණ්ඩුවේ හාල් ස්ටෝරුව නැත්නම් කවුරුත් දන්නා චාමර්ස් ධාන්‍යාගාරය පිහිටලා තිබුනේ කොටුවේ ලෝක වෙළඳ පොලට ඉස්සරහායින්  ඕල්කට් මාවතෙයි. එක පෙළට පදික වේදිකාව ආසන්නයෙන් හදලා තියෙන කැසට් කඩවල්, ෆොන් කඩවල්, විවිධ වෙළඳ කුටි තියෙන්නේත් මේ මම කියන චාමර්ස් ධාන්‍යාගාර භූමියේ  ඕල්කට් මාවත පැත්තේ මායිමේ. දැන් අවුරුදු කිහිපයකට ඉස්සරින් අන්තිමට ඉතුරුවෙලා තිබ්බ ගොඩනැගිලි කිහිපයත් කඩා දමලා මුඩුබිමක් බවට පත් කරපු මේ භූමිය  ඕල්කට් මාවත උඩින් කොටුව දුම්රියපල පැත්තට පාර මාරුවෙන්න හදාපු යකඩ මගි පාලම උඩට ගියාම බලාගන්න පුළුවන්. යමුද එහෙනම් මේ දැවැන්ත ගබඩා සංකිර්ණයේ ඉතිහාසය සොයාගෙන. 



මල්වත්ත පාරේ ඉහළ සිට චාමර්ස් ධාන්‍යාගාරය පෙනෙන අයුරු

කොළඹ කොටුවේ ඩෙල්ෆ්ට් අට්ටාලයේ සිට පිටකොටුවේ කයිමන් දොරකඩ දක්වා තියෙන කෙලින් වීදිය (මේන් ස්ටි‍්‍රට්) හා දකුණු පැත්තෙන් සැන් ජුවන්ගේ ඇළ හා බේරේ වැවද උතුරු පැත්තෙන් ෆිෂර් ස්ටි‍්‍රට් (මල්වත්ත පාර) වලින් වටවු හිස් භූමියක් පිහිටලා තිබුණා. මුල් කාලේදි පොල් වගා කරලා තිබුන මේ ඉඩමේ බටහිර පැත්තට වෙන්න සුසාන භූමියක්ද පිහිටලා තිබුණා. 1819 - 1820 අතර කාලේදි කොළොම්පුරේ ඇතිවූ වසුරිය රෝගෙ හින්දා මළමිනි මේ සුසාන භූමියට ගෙනවිත් දැම්මා කියනවා.  නැගෙනහිර පැත්තේ රැකට්කෝට් (Racquet Court) නමින් නම් කරපු මල්වත්තක්ද තිබුණා.  

මේ රැකට් කෝට් එකේ තිබුණු මල්වත්තේ පුෂ්ප ශාලාව නොහොත් ෆ්ලෝරල් හෝල් (Floral Hall) නම්වු රංග ශාලාවක් ටකරං ගසා කුඩාරමක තනා තිබුණා. මේ පුෂ්ප ශාලාෙවේ ජෝන් ද සිල්වා මහතාගේ රමායණය රඟදක්වද්දී විරුද්ධවාදින් කිහිප දෙනෙක් මේ ශාලාවට ගිනි තිබ්බා. එ් හින්දාම රාමායණය නාට්ටිය ප‍්‍රසිද්ධවුනේ ගිනිගත් රමායණය නමින් තමයි.    

කොළොම්පුරේටත් යකඩ යකාගේ සේවය නැත්නම් දුම්රිය සේවය ආවත් එක්කම වරායෙත් දියුණුවූනා. එ් එක්කම කොළොම්පුරේ මාර්ග පද්ධතියත් දියුණු කරන්න  ඕනේ කියලා බි‍්‍රතාන්‍යයින් හිතුවා. කොටුවේ සිට පිටකොටුව දක්වා නොරිස් පාර (දැන්  ඕල්කට් මාවත) ඉදිකලා. එහි ඉදලා වරාය දක්වා තිබුන ෆිෂර් වීදිය විශාල කරලා ඒක මල්වත්ත වීදිය නම් කලා. අද අපි අර කැසට් කඩ, බෑග් සපත්තු කඩ මැද්දෙන් යන මල්වත්ත පාර තමයි එ්. මේ අතර මැද හිස් භූමිය කොළඹ වරායට වෙළඳ දව්‍ය ගෙනආපු හා වරායෙන් පිටතට බඩු ගෙනයන කරත්තවල නැවතුම්පොලක් විදිහටත් යොදාගත්තා.

මේ හිස් භූමියේ යුනිවර්සිටි කොලිජියක් අරඹන්නට 1913 සිට 1916 දක්වා අප රටේ ආණ්ඩුවරයාවු රෝබට් චාමර්ස්ගේ පාලන කාලය තුලදි සැලසුම් කෙරුණා. මේක හදන්න හැදුවේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය විදිහට තමයි. කොහොම හරි අපේ උන්ගේ අවසනාවට එක කෙරුනේ නෑ.

    රොබට් චාමර්ස්   

කොළඹ වරායෙන් ගොඩබාන බඩු ප‍්‍රමාණය එන්න එන්නම වැඩිවෙන හින්දා මේ බඩු ගබඩාකරලා තියන්න විශාල ගුදමක්  ඕනෑ වුනා. එ් හින්දා හදන්න හිටපු යුනිවර්සිටි කොලිජිය වෙනුවට මේ ස්ථානයේ බඩු ගබඩාවක් ඉදිකෙරේව්වා. අක්කර 9ක් පමණ විශාල මේ භූමියේ ගබඩා 64 ක් ගොඩනගලා චාමර්ස් ධාන්‍යාගාරය (Charmers Granary) නමින් 1916 මැයි 11 වෙනිදා ආහාර ගබඩාවක් විවෘත කෙරුණා.  



කොළඹ වරායෙන් ගොඩබාන බඩු ධාන්‍යාගාරයට දුම්රිය මාර්ගයෙන් අරගෙන එන්න දුම්රිය පාරකුත් හදලා තිබුණා. ඔයාලා අපි කවුරුත් නොදැක්ක කොළඹ නැව්තොට දුම්රිය ස්ථානය තිබුනේත් මේ ධාන්‍යාගාරය ඇතුලට වරායේ සිට බඩු ගෙනියන දුම්රිය මාර්ගයේ වරායේ තාප්පයට මායිම්ව  ඛාන් ඔරලෝසු කණුව ලගයි. මේ දුම්රිය පාර වැටිලා තිබුනේ වරාය ඇතුලේ ඉදලා ඛාන් ඔරලෝසු කණුව අසලින් කෙලින් විදිය හරහායි. පස්සේ කාලෙක මේ අපේ පාරවල් වල ලොකු තදබදයක් ඇතිවෙච්චි නිසා මේ දුම්රිය මාර්ගය 1976 දි වහලා දැම්මා. කොහොමත් සුද්දෝ හදපු දේවල් ඊටත් එහාට වැඩිදියුණු කරනවා වෙනුවට අපේ කළු සුද්දෝ කලේ එවා වහලා දැම්ම එකනේ. 



වරායේ සිට චාමර්ස් ධාන්‍යාගාරයට දුම්රිය මාර්ගය වැටි ඇති අයුරු


දෙවන ලෝක යුද්දේ පටන්ගත්ත නිසා අඩුපාඩුවකින් තොරව ආහාර බෙදාහරින්නට ආහාර අධිකාරියක් පටන් ගත්තා. 1941 දි මේ ධාන්‍යාගාරය අධිකාරිය යටතට පැවරුණා. 1942 දිආහාර දෙපාර්තුමෙන්තුව පිහිටුවන ලැබිමත් එක්කම මේ චාමර්ස් ධාන්‍යාගාරය එයට පවරා ගත්තා.  ඊට පස්සේ අපේ රටේ ප‍්‍රධාන ආහාර ගබඩාවවූනේ මේ චාමර්ස් ධාන්‍යාගාරයයි. මේක තමයි රටේ සියළුම රජයේ ආහාර ගබඩාවලට හාල්, පිටි, සීනි බෙදාහරින මුලස්ථානය වුනේ.
 එන්න එන්නම ජනාකීර්ණවුනු කොළඹ නගරයේ වාහන තදබදය එක්කම මාර්ග අවහිරතාවයන් සිද්ධ වෙන හින්දා කොළඹ නගරයෙන් පිටතට ධාන්‍යාගාරය ගෙනියන්න තිරණය කෙරුවා. එ් නිසා 1980 දි ඔරුගොඩවත්තේ අළුතින් පිහිටවු මධ්‍යම ධාන්‍යාගාරයක් විවෘත කෙරුණා. 1916 ඉදලා ආණ්ඩුවේ හාල් ස්ටෝරුව නමින් අපි කවුරුත් හඳුන්වපු මේ චාමර්ස් ධාන්‍යාගාරය 1982 වර්ෂයේදි වහලා දැම්මා.

