Monday, August 29, 2016

රටගිය මුදියන්සේ තැනු වලව්වේ පන්සල

කෙළොම්පුරේ බටහිර ජාතින් අල්ලාගෙන දියුණු නගරයක් බවට පත්කෙරේව්වත් කැළණි පන්සලේ සිට බෙල්ලන්විල පන්සල දක්වා වු ප‍්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයක් පිහිටලා තිබුනේ නෑ. පන්සලක් තියා බුදු පිළිමයක් ඉදි කරන්නටවත් අධිරාජ්‍යවාදි ආණ්ඩුවෙන් අවසරයක් ඉඩක් ලැබුණේ නෑ. එහෙම බෞද්ධ විරෝදි පරිසරයක් තුල කොළොම්පුරේ ඉදිවු පළමු බෞද්ධ විහාරස්ථානය වුයේ කොටහේනේ දිපදුත්තාරාමය  විහාරස්ථානයයි. 

 

   

රටගිය මුදියන්සේ නමින් ප‍්‍රකටවු සවියෙල් තාබ්‍රෙව් උභයකුලතුංග විජේසිරිවර්ධන  මහ මුදලිතුමන් එවකට හිටිය  ඕලන්ද ආණ්ඩුකාරතුමන්ගෙන් විශේෂ අවසරයක් අරගෙන තමන්ගේ වලව්වේ විහාරයක් පිහිටුවා ගත්තා. ඔහු මුල් කාලේ සීනිගම ධම්මක්ඛන්ධ හිමියන් විහාරයට වැඩමවාගෙන ආගමික කටයුතු හා වස් වස්වා ගැනිම ආදි කටයුතු කරගත්තා. එ් කොටහේන අවට හිටිය ප‍්‍රභූ පවුල්වල හා වලව්වල අයගේ අරමුණවුනේ තම ආගමික අවශ්‍යතා ඉටුකරගන්නයි. ප‍්‍රභූ පවුල්වල අයගේ පන්සලක් වුනු නිසා සාමාන්‍ය පොදු ජනතාව මේ පන්සලේ කටයුතු වලින් ඈත්ව තමයි හිටියේ. පසුව සීනිගම ධීරක්ඛන්ධ හිමියන් මේ ස්ථානයේ ස්ථිර ආරාමයක් ආරම්භකලා.  1806 වසරේ දි මේ පන්සලේ පැවැත්වු මහා සති පිරිත් පිංකමින් පස්සේ පොදු ජනතාවත් පන්සල වටා එක්වෙන්න පටන්ගත්තා. 1835 බි‍්‍රතාන්‍ය පාලන කාලේදි ඇතිවු දැඩි ආගමික බලපෑම් හින්දා පන්සල විනාසවෙලා ගියා කියලා තමයි සඳහන් වෙන්නේ.



ඔන්න ඊළඟට කොටහේනේ දිපදුත්තාරාමය පන්සලේ තුන්වැනි විහාරාධිපති කමට පත්වෙන්නේ වාදීසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් තමයි. දක්ෂ කථිකයෙක් හා ධර්ම ශාස්තී‍්‍රය කටයුතු ඉහල දැණුමක් තිබුනු වාදීසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් තමයි පන්සල ආපහු ගොඩනගලා ගන්නේ. දන්නවානේ සුප‍්‍රසිද්ධ පානදුරාවාදය? මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් තමයි පානදුරාවාදයේ නියමුවා. ඒ හිමියන්ගේ දැඩි කැපවිම හේතුවෙන් ආයෙත් මේ පුදබිම බෞද්ධයන්ට ලැබෙනවා. උන්වහන්සේ මේ පන්සලේ වැඩවසමින් සිදු කරපු ආගමික හා ජාතික මෙහෙවර නිසා මේ විහාරස්ථානය දෙස් විදෙස් සුපතල බෞද්ධ ආයතනයක් බවට පත්වුනා. පංච මහා වාදයට පානදුරා වාදයට හා එකල ඇතිබු බෞද්ධ ප‍්‍රබෝදයටත් මේ විහාරස්ථානය මුලීක වෙලා තියෙනවා.  ඔයාලා දන්වාද බෞද්ධ කොඩිය පළමු වරට ගුවනට එසවු හා වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශකල පින් බිමක් ලෙසින් මේ විහාරය ඉතිහාස ගතවෙනවා කියලා? 



   Prince Prisdang Chumsai  (පැවිදිවිමට පෙර)  

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් පස්සේ මේ පන්සලේ අධිපති කමට පත්වෙන්නේ ගුණානන්ද හිමියන්ගේ ජාතික මෙහෙවරට තම ඥාණ ශක්තියෙන් උදව් උපකාර කල රාජගුරු වස්කඩුවේ ශ‍්‍රී සුභූති නාහිමියන්ටයි. ගුණානන්ද නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකුවු මොහොට්ටිවත්තේ ජනානන්ද හිමියන් අකාලයේ අපවත්වු නිසා වස්කඩුවේ ශ‍්‍රී සුභූති නාහිමියන් තමන් යටතේ වස්කඩුව විහාරයේ පැවදිවූ සියම් ජාතික රජකුමරෙකුවූ පී.සී ජිනවරංශ  හිමියන්ට (Prince Prisdang Chumsai)  මේ විහාරස්ථානය පවරලා දුන්නා. පී.සී ජිනවරංශ හිමියන් ප‍්‍රසිද්ධවුනේ කුමාර හිමියන් නමින් තමයි. උන්වහන්සේ ලෝක ප‍්‍රකට රත්න චෛත්‍ය මෙහි ඉදිකකෙරේව්වා. මේ චෛත්‍යයේ තැම්පත් කරලා තියෙන්නේ රාජගුරු වස්කඩුවේ ශ‍්‍රී සුභූති නාහිමියන්ට කපිලවස්තු පුරයෙන් ලැබුණු බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ නමක්. විහාර ගෙය ඉදිරිපිට තනා තිබෙන තායි සම්ප‍්‍රදායට අනුව ඉදිකල රත්න චෛත්‍යයට 1908 මාර්තු 20 දින Penang  හි Lim Leng Cheaf  නම් කාන්තාවක් විසින් මුල්ගල තැබිම සිදුකරලා තියෙනවා.



 මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් ගේ නාමය වෙනුවෙන් ජිනවරංශ කුමාර හිමියන් ගුණානන්ද විද්‍යාලය බිහිකලා. කුමාර හිමියන් ගෙන් පස්සේ මේ පන්සලේ අධිපතිකමට පත්වෙන්නේ මාදම්පිටියේ ජිනානන්ද හිමියන්. උන්වහන්සේ ධර්මශාලාව පුස්තකාලය ඇතුලූ ධාතු මන්දිරයක්ද ඉදිකරේව්වා. ඊට අමතරව කුමාර හිමියන්ගේ ශ‍්‍රී නාමය වෙනුවෙන් කුමාර විද්‍යාලයද ආරම්භකලා. මුන්වහන්සේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහනායක ධුරයට පත්වුණා. උන්වහන්සේ ගෙන් පස්සේ පින්වත්තේ ජිනරතන හිමියන් විහාරාධිපති ධුරයට පත්වුනත් එ් හිමියන්ගේ අකල් අපවත්විමත් එක්කම 1997දි මේ පිං බිම අමරපුර ශ‍්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක ධුරන්දර වස්කඩුව රාජගුරු ශ‍්‍රී සුභූති මහා විහාරය ඇතුලූ විහාර ගණයේ අධිපති ශාස්ත‍්‍රපති වස්කඩුවේ මහින්දවංශ නාහිමියන්ගේ භාරකාරත්වයට පත්වුනා. කඩාවැටි තිබුණ විහාර මන්දිරය හා රත්න චෛත්‍ය ප‍්‍රතිසංස්කරණය කර නව බුදු පිළිම වහන්සේලා තැම්පත් කිරිම හා තායිලන්ත රජ පවුලේ අනුග‍්‍රහයෙන් නව කොත් වහන්සේ නමක් පැළඳවිම ආදි තවත් විශාල සේවාවන් ගොඩාක් පන්සල වෙනුවෙන් සිදුකෙරුණා. බිඳ වැටි තිබුණ ජාත්‍යන්තර සබඳතා යළිත් ගොඩනැගුණා. තායිලන්ත රජතුමාගේ දියණියන් දෙදෙනෙකුද මේ විහාරස්ථානයට සැපත්වුනා.  1999 දි චූලාබෝන් කුමරියද 2013 දි මහාචකී‍්‍ර සිරින්තෝන් කුමරියද මේ පිං බිම වැඳපුදාගත්තා. එමෙන්ම හිටපු අගමැති තක්ෂින් ෂිනවත‍්‍රා මැතිතුමා මෙන්ම අගමැතිනි යින්ග්ලක් ෂිනවත‍්‍රා මැතිනියද මෙම විහාරස්ථානයට සැපත්වෙලා තියෙනවා. ලංකාවට පැමිණ වැඩභාරගන්නා සෑම තායි ජාතික තානාපතිවරයෙක්ම තමන්ගේ වැඩභාරගැනිමෙන් පසුව ප‍්‍රථමයෙන්ම මෙම විහාරස්ථානයට පැමිණ වැඳපුදාගැනිම චාරිත‍්‍රයක් බවට පත්වෙලා තියෙනවා. විටින් විට පැමිණි තායි රජ පවුලේ සාමාජිකයින් රෝපනය කල ශාකයන් විහාර භූමියේ අදටත් සුරැකිව තියෙනවා. 

 

අගසිපුජා පාඨය හා 1586 වර්ෂය සඳහන් ගල්භාජනයක් හමුවිමත් එක්ක මේ විහාරස්ථානයේ සියවස් තුනක් එහාට දිවයන ඓතිහාසික පසුබිමක් තිබෙන බව නම් කියන්න පුළුවනි. දිපදුත්තාරාමයේ අනෙක් කැපී පෙනෙන ගොඩ නැගිල්ල නම් 19 වන සියවසට අයත් බි‍්‍රතාන්‍ය වාස්තු විද්‍යාත්මක අංග ලක්ෂණ පෙන්වන පිළිමගෙයයි. දිගින් මිටර් 27 ක්ද පළලින් මිටර් 15 ක්ද වෙනවා. මේ පිළිමගේ දොරටුවට ඉහලින් වෛත්‍යයක් උස්කර බැඳ ඇති නිසා බෞද්ධ මුහුණුවරක් පෙන්නුම් කරනවා. බිම් සැකැස්මට අනුව නම් මේ පිළිම ගෙය කොටස් පහකින් සමන්විත වෙනවා. ඉදිරියෙන් ඇත්තේ ආරුක්කු තුනකින් යුක්තවු ප‍්‍රවිෂ්ඨ මණ්ඩපයයි. මේ ආරුක්කු අතරේ අඩක් මතුකරපු කුළුණ බැගින් වෙනවා. ඊට ඉහලින් වර්ණවත් විදුරු යෙදු වටකුරු කවුළු සහිත කුඩා ආරුක්කු 18 ක්ද වෙනවා.  

 

මෙහි ඇතුල් ගැබේ ඉදිරි කොටසේ ස්වර්ණ ආලේපිත තායි බුදු පිළිමයක් හා කිරිගරුඩෙන් කල කුඩා සැතපෙන පිළිමයක්ද වෙනවා. එ දෙපසින් දැවයෙන් කරපු සැරියුත් මුගලන් අගසව් දෙනමගේ කුඩා පිළිමවල් දෙකක්ද වෙනවා. මේ පිළිමවලට ඉහළින් දැවයෙන් කරන ලද විසිතුරු තොරණක් වෙනවා.  මේ තොරණේ පහළ කොටස නිමකර ඇත්තේ 1785 දි එය මැදිකර 1873 දි තවත් කොටසක් එකතුකර ඇත. මේ තොරණ මුදුනේ බි‍්‍රතාන්‍ය රාජ්‍ය ලාංඡනය දක්වලා තියෙනවා. එහි කිරීටයට යටින් ධාතු කරඬුවක් හා ධර්ම ග‍්‍රන්ථයක් කැටයම්කර තිබෙනවා. ලාංඡනය මැද  ඕවලයේ මේ පාඨය සධාතුක චෛත්‍යය සහ සධාතුක බුද්ධ ප‍්‍රතිමාව බුද්ධ වර්ෂ 2416 යන්න ලියවිලා තියෙනවා. මෙහි බිත්ති විසිවෙනි සියවසේ මුල් භාගයට අයත් ලක්ෂණ පෙන්නම් කරන බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා හා රහත් රූපවලිනුත් සිවිලිම නෙලූම්මල් රටාවලින්  හා මල්ලියකම් වලින් විසිතුරු කරලා අලංකාර කරලා තියෙනවා.


 

වෙනත් විහාරස්ථානයක දකින්න නොලැබෙන සුවිශේෂි අංගයක්ද මෙහි බලාගන්න පුළුවනි. ඇතුල් ගැබ ඉදිරි කොටසේ බිම 1937 හා 1938 වර්ෂ වල මියගිය දෙදෙනකු වෙනුවෙන් මෙය කැපකර ඇතිබව ඉංග‍්‍රීසි බසින් සඳහන් කර ඇති කිරිගරුඬ පුවරුවක් තිබෙනවා. එ් දිපදුත්තාරාමයේ භහාන්ඩාගාරිකවරයෙකුවු ඩි.ජේ.පෙරේරා මහතාගේ මිණිබිරිය හා ඇගේ දියණියවු මොනිකා හයසින්ත් බ්‍රෙන්ඩා හා මොනිකා ලක්ෂ්මි දෙදෙනාගේ නම් සඳහන් වෙන්නේ. මේක බෞද්ධ සිද්ධස්ථානයක විරල ලක්ෂණයක් වුවත් කතෝලික හා කි‍්‍රස්තියාණි දේවස්ථානවල සුලබව දකින්න ලැබෙනවා.

ඇතුල් ගැබේ පසුපස කොටසේ මිටර් 8 ක් පමණ දිගැති සැතෙපෙන පිළිමයක් හා එ් දෙපස විෂ්නු  හා සමන් දේව ප‍්‍රතිමා දෙකක්ද වෙනවා. බිත්ති අලංකාර කර ඇත්තේ සතරවරම් හා රහතන් වහන්සේලාගේ රුපවලිනුයි.  මේ ඇතුල්ගැබට ඇතුල්විමට දොරටු තුනක් වෙනවා. ඉන් එකක් ඉදිරිකොටසටද අනෙක් දෙක පසුපස කොටසටද විවර වෙනවා. මේ හැම දොරටුවකටම ඉහළින් විසිතුරු මකර තොරණ් දකින්න පුළුවන්. මැද දොරටුව දෙජස නාථ හා මෛත‍්‍රි බොධිසත්ව පිළිම දකින්න ලැබෙනවා. එ් දෙපස කඟවේන රූප දෙකක් ද අනෙක් දොරටුව දෙක දෙපසින්  දෙපයින් නැගිටගත් සිංහ රූප දෙකක්ද තිබෙනවා. මේ ක`ගවේනා හා සිංහයා බි‍්‍රතාන්‍ය රාජ්‍ය ලාංජනයේ සිටින සතුන් දෙදෙනා වෙනවා. මේ පැරණි ගොඩනැගිලි අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැඩ වාසය කල ආවස ගෙයද තිබෙනවා බලාගන්න පුළුවනි.  