මේ චාර්මස් ධාන්‍යාගාරය විවෘත කිරිම පිළිබඳ සිහිවටනය නොරිස් පාරට නැත්නම් අපි අද හඳුන්වන  ඕල්කට් මාවතට මුහුණලා ඉදිකරපු ඉදිරි තාප්පයේ කොරින්කියානු ගෘහ නිර්මාණ ශිල්පයට අයත් දැවැන්ත කුළුණු දෙකකට මැදිකරලා හදපු බිත්තිඵලකයේ   CHARMERS GRANARY OPEND 11th MAY 1916 යන්න සටහන් කරලා තිබුණා. මේ සිහිවටනයත් 1994 දි  ඕල්කට් මාවත පුළුල් කරද්දි කඩාදැම්මා. දැන් ඉතිං චාමර්ස් ධාන්‍යාගාරය තිබුනේ මෙතනයි කියන්න විතරයි පුළුවන්. ගිහිල්ලා බලන්න තරම් දෙයක් දැන් ඉතිරිවෙලා නෑ.    

Sunday, July 17, 2016

බිග්බෙන් ඔරලෝසුවටත් වඩා පැරණි ලංකාවේ පළමු ඔරලෝසු කණුව


එංගලන්තයේ ලන්ඩන් නුවර සුප‍්‍රකට බිග්බෙන් ඔරලෝසු කුළුණටත් වඩා පැරණි ඔරලෝසු කුළුණක් ලංකාවේ තිබෙන බව දන්නවාද? කොළොම්පුරයේ ඓතිහාසික වැදගත් කමක් දරන ස්මාරක අතරින් ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නා ලංකාවේ පළමු ඔරලෝසු කණුව පිහිටා ඇත්තේ කොළඹ කොටුවේ. කොළොම්පුරේ අතීත මතක සටහන් රැසක් නිහඬව දරාගෙන ඉන්නා මේ ප‍්‍රදිපාගාර ඔරලෝසු කණුව ජනාධිපති මන්දිරය අසල පිහිටලා තිබෙනවා. 



ඔයාලා දන්නවාද ලංකාවේ සතර අතටම දිවෙන මාර්ග පද්ධතියේ දිග ගණනය කරන්නේ මේ හෝරා ස්ථම්භයේ පාමුලින් කියලා? එ් කියන්නේ කොළඹ සිට යාපනේට දුර, කොළඹ සිට ගාල්ලට දුර සැතැපුම් ගණන කියන්නේ මෙතනින් පටන් අරගෙන තමයි.    




බි‍්‍රතාන්‍ය රජය මගින් ශ‍්‍රී ලංකාවේ පිහිටවු මේක ලක්වැසියන් කිසිදා නොදැක්ක එකක් නිසා ඔවුන්ට විශ්මය දනවන කාරණාවක් වූනා. මේ හෝරාස්ථම්භය සැලසුම් කලේ එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වු හෙන්රි වෝඞ් මහතාගේ බිරිදයි. එමලී එලිසබෙත් වෝඞ් ආර්යාව අතිදක්ෂ චිත‍්‍ර ශිල්පිනියක් වු නිසා මේකේ සැලසුම අදින්න ආණ්ඩුකාරයා එයාට බාරදුන්නා. හැබැයි ප්ලෑන් එක ඇන්දාට කීයක් ගෙව්වාද කියලා නම් දන්නේ නෑ. 



1814 දි මේ හෝරා ස්ථම්භයට සවි කරන්න විශේෂ ඔරලෝසුවක් එංගලන්තයෙන් "ඩෙන්ට් " නම් ඔරලෝසු හදන සමාගමෙන් පවුම් 1200 ක් වියදම් කරලා අරගෙන ආවා. ඔයාලා දන්නවාද මේ ඩෙන්ට් කොම්පැනියෙන් තමයි පසු කාලෙක බිග්බෙන් ඔරලෝසුවත් හදලා තියෙන්නේ. එත් මේ හෝරා ස්ථම්භය ඉදිකිරිමේ කටයුතු ටිකෙන් ටික පස්සට ඇදිලා ගියා 1857 වෙනකම්. අවුරුදු 43 ක කාලයක් මේ ඔරලෝසුව රජයේ බඩු ගබඩාවේ තැම්පත් කරලා තිබුණා. දැන් කාලේ වගේ ගත්තු තැන දමලා මලකඩ කලා, දිරලා පොළෙවේ පස්වෙලා යන්නනොදී විශේෂ සැලකිල්ලකින් නඩත්තුකලා. එ් නිසාම මේක සවිකරන අවස්ථාව වෙනකොටත් හොඳම තත්වයේ තමයි තිබුනේ. 
හෝරා ස්ථම්භය ඉදිකරන්න බාර දුන්නේ රජයේ වැඩ දෙපාර්තුමෙන්තුවට. වැඬේ සුපර්වයිස් කලේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තුමෙන්තුවේ ඩිරෙක්ටර් ජනරාල් ජෝන් ෆ්ලේමින් චර්චිල් මහත්තයා.

අඩි 96 ක් උස මේ හෝරා ස්ථම්භය තමයි මුළු කොළොම්පුරේම උසම ගොඩනැගිල්ලවුනේ. 1857 මාර්තු මාසේ 25 දා ආණ්ඩුකාර හෙන්රි වෝඞ් විසින් විවෘත කලා. මේක විවෘත කර අවුරුදු 10කට පස්සේ මේ කුළුණ මුදුනේ පහනක් සවිකලේ මුහුදු ගමන් යන නාවික යාත‍්‍රාවල කොළඹ වරාය පිහිටි ඉසව්ව හඳුනාගන්න එකේ අරමුණවුනේ. එදා ඉඳලා මේ ඔරලෝසු කණුව හැඳින්වුයේ ප‍්‍රදිපාගාර ඔරලෝසු කණුව කියලා තමයි. මුල්ම කාලයේ භුමිතෙල්වලින් පත්තුවෙන පහනක් තමයි තිබුනේ. පහනින් පිටවන ආලෝකය සැතපුම් 16 ක් දුරට විහිදිලා යන විදිහට විදුරුවක් යොදාගත්තා. මේ විදුරුව නිෂ්පාදනය කලේ එංගලන්තයේ "චාන්ස් සහෝදරයෝ" සමාගමෙන්. 1907 දි ගෑස් භාවිතාව ආව හින්දා මේ පහනත් ගෑස් වලින් පත්තු කරන්න පුළුවන් විදිහට හදාගත්තා. 1933 දි විදුලි බලයෙන් මේ ප‍්‍රදිපාගාර පහන දල්වන්න පටන්ගත්තා. ඉටිපන්දම් 1500 ක විදුලි එළියක් ඉන් නිකුත් කරන්නට මේ විදුලිබලය හින්දා පුළුවන් වෙලා තියෙනවා. 



ඔන්න ඉතිං ඔරලෝසුව දිවා රාත‍්‍රි නොබලා අවුරුදු පනහක්ම එක දිගට දිව්වාට පස්සේ ලෙඩ දෙන්න පටන් ගත්තා. 1907 අවුරුද්දේදි පමණ තමයි ඔරලෝසුව ලෙඩ වෙන්න පටන් ගත්තේ. මේ පරණ ඔරලෝසුව අයින් කරන්න සිදුවුනා. අළුත් ඔරලෝසුවක් එංගලන්තයෙන් ගෙන්නලා 1913 ඔක්තොම්බර් 22 දා කුළුනේ සවිකෙරුවා. මේ අළුත් ඔරලෝසුව පරණ එකට වඩා ටිකක් ලොකු හින්දා ඔරලෝසු කණුවත් රෙපෙයාර් කරන්න සිදුවෙලා තියෙනවා. ඉතිං මේ රෙපෙයාර් වලින් පස්සේ පළමු ලෝක යුද්ධය ආරම්භ වෙන්න ඔන්න මෙන්න තියලා 1914 අපේ‍්‍රල් 04 වෙනදා මේක ආයෙමත් විවෘත කලා. 