මෑත ඉතිහාසයේ දි මේ දිපදුත්තාරාම සිද්ධස්ථානයෙන් ඉටුකල වැදගත් කාර්්‍යයක්වූයේ බෞද්ධ ජනතාවගේ හදවත් තුල සිටින බෞද්ධ පුනරුදය ඇතිකල වාදිසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සිහිකර පිළිරුවක් කොටහේන නගර මධ්‍යයේ ඉඳිකිරිමයි.  

ඉතිං කොටහේන පැත්තේ යන කොට අපේ බොෟද්ධ පුනරුදයේ වැදගත් කාර්්‍යභාරයන් සිදුකරපු මේ පිංබිම දැකබලාගෙන වැඳපුදා ගන්නත් අමතක කරන්න එපා. 

ඔන්න මේ ලිපියත් නිකං කියවලා යන්න හදනවා. ඔයාලා දන්න මම නොදන්න දෙයක් එහෙම ඇත්නම් අදහස් එහෙම දක්වලා කොමෙන්ටුවක් දාලා ගියෝත් තවත් කොළොම්පුරේ අතීත සවාරියක් එක්කගෙන යනවා.

මෙහි පලකරන ඡයාරූප සියල්ල අන්තර්ජාලයෙන් ලබාගත් ඡයාරූපයි.

Saturday, August 20, 2016

කලාවට කැපවු අප‍්‍රසිද්ධියේ සිටි ප‍්‍රසිද්ධ කලා කරුවා

කවුද මේ කලාවට කැපවු අප‍්‍රසිද්ධියේ සිටි ප‍්‍රසිද්ධ කලා කරුවා? මේ කලාකරුවා නම් අන්තිම අහිංසකයෙක්, අවිහිංසාවාදියෙක්, මස්මාළු නොකන නිර්මාංශිකයෙක්,මත්පැනින් තොර සත්‍යගරුක පුද්ගලයෙක්, තමන් බැසගත් තීරණය වෙනස් නොකරන අපූරු මිනිසෙක්. එ් විතරක් නෙමෙයි කලාවට කැපවු අවිවාහකයෙක්. ඉතිං කවුද මේ? අපිට කැලණි විහාරය කිව්වාම මතක්වෙන දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි අවුරුද්දේ වෙසක් පුන්පෝදා කැලණියට වැඩමකර මණිඅක්ඛිත නාරජුගේ මැණික් පුටුවේ හිද ධර්ම දේශානාවක් කිරිම. අනික තමයි විහාරයේ තියෙන ලොව පරසිද්ධ සිතුවම් ටික. සිංහල බෞද්ධයන්ගේ පූජණීය ශුද්ධ භූමියේ හෙළ මුර්ති හා චිත‍්‍ර කලාවන්ගේ කලාගාරයක්වගේ තියෙන කැළණි පන්සලේ චිත‍්‍ර හා මුර්ති ශිල්පියා කවුද? මේ ලෝප‍්‍රකට සිතුවම් වල නිර්මාණ ශිල්පියා ගැන තමයි අද අපේ කොළොම්පුරෙන් කතා කරන්න යන්නේ. 



කහවේ වලිමුනි සෝලියස් මෙන්ඩිස් නැත්නම් අපි කියන විදිහට සෝලියස් මැන්දිස් නම් අපේ චිත‍්‍රශිල්පියා හත්දෙනෙකුන්ගෙන් යුත් පවුලක දෙවෙනියා විදිහට 1897 ජුනි 17 දා මහවැව දි ආයුර්වේද වෛද්‍යවරයෙකුවු පියාට දාව උපන්නා.  කුඩා සන්දියේදි හොඩි පොත කියවන්නට මාදම්පේ කි‍්‍රස්තියානි මිෂනාරි පාසලට ඇතුලූවෙලා හත්වෙනි පන්තිය දක්වා එ් පාසලේ ඉගෙන ගත්තා. පසුව නාත්තන්ඩියේ විරහේන විද්‍යාරත්න පිරිවෙනේ සුගත තිස්ස මාහිමියන්ගෙන් පාලී හා සංස්කෘත භාෂාවන් ඉගෙනගන්නට වුනා. තාත්තාගේ සිහිනයක්වුනේ තමන්ගේ අඩිපාරේ අරන් ගිහිල්ලා ආයුර්වේද වෛද්‍යවරයෙක් බවට සෝලියස් ව පත්කරවන්නයි. එත් සෝලියස් ගේ හිත ඇදිලා ගියේ සෞන්දර්්‍යාත්මක පැත්තට තමයි. සෝලියස් මැන්දිස් තමන්ගේ ඥාතියෙක්වු සුප‍්‍රකට විහාර චිත‍්‍රශිල්පි මෙමෝනිස් සිල්වා ගුරුන්නාන්සේ වෙතට ගිහිල්ලා ඔහුගේ ගෝලයෙක් බවට පත්වුනා. සෝලියස් මැන්දිස් ශිල්පියාගේ තෙලිතුඩින් හැඩවුනු විහාරයන් ගනනාවක් තියෙනවා.මාවිල සුමනකුසුමාරාමය, ගිරිඋල්ල මැද්දේපොල රජමහා විහාරය, රණස්ගල්ල රජමහා විහාරය, පොළොන්නරුවේ ශී‍්‍ර ජයමහ විහාරය සහ මල්වානේ ලෙනගම්පොළ පුරාණ රජමහා විහාරය හබරාදුව පිටිදුව කැළණිගංගොඩ විහාරය එ් අතර වෙනවා. 



1930 දශකයේදි කැලණිරජමහා විහාරයේ පිළිසකර කිරිම ඇරඹෙනවා. මේ යුගයේදි යුරෝපයේ දේවස්ථානයන්හි සිතුවම් කලාව ඇසුරෙන් දීප්තිමත් වර්ණ යොදාගෙන තාත්වික සිතුවම් නිර්මාණය කිරිම ආභාසයට ගෙන තිබෙනවා. කැලණි පන්සලේ ප‍්‍රධාන දායිකාව වෙලා සිටිය හෙලේනා විජයවර්ධන මැතිනිය යුරෝපයේ ශෛලීය අනුගමනය නොකර පෙරදිග ශෛලියට අනුව සාම්ප‍්‍රදායික විදිහට අදින්න පුළුවන් චිත‍්‍ර ශිල්පියෙක් හොයන්නට වුනා. අති දක්ෂ තරුණ සිතුවම් නිර්මාණ කරුවෙකුවු සෝලියස් මැන්දිස් ගැන දැනගන්නා හෙලේනා විජයවර්ධන මැතිනිය කැලණි පන්සලේ සුවිශේෂි කාර්්‍යය ඔහුට පවරා දුන්නා. 

මේ සුවිශේෂි කාර්්‍යය ඉටුකරන්නට අවශ්‍ය නිර්මාණාත්මක අදහස්වලින් තම දැනුම වැඩිකරගන්නට සෝලියස් මහතා අජන්තා, එල්ලෝරා හා සාරනාත් වල තිබෙන චිත‍්‍ර අධ්‍යනය කරන්නට ඉන්දියාවට පිටත්වෙලා යනවා.  ඔහු ආයෙත් ලංකාවට එන්නේ තමන් අධ්‍යනය කරන්ට ගිය චිත‍්‍රවල සටහන් හෝ පිටපතක්වත් නැතිව. තමන්ගේම ශෛලියක් බිහිකරගැනිමට ඔහු කරන්නේ ඉන්දියාවේ බෞද්ධ සිතුවම්වල තිබෙන සියුම් ලක්ෂණ සහ අමුදව්‍ය හා අපේ රටේ හෙළ බිතුසිතුවම් හා සංස්කෟතිය එකතුකරවිමයි. 


කැලණි විහාරයේ සිතුවම් නිර්මාණය කරන්නට පටන් ගන්න කොට සෝලියස් මැන්දිස් ගේ වයස අවුරුදු 30 පසුකලා විතරය. ඔහු තමන්ගේ ජිවිත කාලයෙන් අවුරුදු 18 ක් පමණ අපමණ වෙහෙසක් දැරුවේ කැලණි පන්සලේ චිත‍්‍ර අවසන් කරන්නටයි. මේ ඔහුටම විශේෂිතවු ශෛලීයෙන් කරපු නිර්මාණ විචාරකයින්ගේ මතයවන්නේ පෙළොන්නරු යුගයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ නිර්මාණයවු විශිෂ්ඨතම කෘතින් බවයි. අනෙක් බොහෝ චිත‍්‍රශිල්පින්ගේ සිතුවම් බුද්ධාගමික හා සම්බුද්ධ චරිතය ඇතුලූ ජාතක කතා වලින් නිර්මාණ කල එවා වුවත් සෝලියස් මැන්දිස් මහතා ඊට වෙනස් නව මංපෙත් ඔස්සේ සිතුවම් ඇන්දා. මෙතෙක් පැවතගෙන ආ විහාරචිත‍්‍ර ක‍්‍රමයවු බිත්තිවල හරස් තීරුවල චිත‍්‍රාවලි ඇදිම වෙනස් කර සම්පුර්ණ බිත්තියක් මුළුමනින්ම රූපරාමුවක්  ලෙස ගෙන චිත‍්‍ර ඇදිම සිදුකලා. ජාතක කතා නිරූපනය නොව බෞද්ධ එතිහාසික කතා එහි ඇන්දා. දන්ත කුමරු හා හේමමාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ ලංකාවට රැුගෙනඑම, බුදුන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩමකරවිම, මාතලේ අළුවිහාරයේ බුද්ධඝෝෂ හිමියන් විසුද්ධි මග්ගය අත්පිටපත් කිරිම. ජයසිරිමහා බෝධින් වහන්සේ ලංකාවට වැඩවමකිරිම, සංඟරාජහිමියන්ට අක්තපත‍්‍ර බාරදිම, රහතන්වහන්සේ නමක් තෙල් කටාරමේ හිදවා  මැරිම ආදි එතිහාසික සිද්ධින් තොරාගත්තා. ඔහු එම අවස්ථා නිරුපණය කරන මිනිස් රූප ජිවමාන ප‍්‍රමාණයටම ඇදිම සිදුකළා. මේ සිතුවම් වල ද්විමාන ලක්ෂණ ඉවත දමා ති‍්‍රමාණ ලක්ෂණ වලට ඇදි ඉතාමත් සියුම් රේඛා සහ වේගවත් රේඛා මගින් ස්භාවිකත්වය ඉස්මතුකරලා තියෙනවා. මේ කලාකෘති අතර විවිධ මල්වර්ග, කුමර කුමරියන්,රජවරුන් ,භික්ෂුන් වහන්සේලා මෙන්ම ඔවුන් අඳින ලද ඇඳුම් වර්ග, ආභරණ ආදිය සියුම්ව මතුකර ඇති බව පෙනේනවා. 

 

මෙම සියලූම චිත‍්‍රවලට යොදාගත් වර්ණ සෝලියස් මෙන්ඩිස් විසින්ම අපේ රටේම ද්‍රව්‍ය උපයෝගි කරගෙන සදාගත්තා. මේවාට එළවළු, පැලෑටි, පත‍්‍ර, මකුලූ මැටි ආදිය සමගින් කල් පැවැත්ම සඳහා තවත් අමුද්‍රව්‍ය යොදාගත්තා. මේ වර්ණ දිප්තිමත් දිස්නයක් ගෙනෙන වර්ණ නොවන නිසා ඇසට පි‍්‍රය සෞම්‍ය බවක් ගෙනදෙනවා. කැලණි විහාරයේ සිතුවම් වලට අමතරව සොලියස් මැන්දිස් කලාකරුවා අතින්  ගෘහ නිර්මාණයද පිළිම ඇඹිමද සිදුවුනා. මේ අග‍්‍රගන්‍ය කලාකරුවා ඇදි සිතුවම් තිබෙන තවත් ස්ථානයක් ලෙසින් ගිරිඋල්ලේ මැද්දේපොල රජමහාවිහාරය හඳුන්වා දෙන්න පුළුවනි.


සොලියස් මැන්දිස් කලාකරුවා බොහෝ වෙහෙස වෙමින් අවුරුදු 18 ක් කැලණි විහාරයේ සිතුවම් නිමකලත් ඔහුගේ කාර්්‍යය අවසන් කරගන්නට නොහැකිවුවයි කියවෙනවා. කිසියම් හේතුවක් නිසා කැලණි නව වෙහෙරේ බුදු පිලිමයේ පසුබිම් චිත‍්‍ර ඇදිමට විදේශික චිත‍්‍ර ශිල්පියෙකුට පැවරුවා. ඉන් බොහෝ සිත් වේදනාවකට පත්වෙච්චි අපේ කලාකරුවා නිහඬව පලංචියෙන් බැස යන්නට ගියා. ඔහුට ඇතිවු සිත්වේදනාව නිසා යළි කිසි දිනෙක සිතුවම් ඇන්දේ නැහැයි කියවෙනවා. 


ඔහුගේ අවසන් කාලයේ තමන් සතු සියලූ වස්තුන් අසරණයන් සඳහා කැප කෙරේව්වා. තමන් පදිංචිව සිටි මාදම්පේ නිවස පිරිමි අනාථ ළමුන් සඳහා පරිත්‍යාග කළා. එ් නිවාසයේ නඩත්තුව වෙනුවෙන් තමන්ගේ අක්කර 85 ක පොල්වත්තද පවරාදුන්නා. මහවැව සිව්රාජ අනාථ නිවාසය තමයි ඔහු පරිත්‍යාග කරපු නිවස. අද මේ නිවස අඳ ගොළු බිහිරි ළමුන්ට රැකවරණය දෙන නිවාසයක්.

කිසිදු  ප‍්‍රසිද්ධියකට කැමති නැති මේ නිරහංකාර කලාකාමියා අවුරුදු 78 ක් ආයුවලදා 1975 සැප්තැම්බර්  01 වෙනිදා අප අතරින් වෙන්ව ගියා. 2016 සැප්තැම්බර් 01 වෙනිදාට ඔහු මිය ගිහින් අවුරුදු 41 වෙනවා.  ඉතිං අපිත් මේ සැප්තැම්බර් 1 යමු කැලණි විහාරයට ගිහිල්ලා වෙහෙර වැඳපුදාගෙන විහාරයේ සේලියස් මැන්දිස් කලාකරුවා ඇදි සිතුවම් ටිකත් නරඹමු. හැබැයි අමතක කරන්න එපා අවුරුදු 41ට කලින් වියෝවුනු අපේ නිරහංකාර අග‍්‍රගන්‍ය කලාකරුවාට පිංපෙත් පමුනවලා ඔහුට නිවනේ අමාඵල බලන්න ප‍්‍රර්ථනා කරන්න.  