මේ අළුත් ඔරලෝසුවේ මුහුණත අඩි හයක් දිගැති දිළිසෙන පලිඟු විදුරුවක් සවිකරලා තියෙනවා. පැයෙන් පැයට නාද වෙන්න කිලෝ 250ක් බර ප‍්‍රධාන සීනුවක් හා පැය කාලෙන් කාලට නාදවෙන්න කිලෝ 152ක් බර කුඩා සීනු දෙකක්ද එහි සවිකර තිබෙනවා.  
  
1952 අවුරුද්දේ ජුලි මාසේ 12 සිට මේ ප‍්‍රදිපාගාර පහනේ කි‍්‍රයාකාරිත්වය නවත්තලා දැම්මා. එ් වරායේ නව ප‍්‍රදිපාගාරය විවෘත කරපු හින්දා විතරක් නෙමෙයි පසුකාලෙක ගොඩනැගුනු අවට ගොඩනැගිලි වලින් මේ ඔරලෝසු කණුවේ පහන ආවරණය වෙන හින්දායි. දැන් මේ ප‍්‍රදිපාගාර පහන වැඩ නොකලත් ඔරලෝසුව නම් තාමත් තිතට වැඩ. ලන්ඩන් නුවර බිග්බෙන් ඔරලෝසු කුළුණටත් වඩා පරණ අවුරුදු දෙකක් වැඩිමල් අපේ ලංකාවේ පළමු විතරක් නෙමෙයි ලෝකේටම තියන එකම ප‍්‍රදිපාගාර ඔරලෝසු කණුව කොළොම්පුරේ අභිමානය වැඩි කරමින් අතීත රහස් රැසක් හංගාගෙන නිහඬව වේලාව දක්වනවා.   



Friday, July 15, 2016

කොළොම්පුරේ ප‍්‍රථම නගරාධිපති


කොළාම්පුරේ නගර සභාවේ පළමු නගරාධිපතිධුරය බිහිවෙලා තියෙන්නේ නගර සභාව පිහිටුවලා අවුරුදු හැත්තෑ එකකට (71) පස්සේ  කියලා ඔයාලා දන්නවාද? සියවස් එකහාමාරකට පෙරාතුව කොළඹ නගර සභාව පිහිටුවත් එකේ නගරාධිපතිවරයෙකු හිටියේ නෑ. කොළඹ නගර සභාව තමයි ලංකාවේ වසර 150 ක ඉතිහාසයක් තියෙන පැරණිතම හා ප‍්‍රමුඛම පලාත්පාලන ආයතනය. කොළඹ නගර සභාව පිහිටුවේ 1865 දි.



දොස්තර රතනසෝති සරවනමුත්තු

 1866 දි නගර සභාවට මන්ත‍්‍රිවරුන් පත් කරගන්නට පළමු මැතිවරණය තියලා තියෙනවා. කොළඹ මහ නගර සභා මන්ත‍්‍රීවරයෙක් වෙන්න එ් කාලේ සුදුසුකම් දෙක තුනක් විතරයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉදිරිපත්වෙන එක්කෙනා රුපියල් 5000 ක වටිනාකමක් ඇති ඉඩමක පදිංචිකාරයෙක් වෙන්න  ඕනේ. නැත්නම් රුපියල් 500 ක ආදායමක් තියෙන ගෙදරක පදිංචිවෙලා ඉන්න  ඕනේ. ඡන්ද දායකයෙකුවෙන්න සුදුසුකමවූනේ 100 කට නොඅඩු වටිනාකමක් තියෙන දේපළක අයිතිකාරයෙක් වීමත් වයස අවුරුදු 21 සම්පුර්ණකරලා ඉන්න එකයි.

 නගර සභාවේ පළමු රැස්විම පැවැත්වුයේ බස්නාහිර පළාතේ ඉංගී‍්‍රසි ජාතික දිසාපතිවරයා වූ සි.පි. ලෙයාර්ඞ් මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඔහු තමයි කොළඹ නගරසභාවේ ප‍්‍රථම සභාපතිවරයා. වර්ෂ 1937 පැවත්වූ මහ නගරසභාවට මන්ත‍්‍රීවරුන් තෝරාපත්කර ගැනිමේ නගර සභා මැතිවරණයට දොස්තර රතනසෝති සරවනමුත්තු මහතාද ඉදිරිපත්වුනා. ඔහු තරග කරනකොට නිදහස වෙනුවෙන් ඇපකැපවු ලංකා ජාතික සංගමයත් ඩි.ඇස්. සේනානායක මහතාගෙත් ජෝන් කොතලාවල මහතාගේත් නොමද රුකුලද ලැබුණා. නගරසභා ඡන්දයෙන් ජයගත් සරවනමුත්තු මහතා කොළොම්පුරේ පළමු නගරාධිපති ධුරයට පත්වූනා. පස්සේ කාලෙක ඔහු රාජ්‍ය මන්ත‍්‍රණ සභාවටද පත්වූනා. එ්ත් මන්ත‍්‍රීධුරය දරන්න බැරිවුනා. එ් ඡන්ද පෙත්සමක් හින්දා ඔහුගේ මන්ත‍්‍රී ආසනය අහිමිව ගියා. එ් අසුන සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වූ අවස්ථාවේ එ් ඡුන්දෙට ඉදිරිපත්වුනේ සරවනමුත්තු මහතාගේ බිරිඳයි. එ් ඡන්දෙන් ජයගත්තු සරවනමුත්තු මහතාගේ බිරිඳ නේසම් සරවනමුත්තු මහත්මිය පාර්ලීමේන්තු ගියා. මේකත් අපේ රටේ වාර්තාවක්. අධිකරණයක් මගින් මන්ත‍්‍රීවරයෙකුගේ අසුන අහිමිකල පළමු අවස්ථාවද මේක වෙනවා. සැමියාට අසුන අහිමිවිම නිසා ඡන්දෙට ඉදිරිපත් වීමද එම අසුනටපත්වීමද පළමු අවස්ථාවක්ද වෙනවා. එ් විතරක් නෙමෙයි ව්‍යවස්ථාදායකයට පත්වු පළමු ද්‍රවිඩ ජාතික කාන්තා මන්ත‍්‍රීවරියද රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ දෙවන කාන්තා නියෝජනයද මේ අවස්ථාව විදිහට සටහන් වෙනවා.

දොස්තර වෙතානීයම් සරවනමුත්තු මහතා හා මහත්මියට දාව 1886 ඔක්තෝම්බර් මාසේ ඉපදුනු රතනසෝතිගේ පවුලේ තවත් කොල්ලෝම පහක් හිටියා. නානාසෝති, තර්මාසෝති, පාක්්‍යසෝති, මානික්‍යසෝති සහ සත්පරානසෝති, රතනජෝතිගේ සහෝදරයින් එයාලත් පස්සේ කාලෙක අප රටේ ප‍්‍රසිද්ධ පුද්ගලයින් වූනා. පි. සරවනමුත්තු කි‍්‍රඩාංගනයද රතනසෝති මහතාගේ එක් සහෝදරයක්වු එකල ප‍්‍රසිද්ධ කි‍්‍රකට් කී‍්‍රඩක පාක්්‍යසෝති සරවනමුත්තු සිහිවිම පිනිස නම් කරලා තියෙනවා. රතනසෝති කුඩා කලායේ පාසල් ගියේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට. පාසල් කාලෙන්  පස්සේ වෛද්‍යවරයෙක් වෙන්න මැඞ්රාස් විශ්වවිද්‍යාලයට ඇතුලත්වූනා. එහිදි ශල්‍ය වෛද්‍ය උපාධිය ගත්තු එතුමා එංගලන්තයේ ගිහිල්ලත් ඉගෙන ගත්තා. නේසම් මෙනවිය කසාදබැදගත්තාට පස්සේ එයාලා දෙන්නාට සීතා සහ චන්ද්‍රා කියලා දරුවන් දෙන්නෙක්ද ලැබුනා.  