Sunday, August 14, 2016

ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය.

නෙළුම්යාය බ්ලොග් සම්මාන උළේල 2016 - ඉතිහාසය තරග අංශයෙන් දෙවන ස්ථානය දිනු  ලිපිය

බුලර්ස් පාරේ කොහේද ළමා පිටියක්? කොළොම්පුරේ  ඕනෑ තරම් ළමා පිටි තිබුනත් බුලර්ස් පාරේ නම් ළමා පිටියක් පෙන්න තැනක නෑ. කොළඹ කැම්පස් එකේ නම් පිට්ටනියක් තිබුනත් එ්ක ළමා පිටියක් වෙන්න බෑනේ. එහෙනම් කොහේද මේ ළමා පිටිය තියෙන්නේ? එහෙනම් බුලර්ස් පාරේ ටිකක් ඇතුලට ඇවිද ගිහිල්ලා එ් කාලේ රේඩියෝ සිලොන් කියලා කිව්ව ගුවනින් විදුලි සංස්ථාව ඇතුලට පොඞ්ඩක් ගොඩවෙමු. එත් ඒක ඇතුලේ ළමා පිටියක් තියෙනවාද? ඔව් මේ පිටිය ඇහෙන් දකින්න නම් බෑ. කනින් අහන්න නම් පුළුවන්. මීට අවුරුදු ගනනාවකට කලින් එ් කාලේ ළමයින්ට මේ ළමා පිටියට ගොඩවෙන්න ලැබුනේ කනින් අහලා තමයි. ගුවන් විදුලියෙන් ඇරඹුනු ළමා වැඩසටහන් ගොන්නක් තිබුණා. අද කොළොම්පුරේන් කතාකරන්න යන්නේ ඒ ගැන. එහෙනම් යමුද මේ ඇහෙන් දකින්න බැරි කනින් අහන්න පුළුවන් ළමා පිටියේ තොරතුරු හොයා බලන්න.





අපේ ලංකාවේ ගුවන් විදුලිය පටන් අරගෙන අවුරුදු දහයකට පස්සේ ළමයින් වෙනුවෙන් ළමා වැඩසටහනක් කරන්න  ඕනේ කියලා හිතුනේ. "ආන්ටි කර්ක්" නමින් මේ පළමු ළමා රේඩියෝ වැඩසටහන 1935 මැයි 15 වෙනිදා සිට විකාශය කරන්න පටන් ගත්තේ. මේ වැඩසටහන මෙහෙව්වේ කර්ක් නැන්දා. හැම බදාදා දවසකම හවස 6.30 ඉදන් 7.30 දක්වා පැයක් ඉංග‍්‍රීසියෙන් මේක ප‍්‍රචාරයවුනා. මේ වැඩසටහනට ළමයින් එකතුකරගන්න රචනා තරගාවලියක් එහෙම පවත්වලා තරගෙන් ජයගන්න අයට ඉංග‍්‍රීසි ළමා පොත් තෑගි විදිහට දිලා තියෙනවා. "ආන්ටි කර්ක්" ගෙන් පස්සේ "ආන්ටි ජෙනිට" මේ වැඩසටහන මාරුවුනා. ආන්ටි ජෙනිට "අන්කල් පීටර්ද" එකතුවෙලා කරපු  මේ වැඩසටහන බදාදා දිනයෙන් බ‍්‍රහස්පතින්දා දවසට මාරුවෙලා ගියා. "ආන්ටි ජෝයි" එක්ක "අන්කල් නික්" ළමා පැයට එකතුවුනේ 1941 අවුරුද්දේදි. ඉතිං මේ ළමා පැය බ‍්‍රහස්පතින්දා හවස 6 ඉදන් 7 වෙනකම් ගුවන් ගතවෙලා තියෙනවා.

ඉංග‍්‍රීසියෙන් විතරක් ළමා වැඩසටහන් කරලා හරියන්නේ නෑනේ. සිංහල ළමා වැඩසටහන් අපේ රේඩියෝ එකට ආවේ 1936 අවුරුද්දේ. මේක කරගෙන ගියේ "සිරියලතා නැන්දා" නමින් කැතරින් හපුගල මහත්මියයි. සෑම සිකුරාදා දවසකම හවස 6 ඉදන් 6.25 වෙනකම් එ් කියන්නේ පැය කාලක් ප‍්‍රචාරයවුනා. 1939 නොවැම්බර් මාසේ වෙනකොට පි.ජි. ආරියරත්න මහතා "ආරියරත්න මාමා" නමින් ළමා වැඩසටහන කරගෙන ගියා. "දමයන්ති අක්කා" නමින් චන්ද්‍රා රන්හොටි මෙනවිය මේ වැඩසටහනට දායකත්වය දුන්නා. 1941 අවුරුද්දේ මේ ළමා වැඩසටහනේ විකාශ කාලය විනාඩි 40 දක්වා දීර්ඝ කරලා තියෙනවා.
 මුල්ම දෙමළ ළමා වැඩසටහන් ද 1936 අවුරුද්දේම පටන් අරන් සෙනසුරාදා දවස්වල හවස 6 ඉදන් 6.25 වෙනකම් පැය කාලක් විකාශයවුනා කියලයි සඳහන් වෙන්නේ. 



යු. එ්. එස්. පෙරේරා  "සිරි අයියා"

මුල් කාලේ විකාශය වෙච්චි එකාකාරි ළමා වැඩසටහන් වල ආකෘතිය වෙනස්කරන්නට ගුවන් විදුලි අධිකාරි විදිහට ආපු ෂර්ලි ද සිල්වා පියවර ගත්තා. මේ පරිවර්තනයේ ප‍්‍රධාන සාධකය වෙන්නේ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකුවු යු. එ්. එස්. පෙරේරා මහතායි. එයා "සිරි අයියා" නමින් ළමා පිටියේ ප‍්‍රසිද්ධවෙනවා. මේ සිරි අයියාව ළමා පිටියට එකතුකරන්නේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයා තමයි. දමයන්ති අක්කා කරගෙන ගිය වැඩසටහනට කවි විරිදු ගායනා කරන්න ආපු යු.එ්.එස්. පෙරේරාට දමයින්ති අක්කා එක්ක මේ වැඩසටහන කරගෙන යන්න කියල පස්සේ කාලෙක ඇරයුම්ක් ලැබෙනවා. එ් නිසා දමයන්ති අක්කා සහ සිරි අයියා නමින් ළමා තීරය ප‍්‍රචාරවෙන්න පටන්ගත්තා. පස්සේ කාලෙක දමයන්ති අක්කා කසාද බැඳලා ළමා පිටියෙන් පිටවෙලා ගිය හින්දා සිරි අයියාට මේ ළමා පිටිය බාරගන්න කියලා මලලසේකර මහත්තයා කියනවා. දමයන්ති අක්කා නැති නිසා "සොමි අක්කා" කියලා තවත් අයෙක් හඳුන්වලා දෙන්න කටයුතු කරනවා. මුල්ම සොමි අක්කා වුනේ ඊවා ජයසේකරයි. නන්දා කෙවිටියගල, සිරිමා ප‍්‍රනාන්දු, ධනවති මුණසිංහ සහ පස්සේ කාලෙක ප‍්‍රවිණ නිලියක්වු ටි‍්‍රලිෂියා අබේකෝන් (ගුණවර්ධන)  සොමි අක්කාගේ චරිතය බාරගත්තා. 
මේ ළමා වැඩසටහනට තේමා ගීතයක් විදිහට "මුනි නන්දන සිරිපාද වදිම්" ගීතයේ අනුවාදනය එහෙම එකතුකරලා නව මුහුණුවරක් දෙන්න සිරි අයියාට පුළුවන් වෙලා තියෙනවා. මේ ළමා තීරය අසන ළමයින් චන්ද්‍ර, සුර්ය, නන්ද, මෞර්ය නමින් නිවාස හතරකට බෙදා වැඩසටහනට දායක කරගත්තා. මේ ළමා තීරයට ලංකාවේ විවිධ පළාත් වලින් එකතුවු ළමයින් පස්සේ කාලෙක අපි කවුරුත් දන්නා නමගිය කලාකරුවන්වුනා. කරුණාරත්න අබේසේකර, රිජ්වේ තිලකරත්න, චිත‍්‍රානන්ද අබේසේකර, තලංගම පේ‍්‍රමදාස, වින්සන්ට් පන්ඩිත, ඩෝල්ටන් ද සිල්වා, රවින්ද්‍ර රූපසිංහ, පි.වි. නන්දසිරි, හෙන්රි ජයසේන, ටි‍්‍රලිෂියා අබේකෝන් (ගුණවර්ධන),දොස්තර උපුල් ජයවර්ධන, දොස්තර හඞ්සන් ද සිල්වා ආදින් ළමා තීරයෙන් රටම හඳුනාගත් පිරිසෙන් කිහිප දෙනෙක්.  1953 අවුරුද්දේ මේ ළමා තීරය නතර කරලා දැම්මා. 