දොස්තර රතනසෝති සරවනමුත්තු මහතා 1937 මැයි මාසේ ඉදලා 1946 දෙසැම්බර් වෙනකම් කොළොඹ නගර සභාව නියෝජනය කලා.  1937 මැයි මාසේ ඉදලා 1937 දෙසැම්බර් දක්වා නගර සභාවේ පළමු නගරාධිපති ධුරය දැරූ අතර යළිත් 1941 ජනවාරි සිට 1942 දෙසැම්බර් දක්වාත් එතුමා නගරාධිපති ලෙසින් කටයුතු කෙරුවා. 

1943 දි සරවනමුත්තු මහතා මහාබි‍්‍රතාන්‍යයෙන් නයිට් නාමයකින් පිදුම් ලැබුවා. දොස්තර රතනසෝති සරවනමුත්තු මහතා නමින් කොළඹ නගරයේ මාවතක්ද නම් කරලා තියෙනවා

Tuesday, July 12, 2016

අබිං විකුණන්න බලපත‍්‍ර දුන් කොළොම්පුරේ නගර සභාව



කොළොම්පුරේ නගර සභාව කියන්නේ ලංකාවේ වසර 150 ක ඉතිහාසයක් තියෙන පැරණිතම හා ප‍්‍රමුඛතම පලාත්පාලන ආයතනය කියලා ඔයාලා දන්නවාද? ඔන්න මම කොළොම්පුර සවාරියෙන් යන්න හදන්නේ කොළඹ නගර සභාව දිහාවටයි. එකතුවෙන්න මාත් එක්ක නගර සභාවේ අතීතයට ගොඩවැදිලා එන්න. 



 බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ පාළනයට යටත්වෙලා තිබුන අපේ රටේ ඇතිවෙච්චි කැරලි හා විරෝධතා නිසා යම් තරමකට හරි ස්වයං පාලන ක‍්‍රමයක් ලබාදෙන්නට බි‍්‍රතාන්‍යයන්ට අවශ්‍යවෙලා තිබුණා. එ් නිසා කොළඹට නගර සභාවක් ලබා දෙන්න  ඕනේ කියලා බි‍්‍රතාන්‍ය පාර්ලිමෙන්තුවේදි ඔවුන් යොජනාවක් සම්මත කරගත්තා. එ් 1850 වර්ෂයේදි. වර්ෂ 1865  නොවැම්බර්  25 දින ප‍්‍රසිද්ධ කරපු නිවේදනයක් මගින් කොළඹ නගර සභාව පිහිටුවනු ලැබුවා. නගර සභාවේ මුල්ම නාගරික සිමාවන් විදිහට කොල්ලූපිටිය, කොම්පඤ්ඤ වීදිය, කොළඹ කොටුව, ශාන්ත සෙබස්තියන්, පිටකොටුව, ශාන්ත පාවුලූ පෙදෙස, කොටහේන, නිව් බසාර් සහ මරදාන තමයි අයත්වූනේ.
නාගරික මන්ත‍්‍රිවරුන් ලෙසන් ඉදිරිපත්විමට සුදුසුකම් ඇති පුද්ගලයින් පිළිබඳ ලේඛනයක් සකස් කරන්නට 1865 දෙසැම්බර් 08 දින කොළඹ කච්චේරියේ විශේෂ රැස්විමක්ද පැවැත්වූවා. මේ රැස්විමට සහභාගිවූවන් ගේ කමිටුව විසින්  පිළියෙල කරගත් ලැයිස්තුව දවස් 14ක් පුරා කොළඹ කච්චේරියේ ප‍්‍රසිද්ධ කෙරුවා. ඊට පස්සේ නාගරික මන්ත‍්‍රීවරුන් තොරාගැනිම සඳහා රැස්විම ඉදිරියේදි පැවැත්වෙන බව පත්තරවලත් ගැසට් එකෙත් පලකෙරුවා. 



පැරණි නගර සභා ගොඩනැගිල්ල

නාගරික මන්ති‍්‍රවරුන් පත්කරගන්නට මුල්ම රැස්විම 1866 වරෂයේදි ජනවාරි 12 ,13 සහ 15 දවස්වල පැවැත්වූවා. මේ මැතිවරණය පැවැත්වුයේ ආසන නවයක් වෙනුවෙන් පහතින් දැක්වෙන්නේ මුලින්ම නාගරික මන්ත‍්‍රිවරුන් පත්වෙච්චි කට්ටියගේ නම්.
සි.එල් ෆර්ඩිනැන්ඩිස් (කොල්ලූපිටිය) 
දොස්තර ඇෆ්. ඩබ්ලිව් විල්ස්ෆෝඞ් (කොම්පඤඤ වීදිය)
ජේ.ඩබ්ලිව්. වෙන් (කොටුව) 
එෆ්. ජේ. ද සේරම් (ශාන්ත බස්තියම)
දොස්තර ජේ. ඩබ්ලිව්. වෑන් ගේසල් ( පිටකොටුව)
එස්. තම්බයියා (ශාන්ත පාවුලූ)
සි.එ්. ලෝරන්ස් (කොටහේන)
ජේ.ඩි. අල්විස් (නිව් බසාර්)
එෆ්. සී. ලූස් (මරදාන)



පැරණි නගර සභා ගොඩනැගිල්ලේ මුල්ම නාගරික මන්ති‍්‍රවරුන්ගේ රැස්විම පැවත්වූ හැටි අදටත් අපට බලාගන්න පුළුවන්

ආණ්ඩුකාරවරයා විසින් නාගරික මන්ත‍්‍රිවරුන් ලෙසින් තවත් පස්දෙනෙක්  පත්කෙරුවා. 
සි. පි. ලෙයාර්ඞ් (බස්නාහිර පළාතේ රජයේ දිසාපති )
දොස්තර ඩබ්ලිව්. පි. චාර්ස්ලි (ප‍්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරි)
එච්. එ්. එවට් (මහාමාර්ග කොමසාරිස් )
ටි. බර්වික් (නියෝජ්‍ය රාජ්‍ය නීතිඥ)
ජේ.ජේ. ග‍්‍රින්ලින්ග්ටන් (සර්වේ ජනරාල්ගේ සහායක)
නිතරගයෙන්ම මේ නගර සභාවේ සභාපති ධූරයට  සි. පි. ලෙයාර්ඞ් (බස්නාහිර පළාතේ රජයේ දිසාපති ) පත්වුනා. ලේකම් ලෙසින් සැමුවෙල් ග්‍රෙනියර් පත් කරගත්තා. මේ පස්දෙනාම පස්සේ කාලෙක නයිට් නාමයන්ගෙන් පුදනු ලැබුවා. 

1866 අපේ‍්‍රල් 05 දින මුදල් හා ආදායම් එකතු කිරිම, සෞඛ්‍ය හා පොලීසිය, මහජන වැඩ, නීති, සාමාන්‍ය කටයුතුවශයෙන් වෙන් කෙරුණු ස්ථාවර කාරක ස්‍යා පහක් පත්කෙරුණා. 1887 දි සම්මත කරගත් නගර සභා අඥාපනතට අනුව ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ දැනිමක් නැති කිසිවෙකුටත් නගර සභා නියෝජිතයෙක් වෙන්න අවසරයක් තිබුනේ නෑ. කොළඹ මහ නගර සභා මන්ත‍්‍රීවරයෙක් වෙන්න ඉදිරිපත්වෙන එක්කෙනාට රුපියල් 5000 ක වටිනාකමක නිශ්චල දේපළක් අයිතිවෙන්න හරි රුපියල් 500 ක ආදායමක් තියෙන ගෙදරක පදිංචිවෙලා ඉන්න  ඕනේ. 
1910 අංක 06 දරන නාගරික සභා පනත මගින් මෙතෙක් පැවති නාගරික සීමාවන් තවත් පුළුල් කෙරුවා. 1935 අංක 06 දරන නාගරික සභා අඥා පනතින් නගරාධිපති වරයාද නියෝජ්‍ය නගරාධිපතිවරයාද තෝරාපත් කරගන්නට ඉඩකඩ සැලසුනා. එවාගේම නාගරික කොට්ඨාශ 20ක් දක්වා පළල් කෙරුණා.  