සිරි අයියාගෙන් පස්සේ ළමා තීරය ආපහු ඇරඹුනේ කරුණාරත්න අබේසේකර මහතා ළමා හා කාන්තා වැඩසටහන් බාරගැනිමත් එක්කයි. මේ කරුණාරත්න අබේසේකර මහත්තයාගේ කාලේ තමයි ළමා පිටියේ ස්වර්ණමය කාලේ උදාවෙන්නේ. කරුණාරත්න අබේසේකර ප‍්‍රසිද්ධවුනේ "කරු අයියා" නමින්. කරු අයියා ළමා තීරය තුලින් ළමා ගීත රැසක් නිර්මාණය කරලා ඉදිරිපත් කළා. සෑම වැඩසටහනකදිම අළුත් ගීතයක් වැඩසටහන ආරම්භයේදිම ලියා තනු යොදා පුහුණු කරවා ඉදිරිපත් කරන්නට සමත්වුනා.         



කරුණාරත්න අබේසේකර    "කරු අයියා" 

අගහරුවාදා දවස්වල පැයභාගයක් වෙන්කර තිබුණේ  "ළමා රංග පීඨය" නම් වැඩසටහනේ ළමා නාට්‍ය සඳහායි මේ නාට්‍යවලට අවුරුදු 16 න් පහළ ළමයි යොදාගෙන චරිත නිරුපණය කෙරේව්වා. මේ ළමා රංගපීඨය එදා බොහෝ ජනප‍්‍රිය වැඩසටහනක් වුනා. "ටිකිරි සිනා රැලි" නම් වැඩසටහන මඩවල එස්. රත්නායක මහතා බදාදා දවස්වල ඉදිරිපත්කළා. මේ වැඩසටහන සාහිත්‍යට බර නව රචකයින් සඳහා වෙන්කරපු එකක්වුනා. මේ  මගින් ළමා ලිපි, රචනා,ගීත,කවි ආදි විචිත‍්‍රාංගයන් ඉදිරිපත් කෙරුවා.
වයස අවුරුදු 3 ත් 6ත් අතර ළමයින් ඉල්ක්ක කරගත් තවත් වැඩසටහනක්වු "මා වැනි බිලින්දා" වැඩසටහනයි ප‍්‍රචාරය වුනේ බ‍්‍රහස්පතින්දා දවස්වලයි. මෙය කරුණාරත්න අබේසේකර මහතා ඉදිරිපත් කෙරුවා. සෙනසුරාදා දිනවල "ශනිදා හමුව" ලෙසින් සුදර්මන් සිල්වා සම්පාදක ලෙසින් කටයුතු කෙරුව වැඩසටහනක්දවුනා.  

ඉරිදා දිනවල ප‍්‍රචාරය කෙරුනු "සරස්වතී මණ්ඩපය" ළමාතීරයේ ජනප‍්‍රියතම වැඩසටහන වුනා. මේකට විනාඩි 45 ක ගුවන් කාලයක් වෙන්කර තිබුණා. සම්පාදක විදිහට කරුණාරත්න අබේසේකර මහතාත් සංගීතය ඩි.ඩි.ඩැනි මහතාත් සැපයුවා. මෙහි බොහෝ ගීත කරුඅයියා විසින්ම රචනා කරපු ගීතවිමත් විශේෂයක් වෙනවා. ළමා ශිල්පියෙකුවු හේම ශ‍්‍රී අල්විස් ගීත ලිවීමට සරස්වතී මණ්ඩපයට එක්වුනු අයෙක් බව පැවසෙනවා. ශාන්ති දිසානායක, තිලකසිරි ප‍්‍රනාන්දු, එස්.ලියනගේ, නන්දා මාලනි, ඇන්ජලින් ද ලැනරෝල්, අමිතා වැදිසිංහ, මල්ලිකා කහවිට, බුද්ධදාස බෝධිනාගොඩ,  ලීලාරත්න කංකානම්ගේ, එමර්සන් හිප්පොල සරස්වතී මණ්ඩපයට එක්වුනු අය අතරේ හිටියා. මේ නම් අතර ඔයාලටත් හුරුපුරුදු නම් තියෙනවා නේද? ඒ කාලේ ළමා ශිල්පින් තමයි අද සුප‍්‍රකට ගායක ගායිකාවෝ, විද්වතුන් වෙලා තියෙන්නේ.  මේ ළමා මණ්ඩපයෙන් දොරට වැඩිය අද සුප‍්‍රකට ගායක ගායිකාවන් තමයි නන්දා මාලනි, සනත් නන්දසිරි, නලිණී රණසිංහ, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, නීලා වික‍්‍රමසිංහ, සුජාතා අත්තනායක, ශීලා පරණමානගේ, පුණ්‍යා කත‍්‍රීආරච්චි, දයා හේමන්තා අබේසේකර, චන්ද්‍රා කබ්රාල් හා රූපා ඉන්දුමති ආදි අයත් වෙනවා. 
මේ වැඩසටහන් වල විශේෂත්වුයේ ළමා වැඩසටහන් එසැණින් ඉදිරිපත් කිරිමයි. හොඳ ළමා ගීත පස්සේ තැටිවලට තැටිගත කරගත්තා.  මේ වැඩසටහන් වලට පිටපත් රචනයට තලංගම පේ‍්‍රමදාස, ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාර, විමල් දිසානායක, බුද්ධදාස බෝධිනාගොඩ ආදි අය සහභාගි කරවා ගත්තා.  
1965 අවුරුද්දේ ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වුනාට පස්සේ කරු අයියා ස්ථිර සේවයෙන් ඉවත්වෙනවා. වැඩසටහන් සම්පාදක තනතුර නිෂ්පාදක තනතුර විදිහට වෙනස්වුනා. කරු අයියාගෙන් පස්සේ මේ ළමා හා කාන්තා වැඩසටන්  භාරව කටයුතු කරන්නට වරින්වර නිෂ්පාදකයින් වෙනස්වුනා. ප‍්‍රභා රණතුංග, නන්දා ජයමාන්න, ඇග්නස් සිරිසේන, හඞ්සන් සමරසිංහ, පේ‍්‍රමකීර්ති ද අල්විස්, සුනන්දා ධර්මපාල, මහින්ද අල්ගම යන අය නිෂ්පාදකයන් වුනා.