1947දි කොළඹ නගර සභාව විසුරවා හැරලා නාගරික කොමසාරිස්වරයෙකු යටතට පත් කිරිම ද දේශපාලන පක්ෂ බොහෝමයක්ගේ දෝෂාරෝපනයන්ට ලක්වෙන්නත් සිදුවූනා.  1963 දි පළාත් පාලන ඇමතිවරයා විසින් ගෙන ආ යෝජනාවකට අනුව කොළඹ නගර සභා ඡන්ද කොට්ඨාශ 47 දක්වාත් වැඩි කෙරුණා. 
1866 සිට 1937 දක්වා වසර 71 නගර සභාවේ පාලනය තිබුනේ යුරෝපියන් අතේ. 1937 දි කොළඹ නගර සභාවේ පළමු ලාංකික මන්ත‍්‍රිවරයා මෙන්ම ප‍්‍රථම නගරාධිපති ධුරයද රතනසෝති සරවනුමුත්තු මහතා ලැබුවා. 

කොළඹ නගර සභාවේ පළමු අවුරුද්දේ ආදායම ලෙස රන්පවුම් 6429 ලැබුවා කියනවා. 1872 රුපියල් සත ලංකාවට හඳුන්වාදිමත් එක්කම අදායම වුයේ රුපියල් 29,444 ක්. මේ කාලේ නගර සභාවේ ප‍්‍රධාන අදායම් මාර්ගයවුයේ තක්සේරු වරිපණම් බදු, වාහන සහ සත්ව බදු, විදී රේන්ද බදු, පාලම් හා ඇළවල් බදු, සත්ව ඝාතන බලපත‍්‍ර, ප‍්‍රවාහන බදු,වයින් හා සිල්ළර වොළද බලපත‍්‍ර, තුවක්කු බලපත‍්‍ර, මුද්දර ගාස්තු, මස්මඩු ගාස්තු, පොලිස් හා මහෙස්ත‍්‍රාත් වරුන් විසින් අයකරන ගාස්තු ආදියයි. 

 නගර සභාවට අයවිය යුතු ගාස්තු මුදල් ලබාගැනිම සඳහාත් නිති ආදිය ක‍්‍රියාත්මක වෙනවාද බැලීම සඳහා නගර සභා ගොඩනැගිල්ලේ ඇතුලේ උසාවියක්ද පවත්වාගෙන ගියා. මේ උසාවිය සෑම දිනකම රැුස්වුනා. මේ උසාවියෙන් විවිධ පැමිණිලි විභාගයට ගත්තා. දඩ ගැසීම් වලින් විශාල අදායමක්ද නගර සභාව ලැබුවා. 



මේ කොළඹ නගර සභාවෙන් කරපු සුවිශේෂ කාර්්‍යයන් ගොඩාක් තියෙනවා. 1870 අපේ‍්‍රල් 22 දිනයේ දි පිටකොටුව එඩින්බරෝ වෙළඳ පොළ සඳහා එඩින්බරෝ ආධිපාදවරයා විසින් මුල්ගල තැබුනා. 1892 දි පමණ පළමු ගල් තලන යන්ත‍්‍රයක් නගර සභාව වෙත මිලදීගත්තා. මේ අවුරුද්දේම කොළඹ කනත්ත හා මාදම්පිටිය කනත්තද නගර සභාවට පවරාගත්තා. 1893 වසරේදි ශාන්ත ජෝන් මාළු වෙළඳ පොළ රුපියල් 17500 ක මුදලක් යොදවා ඉදි කෙරේව්වා. කොළඹ නගරයේ කොටසක් විදීපහන් කණු යොදවා ආලෝකමක් කෙරුවේ 1897 දි . තවත් අවුරුදු දෙකට පස්සේ අවුරුද්දකට එක් විදී පහනක් නඩත්තු කිරිම  සඳහා රුපියල් 45 ක සේවා ගිවිසුමක් යටතේ විදී පහන් 2000කින් කොළඹ නගරය ආලෝකමත් කරවන්නට කොළඹ ගෑස් සමාගම එක්ක ගිවිසුමක් ඇතිකරගත්තා. මේ අවුරුද්දේම තමයි කොළොම්පුරයේ විදුලි ට‍්‍රෑම් රථ සේවාව ආරම්භකලේ.

 1943දි බවුස්ටඞ් සමාගමට රුපියල් 3, 663, 443 ක මුදලක් ට‍්‍රෑම් කාර් සේවාව නගර සභාවට පවරාගත්තා. 1954 දි ට්‍රොලි බස් සේවාව ඇති කරපු හින්දා ට‍්‍රෑම් කාර් සේවය නැතිවෙලා ගියා.  

 දන්නවාද කොළඹ නගරයේ අබිං විකුණන්නත් නගර සභාවෙන් බලපත‍්‍ර ලබාදීලා තිබුණා කියලා? අබිං වෙළදාමට හා අරක්කු තැබෑරුම් වලට බලපත‍්‍ර දීමෙන් නගර සභාව විශාල අදායමක් උපයාගත්තා. කොළඹ නගරයට ලබුගම ජලාශයෙන් නල මගින් ජලය පොම්ප කර ජලසම්පාදන කටයුතුද 1905 ජනවාරි පලමුවෙනිදා සිට කසළ ශෝධන කි‍්‍රයාවන්ද නගර සභාව පවත්වාගෙන යන්නට පටන්ගත්තා.  

මේ සියවස් එකහාමාරක් පැරණි නගර සභාවේ තවත් කරපු කියපු දේවල් ගැන කියන්න ගොඩාක් දේවල් තිබ්බත් එතකොට මේ ලිපිය කියවන ඔයාලත් නීරස වෙන හින්දා පස්සේ දවසක එ්වාත් අරගෙන එන්න හිතාගෙන කොළඹ හතේ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට අලංකාර මන්දිරයක තියෙන අපේ කොළොම්පුර නගර සභා ගොඩනැගිල්ලෙන් එළියට බැස්සා.    
       




Thursday, July 7, 2016

කොළොම්පුරේ නැව් රෙපෙයාර් කරන තැන කොළඹ නැව්තටාකාංගනය


ඔන්න අද මම යන්න හදන්නේ කොළඹ නැව් තටාකාංගනය පැත්තේ  එන්න මාත් එක්ක කොළොම්පුර නැව්තටාකාංගනයේ අතිත තොරතුරු දැනගෙන එමු. බි‍්‍රතාන්‍ය පාලන කාලය තුල අප රටේ වැවිළි කර්මාන්තය සීඝ‍්‍රයෙන් ඉහළ යන්න ගත්තා. එ් නිසා ඇතිවුනු අපනයන වෙළඳපොල හින්දා ශ‍්‍රී ලංකාව තුල හොඳ වරායක අවශ්‍යතාවයක් ඇතිවුනා. මේ නිසාම පෙරදිග නැව් මාර්ගයේ සන්ධිස්ථානයක්වු කොළඹ වරායේ අලූතින් දියකඩනයක් එහෙම හදලා වරායේ ඉඩකඩ පුළුල් කරගත්තා.

 ක‍්‍රමක් ක‍්‍රමයෙන් වරායට එන නැව් ප‍්‍රමාණය ඉහල යන්න ගත්තු හින්දා නැව් අලූත්වැඩියා කරගන්නත් අවශ්‍යතාවයවල් ඇතිවන්නටත් වුනා. ඉතිං මේ සේවාවන් ඇතිකරවන්නට අප රට පාලනය කල බි‍්‍රතාන්‍යයන්ට ලොකු උවමණාවක් තිබුනා.  එ් හින්දාම 1897 වසරේදි නැව් අලූත්වැඩියා කරන මධ්‍යස්ථානයක් හදන්නට ව්‍යවස්ථාදායක සභාව පවුම් 318,000 වෙන්කලා. 



1899 මාර්තු 01 දින  ජේම්ස් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරතුමා විසින් මේ  මධ්‍යස්ථානය හදන්නට පළමු මංගල පස්පිඬැල්ල කපලා වැඬේට මුලපිරුවා.


                               

                                

අවුරුදු ගණනක මහන්සියෙන් හදාපු නැව් තටාකාංගනය 1906 ඔක්තේම්බර් 31 වැනිදා එවකට හිටිය ආණ්ඩුකාර හෙන්රි බ්ලේක් විසින් විවෘත කරනු ලැබුවා.



 එදා මේ නැව් තටාකාංගනයට මුලින්ම ඇතුලූවූනේ වාෂ්ප බලයෙන් ධාවනය වන මොන්සිටන් නම්වු  අඩි 325 ක් දිග නොෟකාවක්

ඊට පස්සේ 1938 ජුලී 18 වනදා එවකට හිටපු ආණ්ඩුකාරයා වූ ඇන්ඩෲ කොල්ඩිකොට් මහතා විසින් දෙවන වියලි තටාකාංගනය විවෘත කලා. පසුව  දෙවන ලෝක යුද්ධ සමයේ අනතුරට පත්වන සබ්මැරින් යාත‍්‍රාවල අලූත්වැඩියා කටයුතු සඳහා තටාක අංක 3 ත් සාදනු ලැබුවා. 

1948 දි ලංකාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබුවාට පස්සේ මේ වියලි තටාකාංගනය වල පාලනය කොළඹ වරාය කොම්සමට පැවරුනි. මෙම වියළි තාටාක වල නැව් අලූත්වැඩියා කටයුතු කෙරුවේ වොකර්ස් බොනාස් වැනි ආයතන වලින්. ඉතිං මේ තටාකවලින් වැඩිපුර ප‍්‍රතිලාභ ගත්තේ මේ පෞද්ගලික ආයතන තමයි.

 වර්ෂ 1970 බලයට ආපු සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ලංකා නැව් සංස්ථාව ආරම්භකරලා තිබුණා.මේ නැව් සංස්ථාව සතු නැව් වල අලූත්වැඩියාවන් කරගන්නට තමන්ටම ආයතනයක් අවශ්‍යයි කියලා දැනෙන්නට වුනා. රජයට අයත් නැව් අලූත්වැඩියා කිරිමේ ආයතනයක වටිනාකම තේරුම් අරගෙන එවකට වරාය හා නාවුක කටයුතු ඇමතිවරයාවු පි.බි. කළුගල්ල මහතාගේ අනුග‍්‍රහය මතින්  රුපියල් 200,000 ක ප‍්‍රතිපාදන අරගෙන එ්. රගුනාදන් මහතාගේ මගපෙන්විම  අරගෙන 1974 අගෝස්තු 01 දින කොළඹ නැව්තටාකාංගනය බිහිකෙරුවා.

                                      

                                            

සිල්වා, වික්ටර්, පෝල්, බාලා, පේ‍්‍රමදාස, රන්බණ්ඩා, සයිමන්, පුංචි බණ්ඩා යන ආරම්භක සේවක මහතුන් පිරිසක් පිරිසක් මැදිකරගත්තු රගුනාදන්  මහතාගේ නායකත්වය මතින් මේ අලූත් ආයතනය නගාසිටුවන්නට අභියෝගයින්ට මුහුණ දුන්නා. අභිනවයෙන් ආරම්භකල මේ ආයතනයේ අරමුණු වගකිම් හා අවශ්‍යතා බොහෝමයක් තිබුනා. නැව් අලූත්වැඩියාවන් කිරිමට අවශ්‍ය වැඩහල් පහසුකම් දියුණු කිරිම,යන්ත‍්‍ර උපකරන මිළදිගැනිම වැනි කි‍්‍රයාවන් තමයි මේ කලේ ප‍්‍රමුඛස්ථානය දුන්නේ. මේ අතර නැව් අලූත්වැඩියාවන්ට අමතරව නව ගොඩනැගුම් අංශයක් එහෙම නැත්නම් අලූතෙන් නැව් හදන අංශයකුත් පටන්ගත්තා. ශ‍්‍රී ලංකා නාවුක හමුදාවට අවශ්‍ය යාත‍්‍රා නිපදවිම මෙහි ආරම්භකරන්නට හැකිවුනා. ලැබු ආදායමෙන් වානේ වැඩහල් සංකීර්ණයක්ද විශාල යාත‍්‍රා නිපදවිම් සිදුකරන්නට දියත්මනක්ද ඉදිකලා. 

මේ මුල්කාලයේ වසරකට නැව් 280 ක් පමණ අලූත්වැඩියා කර ඇති අතර පසුව 1980 වසරේදි නැව් 348ක් ද අලූත්වැඩියා කලා. විශාල නෞකාවන් වල අලූත්වැඩියාවන් කරන්නට 1, 2 හා 3 තටාකයන් ප‍්‍රමාණවත්වුනේ නෑ.  කළම්බු ඩ‍්‍රයිඩොක්ස් ලිමිටඞ් නමින් අනුබද්ධ ආයතනයක්ද ආරම්භකලේ නිෂ්පාදන හවුල්කරුවෙක් සේ නව වෙළඳ උපායමාර්ගයක් ලෙසින්. විශාල නෞකාවන් ඇතුල් කලහැකි වියළි තාටකයක් සාදන්නට නාවුක කටයුතු ලලිත් ඇතුලත් මුදලි මහතා විසින් මංගල පස්පිඩැල්ල කැපුවා. ජපානයේ කජීමා සමාගම මේ මහ ව්‍යාපෘතිය කරගෙන ගියා. අවුරුදු පහකට පස්සේ ආයතනයේ තිබෙන සුවිශාලම වියලිතටාකය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතින් විවෘත වුනා.

                                

1988 - 1989 රටේ පැවති භීෂණකාරිවාතාවරණය හා උතුරේ යුද්දයද නැව් තටාකාංගනයට  බලපෑවා. එ් නිසාම පාඩු ලබන්නට ගත් මේ ආයතනයයේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්වුනා. මුල්‍ය අස්ථාවරයන්ට මුහුණ දෙන්නට කොළඹ නැව් තටාකාංගනය රුපියල් මිලියන 620කට විදේශ හවුල්කරුවන් වෙත තක්සේරුකෙරුවා. මේ නිසා ජපානයේ ඔනොමිචි සමාගම මෙම ආයතනයේ ආයෝජනය කරන්නට ගිවිස ගත්තා. 

එවකට පිහිටි රජය 1993 මාර්තු 12 වන දින මුදල් අමාත්‍යංශයේදි ජපානයේ ඔනිමිචි සමාගමට සී/ස කොළඹ නැව් තටාකාංගනයේ කොටස් වලින් 51% විකුණා දැම්මා. මේ ගණුදෙනුවේදි 10% ක කොටස් ආයතනයේ සේවකින් අතරත් බෙදිගියා. ඊට පස්සේ 1993දි කොළඹ නැව් තටාකාංගනය හා කළම්බු ඩ‍්‍රයිඩොක්ස් ලිමිටඞ් යන ආයතන දෙකම එක සමාගමක් බවට පත්කරලා කලම්බු ඩොක්යාඞ් ලිමිටඞ් නමින් නව ගමනක ආරම්භයක් සනිටුවන් කලා. 

 දශක හතරක් ගෙවුන මේ ආයතනය මගින් විශාල ප‍්‍රමාණයේ මගී නෞකාවන්ද දියඹේ නැංගුරම් හසුරවන බහුකාර්ය සැපයුම් නෞකාවන් ඇතුලූ නැව් විශාල ප‍්‍රමාණයක් නිපදවලා රටට විදේශවිනිමය අරන් එන්න බොහෝම ලොකු දායකත්වයක් ලබාදිලා තියෙනවා. 