පේ‍්‍රමකීර්ති ද අල්විස්
  
         
"මල් කියන්නේ කාට කාට - ළමයින්ටයි පාට පාට" යනුවෙන් ලියැවුනු තේමා ගිතය අහලා තියේනවාද? එ්ක තමයි "ළමා පිටියේ" තේමා ගිතය. ළමා රංග පීඨය, කනිටු සරසවිය, ළමා සංග‍්‍රහය වැනි විවිධ නම් වලින් මේ ළමා පිටිය සතිය පුරාවටම විවිධ වැඩසටහන් කළා.

1962 වෙළඳ සේවා අධ්‍යක්ෂකවරයා ලෙසින් ගුවන් විදුලියට පත්වෙලා ආපු පස්සේ කාලෙක ගුවන් විදුලියේ සභාපති ධුරය දැරු ලිව් ආර්. විජේමාන්න මහතා සිංහල වෙළඳ සේවය ඔස්සේ ළමා වැඩසටහනක් ඇරඹිමට අදහස් කළා. 1950 ඉදන් ගුවන් විදුලියේ ගද්‍ය ගායනා ඉදිරිපත් කරන සුමනා ජයතිලක මහත්මියට "හඳමාමා" ළමා වැඩසටහන ඉදිරිපත්කරන්නට පැවරුවා. හඳමාමා වැඩසටහනේ මුල්ම නිෂ්පාදක වුනේ පසුකාලෙක චිත‍්‍රපට අධක්ෂක කෙනෙක්වු කේ. එ්. ඩබ්ලිව්. පෙරේරා මහතායි. 1963 දෙසැම්බර් 14 වෙනිදා හඳ මාමා මුලින්ම ගුවනින් විකාශනය වුනා. එතැන් ඉදලා අද දක්වාම නොකඩවා ප‍්‍රචාරයවෙන එකම ළමා වැඩසටහන තමයි  "හඳ නැන්දා" ලෙසින් අදටත් සුමනා ජයතිලක මහත්මිය හඳමාමා ඉදිරිපත් කරනවා. සුමනා මහත්මියට ආරියරත්න මිල්ලවිතානාච්චි සහ ලැම්බට් පෙම්මාවඩු වැනි නිවේදකයින් සහායවෙලා තියෙනවා.


 සුමනා ජයතිලක   "හඳ නැන්දා" 


ලොව ගණඳුරු දුරුකරන්න
ගුණ නුවණට මඟ පෙනෙන්න
පුංචි අපට දැනුම දෙන්න
හඳ මාමාට සවන් දෙන්න

මේ තියෙන්නේ සුමනා ජයතිලක නැන්දා ලියුව මිල්ටන් පෙරේරා ගයනා කරපු හඳමාමා ළමා වැඩසටහනේ තේමා ගීතය තමයි. 

ළමා වැඩසටහන් ගුවන් විදුලියෙන් අහන්නට ළමයින්ගේ උනන්දුව අඩුවෙලා යන්නට එක හේතුවක්වුනේ රුපවාහිනී යන්තරේ ඇවිල්ලා කනට ඇහෙන්න විතරක් නෙමෙයි ඇහැට පෙනෙන්නත්  වැඩසටහන් විකාශය වෙන්න ගත්තුඑක. එදා එ් ළමා පිටියේ දඟකරපු ළමා ශිල්පින් අද වියපත්වෙලා ගිහිල්ලා. සිරි අයියලා, පේ‍්‍රමකිර්ති ද අල්විස්, කරු අයියලා මඩවල එස්, රත්නායකලා ලොවෙන් සමු අරන් ගිහිල්ලා. හැබැයි අදටත් අපිට ඇහෙන ළමා පිටියේ ළමා ගීත රාශියක් කලාකෙත රසකරවමින් අදටත් සුරැකිව තියෙනවා. 

Friday, August 12, 2016

කොළොම්පුරේ පත්තරේ බලමුකෝ විස්තරේ


කොළොම්පුරෙන් තමයි ලංකාවටම පත්තර අච්චුගහලා බෙදාහරින්නේ. දන්නවාද අපේ ලංකාවේ පත්තර කලාව පටන්ගත්ත හැටි? එහෙනම් පත්තරේ විස්තරේ දැනගන්න යමු මාත් එක්ක කොළොම්පුරේ සවාරියක්.


















සිතට පිරිය බස් ලියුමට පෑන අතට         ගත්තා
පවට හොබින දුසිරිත් දුර ලැම නිතර      යුත්තා
කවට කමත් ලැබුනොත් අතහරින එක  සත්තා
ලකට පහලවු මමවද කවටකති          මුත්තා

මේ තියෙන්නේ 1876 වර්ෂයේ පෙබරවාරි 01 වෙනි දින මුද්‍රණයෙන් පළවු "කවට කතිකයා " නම් වු පත්තරේ මුල් පිටුවේ තිබු කවි පදයකුයි. 

කොළොම්පුරේ පත්තර ගැන කතා කරනකොට ලන්දේසින් අමතක කරන්න බෑ.  ලන්දේසින් තමයි පළමුවෙන්ම මුද්‍රණ ශිල්පය ලංකාවට හඳුන්වලා දුන්නේ. ඔවුන් 1737 වර්ෂයේදි කි‍්‍රස්තියාණි යාඥා පොත සිංහලෙන් මුද්‍රණය කරලා දුන්නේ තමන්ගේ ආගම සිංහලයන් අතරේ ප‍්‍රචාරය කරවන්නයි. 1796 දි ලන්දේසින්ගෙන් අපේ රට අල්ලාගත් ඉංග‍්‍රීසින් ලන්දේසින්ට අයත්ව තිබු මුද්‍රණාලය ආණ්ඩුවේ මුද්‍රණාලය ලෙසින් ගොඩනැංවූවා. මේ මුද්‍රණාලයෙන් අපේ  මුල්ම නිල වාරිකයවු "ලංකාණ්ඩුවේ ගැසට් පත‍්‍රය" (Government Gazette) 1802 මාර්තු 15 පළකළා. මේ ගැසට් පත‍්‍රය බි‍්‍රතාන්‍ය මහලේකම්ගේ අධික්ෂණය යටතේ ආණ්ඩුවේ නිවේදන, ප‍්‍රසිද්ධ දැන්විම්, සමාජික හා පෞද්ගලික තොරතුරුද අඩංගුවූනා. පස්සේ කාලෙක මේ ගැසට් පත්තරේ සාහිත්‍ය ලිපි පවා පලවුන නිසා ඒක සමාන්‍ය පත්තරේක ස්වරුපයක් ගත්තා. සෑම සඳුදාවකම නිකුත්වු මේ පත්තරේ මිල රික්ස් ඩොලර් දෙකක්. පසු කාලෙක සෑම සෙනසුරාදා දිනයන්ට මුද්‍රණයෙන් නිකුත්කරන්නට කටයුතු සම්පාදනය කළා. 