Tuesday, July 5, 2016

කනත්තක ගොඩනගපු රජගෙදර


සියවසක් පමණ සාමාන්‍ය මහජනයාට විවෘත නොවුනු කොළඹ කොටුවේ පිහිටි රජගෙදර නොහොත් ජනාධිපති නිල නිවස පසුගිය මාසයේ දින කිහිපයක් පළමුවතාවට මහජනයාට නරඹන්න අවස්ථාව උඳාවුනා. පසුගිය යුද සමයේ රජගෙදර ලඟින්වත් යන්න ලැබුනේ නැති හින්දා මමත් ඉතිං මගේ දඬුමොනර යන්තරේ කොටුවේ  නවත්තලා පොලිමට එකතුවූනා. මේ රජ ගෙදර ඉතිහාසය හොයාගෙන යද්දි 18 වන සියවසේදි ගොඩනංවන ලද  මේ සුවිශාල මන්දිරය තම වාසස්ථානය කරගෙන හිටියේ ලංකාවේ අවසන් ලන්දේසී ආණ්ඩුකාරයාවු ඇන්ගල් බීක් (Jean Gerard Van Angelbeek - 1794.07.15 - 1796.02.16) . ඉංග‍්‍රීසීන් කොළඹ කොටුව ලන්දේසීන්ගෙන්  යටත් කරගන්න කොට ඇන්ගල් බීක් අන්ඩුකාරයා මෙම නිවස අතනොහැර හිටියා කියලත් කියනවා.  පසුව මේ මන්දිරය ඔහුගේ මිනිපිරියවු ජැකොමිනාට අයත්වුනා. ඈ විවාහ වි සිටියේ ඉංග‍්‍රීසී ආන්ඩුවේ සිවිල් නිලධාරියෙකුවු ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි සමගින්. ඔහු ප‍්‍රධාන ආදායම් නිලධාරි ධුරය දැරූ අවදියේදි ගිණුම් පියවිමේ දි සිදුවු මුදල් අක‍්‍රමිකතාවයක්  නිසාවෙන් පවුම් දස දහසක අඩුවක් පියවන්නට සිදුවූනා. මේ ඇබැද්දියෙන් බේරෙන්නට රජය විසින් තක්සේරු කරනු ලැබු පවුම් 35000ක මුදලකට ලන්දේසී පරපුරේ අවසන් උරුමය බි‍්‍රතාන්‍ය පාලකයින්ට 1804 ජනවාරි 17 පවරාදුන්නා. කොළඹ කොටුවේ මනරම් ස්ථානයක පිහිටි මේ මන්දිරය පසුව ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවුරුන් ගේ නිල නිවාසය බවට පත්වුනා. රෝබට් හෝටන් ආණ්ඩුකාරවරයා (Robert wilmet Horton -1831.10.23 - 1837.11.06)  විසින් පවුම් 700 ක් වියදම් කර පිළිසකර කරවු මේ  මන්දිරය 1852 වර්ෂයේදිද ජෝර්ජ්  ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයා (George William Anderson - 1850. 11.27 - 1855.05.10) විසින් ප‍්‍රතිසංස්කරණය කෙරෙව්වා. මුලින්  ඕලන්ද ගෟහනිර්මාන අනුකුළව ඉදිවූවත් පසුව සිදුකරු ප‍්‍රතිසංස්කරණ නිසාවෙන් බි‍්‍රතාන්‍ය වාස්තුවිද්‍යාත්මක අංග ලක්ෂනද මේ ගොඩනැගිල්ලට එකතුවුනා. මේ මනහර ගොඩනැගිල්ල මහල් දෙකකින් යුක්තයි. පහත මාලය  ඕලන්ද ගෟහනිර්මානය අනුව සැකසුනත් ඉහළ මාලය බි‍්‍රතාන්‍ය අංග ලක්ෂන පෙන්නුම් කරනවා. ආරුක්කු සහිත පිටත බිත්ති හා අභ්‍යන්තරයේ ශක්තිමත් දැවමය නිර්මාණ බොහෝමයක් තියෙනවා. ඉහළ මාලයේ පොලවද නිමවා තියෙන්නේ දැවයෙන්. මෙහි බි‍්‍රතාන්‍යයෙන් ආනයනය කල ඉස්තරම් වර්ගයේ විදුලි උපකරණයෙන්ද ගෘහභාන්ඩයන්ගෙන්ද මෙහි ප්‍රෙෘඪත්වය ඉස්මතුකරනවා. මෙම මන්දිරයේ අප රටේ සුප‍්‍රසිද්ධ චිත‍්‍රශිල්පින්ගේ අලංකාරහා වටිනා චිත‍්‍රවලින්ද පිරිතියෙනවා. මා විසින් ඡයාරුපගතකරන ලද චිත‍්‍ර කිහිපක්  පහතින් දකින්න පුළුවන්. ජනාධිපති මන්දිරය අසළ කොළඹ නුවර මාර්ගය ඉදිකිරිමට මුල්වු ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස් ගේ (Sir Edward Barnes) ලෝකඩ ප‍්‍රතිමාවක්ද ස්ථාපිත කරලා තියෙනවා.

 මේ මන්දිරයට පසුපසින් ගොර්ඩන් උද්‍යානය නම්වු  මනරම් උද්‍යානයක්ද පිහිටා තියෙනවා. මෙම උද්‍යානය විහාරමහාදේවි උද්‍යානයට වඩා පැරණි බවයි පොත්පත් වල සදහන්වෙන්නේ. පෘතුග‍්‍රීසීන්ගේ ලාංජනය සහිත ගලක්ද මේ උද්‍යානයේ පිහිටා තියෙනවා. පෘතුග‍්‍රීසීන් මේ ස්ථානයේ ශාන්ත ෆ‍්‍රැන්සිස් මුනිදුන්ට කැපකරන ලද දේවස්ථානයක්. මෙහි සුසාන භූමියක්ද පිහිටා තිබුනා. අප රටේ රූකඩ පාලකයෙක්වු ෙදාන් ජුවන් ධර්මපාලගේ දේහය මිහිදන් කර ඇත්තේද මෙම උද්‍යානයේ. 1656 දි කොළඹ කොටුව ලන්දේසීන්ගේ පාලනයට පත්වුනාට පස්සේ මේ දේවස්ථානය පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ (V.O.C - de Vereenigde Oostindishe Compagnie / The United East India Co) නිල දේවස්ථාය බවට පත්වූනා. 1749 දි ලන්දේසී ආණ්ඩුකාර ජූලියස් වෑන් ගේ (Julliu Velentyn Stein Van Gollennesse) මුලිකත්වයෙන් ආදුරුප්පු වීදියේ පල්ලිය (Wolvendhaal Church) ඉදිකලාට පස්සේ මේ දේවස්ථානය  අතහැරලා දැමිම නිසා පසුව නටබුන් බවට පත්වු මේ පල්ලිය ඉංග‍්‍රීසීන් විසින් කඩා දැම්මා. මෙහි තිබු භාන්ඩ හා සොහොන් ගල් ආදුරුප්පු වීදියේ පල්ලියේ තැම්පත් කරනු ලැබීය. මේ සොහොන් ගල් අතර  ඕලන්ද ආණුඩුකාරවරුන් පස් දෙනෙකුගේ සොහොන් ගල් හා දාන් ජුවන් ධර්මපාලගේ සොහොන් ගලද වෙනවා. පසුව 1832 දි ෙදාන් ජුවන් ධර්මපාලගේ සොහොන් ගල එතැනින් ඉවත් කර කොටුවේ ශාන්ත පීතර දේවස්ථානයේ තැම්පත් කලා කියනවා.
1813 දි මේ  ශාන්ත ෆ‍්‍රැන්සිස් මුනිදුන්ට කැපකරන ලද දේවස්ථානය කඩා ඉවත් කලාට පස්සේ වසර කිහිපයකින් ජලමල්  වැනි උද්‍යාන අංග එක්කර වැඩි දියුණු කරන ලද්දේ ආතර් ගෝර්ඞ්න් (Arthur Hamilton Gorden - 1883.12.03.-1890.05.27 ) ආණ්ඩුකාරවාරයාගේ නිල කාලයේදි. එ් නිසයි මෙම උද්‍යානයට ගෝර්ඞ්න් ගාඩන් නම් කරන්නේ. මුලදි අක්කර දහයක් පමණ වු මේ උද්‍යානය පසුව අක්කර තුනකට සිමාවු බව පැවසෙනවා. මෙය උද්‍යානයක් ලෙසින් සකසන්නට පෙර මෙහි බොහෝ විදේශිකයින් පාපන්දු හා ක‍්‍රිකට් කි‍්‍රඩා කල පිටියක් ලෙසද යොදාගෙන තියෙනවා.  

මෙහි සියළු ඡයාරූප මා විසින් ලබාගත් එවායි.













Monday, July 4, 2016

සිංහලයන්ගෙන් බේරෙන්න පෘතුග‍්‍රීසීන් හදපු බේරේ වැව

කාලෙකට ඉස්සර බේරේ වැව ගැන නම කියනකොටම කවුරුත් නහය වහගත්තා. පසුගිය කාලේ බේරේ වැව හාරලා වැව රවුම සුද්ද බුද්ද කරලා මැද තියෙන දුපතේ අලංකාර රවුම් වහලක් එක්ක එ් දුපතට යන්න එන්න එල්ලෙන පාලමකුත් දැම්මාට පස්සේ නහය වහගත්තු උදවියටත් ජපන් ජබර හැදිලා කුණු වලින් පිරිලා එහෙම ගඳ ගහපු කාලයක් තිබුණා කියලත් අමතකවුනා නේද? එත් ආදිකාලේ බේරේ වැව කියන්නේ සුද්දෝ සුද්දියෝ වසඟයට ගත්තු ඉතා පිරිසිදු අති රමණිය අලංකාර වැවක්. ඔන්න එහෙනම් එ් අතීතයට පොඞ්ඩක් ගොඩවැදෙමු. 

වර්ෂ 1518 දි පමණ කොළඹ පෘතුග‍්‍රීසීන්ගේ යටතට පත්වෙලා තිබුනේ. කෝට්ටේ විජයබාහු රජතුමාගේ සිංහල සේනාවන්ගේ අක‍්‍රමණයන්ට බලකොටුවට වෙලා තමන්ගේ තුවක්කු වලින් එවා පරාජය කෙරුවත් සිංහල හමුදාවන්ගේ නිරන්තර ප‍්‍රහාරයන්ට ලක්වෙන්න පෘතුගි‍්‍රසින්ට සිද්ධවුනා. ඉතිං මේ ප‍්‍රහාර වලින් ගැලවෙන්න බලකොටුව වටා දිය අගලක් කපන්න තිරණය කලා. බලකොටුවේ බටහිර පැත්ත මුහුදෙන් ආවරණය වුනත් අනෙක් පැති වගුරු බිමකින් තමයි තිබුනේ. පෘතුගී‍්‍රසී හමුදාව ඉක්මණට දිය අගල කැපුවත් එකට දෙන්න හොඳ ස්භාවික ජල පහරක් තිබුනේ නෑ. දවසක් සිංහල සේනාවන්ගේ ප‍්‍රහාරයකට ලක්වෙච්චි පෘතුගී‍්‍රසී කපිතාන් ලොපෝ ද බි‍්‍රටෝ ඇතුලූ සොල්දාදුවෝ මුතුරාජ වෙල පැත්තට දිව්වා. එහිදි ඔවුන්ට කදිම ජල පහරක් හමුවුනා. මේ ජලපහර දෙමටගොඩ කඳුගැටයත් සාන්ත බස්තියම කඳුගැටයත් අතරින් සාගරයට ගලා බැස්සා. ඉතිං මේ විශාල දිය පහර එයාලා කලින් කැපු අගල එක්ක එකතු කරලා 1521 දි මේ බේරේ වැව හැදුවා. අක්කර 400ක් විතර විශාල වුන මේ වැව නිසා කොටුවෙන් පිටකොටුවට යන්න වුනෙත් මේ වැවේ ගමනාගමනය කරපු ඔරු පාරු වලින් තමයි.  එ් කාලේ මේ බේරේ වැව මුහුදට වැටුනේ බලකොටුව ගොඩබිමින් වෙන් කරමින් බටහිර පැත්තෙන් සෙන්ට් ජොන් ඇළත් නැගෙනහිර පැත්තෙන් කයිමන් ගෙට්ටුව අසළින්. මේ බේරේවැව පතුලට හින්දලා බලකොටුව අල්ලාගන්න සිතාවක මායාදුන්නේ රජ්ජුරුවො කිහිපසැරයක් උත්සාහ කලා. පසුකාලෙක එයාගේ පුතාවු රාජසිංහ රජ්ජුරුවො පතුලට හින්දුවා කියලා පොත් පත්වල සඳහන් වෙනවා. මේ බේරේ වැව පෘතුගී‍්‍රසීන් එයාලගේ ආරක්ෂාවට පවුරක් ලෙසින් යොදාගත්තා විතරක් නෙමෙයි බඩු භාන්ඩ ප‍්‍රවාහණයටත් යොදාගත්තා. කොටුවට පිටකොටුවට පළතුරු එළවළු ප‍්‍රවාහණය කරලා අවට නගරවලටත් බෙදාහරින්න මේ වැව උපයෝගිකරගත්තා. එ් වාගෙම මේ වැව පුරාම කිඹුල්ලූත් හිටියා. කයිමන් දොරකඩට නම වැටුනෙත් මේ බේරේ වැවේ ඇළක හිටපු කිඹුල්ලූ නිසා. 1665 දි ලන්දේසීන්ගේ ආක‍්‍රමණයන්ට ලක්වෙද්දි මේ බේරේවැව හරහා අවශ්‍ය දව්‍ය නිරන්තරයෙන් අරගෙන ආවා. 


ලන්දේසීන්ගේ පාලන කාලේදි මේ වැව තවත් විශාල කලා. එ් පෘතුග‍්‍රීසීන් හදපු බලකොටුවේ තුනෙන් එකක් විතර වැවට යට කරලා කුඩා කරලා දැම්මා. පසුකාලිනව මේ වැව කෙන්ද්‍රකරගනිමින් ඉතා පුළුල් වු කාර්්‍යක්ෂම ඇළ මාර්ග පද්ධතියක් නිර්මාණය වුනා. වැවට නැගෙනහිරින් වු සාන්ත බස්තියන් කන්ද කපා දමා වැව කැළණි ගඟට සම්බන්ධ කෙරෙන සාන්ත බස්තියන් ඇළ නිර්මාණය කෙරුවා. දකුණු පැත්තෙන් බොල්ගොඩ බොල්ගොඩ  කිරුළපන ඇළවල් හරහා වැව පානදුර ගඟට සම්බන්ධ කරණු ලැබුනා. එක පසුව කළුගඟටත් සම්බන්ධවුනා. මේ මුළු ඇළ මාර්ග ජාලය තුලින් ඇතිවු ජල පද්ධතිය හරහා  භාන්ඩ හා මගී ප‍්‍රවාහණ සේවයක් ඇති කෙරෙව්වා. එ් නිසා රත්නපුරයේ ඉදලා බඩු භාන්ඩ කළුගඟ ඔස්සේ පාරු මගින් කොළඹ කෙටුවට අරගෙන එන්නත් පුළුවන් කම තිබුනා. මේ වැවේ පිටාර ජළය බැසයාම පාළනය කරන්නත් ගේට්ටු පවා ලන්දේසීන් හදලා තියෙනවා.

එ් කාලේ මේ බේරේ වැවට කිව්වේ කොළඹ වැව කියලා. 1920 දි පවා කොළඹ සිතියම් වල තිබුනෙත් කොළඹ වැව (Colombo Lake) නමින් තමයි. මේ වැවට බේරේ වැව කියලා නම වැටුන හැටි නම් කවුරුත් හරියටම දන්නේ නෑ. සමහරුන් කියන්නේ පෘතුග‍්‍රීසීන් ගේ බේරේ (Beira) නම් ඉන්ජිනේරුවා වැව හදවන්න මුලික උනා හින්දා එයාගේ නම දැම්මා කියලා.  තවත් එකක් නම් ඞී බියර් (De Beer)නම් ලන්දේසී ඉන්ජිනේරුවාගේ නමින් බිදිලා ආපු වචනයක් කියලා. බොට්ටු නැංගුරම් දාන ස්ථානයට කියන ඩිබියර් යන වචනින් බේරේ යන්න බිඳිලා ආවා කියනවා.

මේ වැව ඉංගී‍්‍රසින්ගේ පාළන කාලයේදි ඔවුන්ගේ උත්සව වලටත් ජලකි‍්‍රඩා වලටත් යොදාගත්තා. එතකොට නම් දැන් කාලේ වාගේ වැවේ ජලය දුෂණය වෙලා තිබුණේ නෑ. හැබැයි ඔවුන් ගේ පාළන කාලේදි  මේකේ විනාශයද ආරම්භකලා. ඔවුන් මේ වැව ගොඩකර දමමින් කොළඹ කොටුවට හා පිටකොටුව ඇතුළුවන්නට එ් පෙදෙස් වල භූමිය අත්පත් කරගත්තා. දැනට මේ බේරේ වැවේ ශේෂව තියෙන්නේ එදා කොළඹ නගරය වටා තිබුන ජල පද්ධතියෙන් ඉතා කුඩා කොටසක් පමණයි.