ලංකාවේ පළමු නිදහස් පුවත්පත ලෙසින් අපට සලකන්නට හැකිවෙන්නේ ගැසට්පත‍්‍රය මුද්‍රණයෙන් වසර 30කට පසුව 1832 ජනවාරි 07 දින නිකුත්වු  "ද කලම්බු ජර්නල්"  (The Colombo Journal)  පුවත්පතයි. සාහිත්‍යට හා ලේඛන කලාවට ඇල්මක් දැක්වු විල්මට් හොර්ටන් ආණ්ඩුකාරවරයාගේ කාලයේ තමයි මේක බිහිවෙන්නේ. මේ පත්තරේ කර්තෘ ධුරය දැරුවේ එවකට හිටපු තැපැල්පති ජොර්ජ් ලී  (Goorge Lee) මහතායි. මුද්‍රණය බාරව කටයුතුකලේ රජයේ මුද්‍රණ අධිකාරි ජේ. වුට්ලර් මහතායි. රජයේ මුද්‍රණාලයෙන් පුවත්පත් පළ කිරිම මෙන්ම නිදහස් මතධාරි හා විවේචනාත්මක ලිපි පළකිරිම ගැන බි‍්‍රතාන්‍ය බලධාරින් අසතුටට පත්වුනා. ඒ නිසා මේ කලම්බු ජර්නල් පත්තරේ 1833 දෙසැම්බර් 31 දින පළකරපු කලාපයෙන් පසුව මුද්‍රණය නවතා දැම්මා.



 ලංකාවේ පළමු නිදහස් මතධාරි පුවත්පත ලෙසින් හඳුන්වන්නට පුළුවන්වෙන්නේ කොළඹ වෙළෙදුන් පිරිසක් ආරම්භ කරපු "ද ඔබ්සර්වර්  ඇන්ඞ් කොමර්ෂල් ඇඞ්වර්ටයිසර්" ( The Observer and Commercial Advertiser) පුවත්පතයි. මේක කොළඹ කුමාර වීදියේ තිබුණ ඔබ්සර්වර් මුද්‍රණාලයෙන්  1834 පෙබරවාරි 04 මුද්‍රණයෙන් නිකුත් කෙරුණා. පළමු කර්තෘ විදිහට කටයුතුකලේ ලංකාවට කොපි වගාව හඳුන්වලා දුන්නු  ජෝර්ජ් වින්ටර් මහතා තමයි. 1835 දි අයර්ලන්ත ජාතික දොස්තර කි‍්‍රස්ටෝපර් එලියට් මහතා එ් පත්තරේ කර්තෘධුරය භාරගැනිමත් එක්කම නමත් වෙනස් කළා. එ් 1835 ජුලි  24 දා සිට "ද කළම්බු ඔබ්සර්වර්" (The Colombo Observer)  නමින්.  මේ පත්තරේ අප රටේ වැවිලි කරුවන්ගේ සහ ඔවුන්ගේ ජන සමුහයේ විමුක්තිය පතා සටන් වදින පත්තරයක්වුනා. ඔහුගේ පස්සේ 1867 දි එ්. එච් ෆර්ගියුසන් මහතා කර්තෘ ධුරය බාරගත් විට පත්තරේ නම "ද සිලොන් ඔබ්සර්වර් " ( The Ceylon Observer) නමින් නම් කෙරුණා.  1873 වර්ෂයේ සිට මේ පුවත්පත දිනපතා පත්තරයත් ලෙසින් මුද්‍රණය වෙන්න පටන්ගත්තා. විටින් විට අයිතිකරුවන් මාරුවෙමින් ගිහිල්ලා 1923 දි සිලොන් ඔබ්සර්වර් පත්තරේ අයිතිය ඩි.ආර්.විජේවර්ධන මහතා මිළදි ගත්තා.  



කොළඹ කොටුවේ චැතම් වීදියේ පිහිටා තිබුණ සිලොන් ටයිම්ස් ආයතනයෙන් 1846 අගොස්තු 11 වෙනිදා "සිලොන් ටයිම්ස්" ( Ceylon Times)  පුවත්පත එළිදැක්වූවා. පළමු කතුවරයාවුනේ හියු ස්ටුවර්ට් මහතා හා ආරම්භක ප‍්‍රකාශකයාවුනේ කොරනේලිස් ඩයස් මහතා තමයි. 1864 - 1865 ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවේ මන්ත‍්‍රිධුරයක් දැරු ජෝන් කැපර් මහතා සිලොන් ටයිම්ස් පත්තරේ මිලටගැනිමත් එක්කම එ් පත්තරේ ස්වර්ණමය යුගය උදාවුනා. 1872 දෙසැම්බර් 16 වෙනිදා සිට මේ පත්තරේ දිනපතා පත්තරයක් ලෙසින් මුද්‍රණය වෙන්න පටන්ගත්තා. 1881 අගෝස්තු 1 වෙනිදා සිට මේ පත්තරේ "ටයිම්ස් ඔෆ් සිලොන්" නමින් නම් කෙරුවා. 
අපේ රටේ පළමු සිංහල සඟරාව වුනේ  1832 දි මුද්‍රණයෙන් නිකුත්වු "මාසික තෑග්ග" නම් සඟරාවයි. මේ සඟරාව කොට්ටේ දි මුද්‍රණයකර නිකුත් කෙරුනා. පිටු අටකින් යුක්තවූ මේ මාසික සඟරාවේ සම්පූර්නයෙන්ම අඩංගුවුනේ බයිබල් කතා හා කි‍්‍රස්තියානි යාඥාවන් තමයි. සිංහලයෙක් විසින් සකස් කරන ලද පළමු සඟරාව වෙන්නේ "ශාස්ත‍්‍ර නිධානය" නම් 1846 දි මුද්‍රණය කෙරුව සඟරාවයි.  

අපේ රටේ සිංහල පුවත්පත් කළඑළි බැස්සේ ඉංග‍්‍රිසි පත්තර මුද්‍රණය වෙලා අවුරුදු විසිගනනකට පස්සේ තමයි.  ප‍්‍රථම සිංහල පුවත් පත විදිහට සැලකෙන "ලංකා ලෝක" පත‍්‍රය මුද්‍රණය කෙරුනේ 1860 දි ගාල්ලේ තිබුණ මුද්‍රණාලයකින්. දෙවරක් පමණ මුද්‍රණයෙන් නිකුත් කෙරුණ මේ පත්තරේ මුල්ම කලාපය මේ වෙනතෙක් සොයාගන්නට හැකිවෙලා නෑ. 

ලංකාආණ්ඩුවේ ලියාපදිංචි පළමු හා පැරණිතම සිංහල පත්තරේ වෙන්නේ "ලක්මිණි පහණ" පුවත් පතයි. 1862 සැප්තැම්බර් 11 බ‍්‍රහස්පතින්දාවකයි ලක්මිණි පහණ පත්තරේ නිකුත් කෙරුනේ. සල්පිටි කොරලේ ප‍්‍රධාන මුදලිධූරය දැරු ගාල්ලේ බි.ජේ. එ්. ජි. ඩබ්ලිව් ගුණතිලක අතපත්තු මුදලිතුමා තමයි ප‍්‍රමුඛත්වය දැරුවේ. මේ පත්තරේ ආරම්භක කර්තෘ විදිහට වැඩකලේ කොග්ගල ධර්මරත්න පඬිතුමා තමයි. 



සත්හට මින් සුබ වැඩට    කැමැත්තෙමු
මුත්තට කාටත් බැඳෙන     සිතැත්තෙමු
අත්පිට නැණ දියුණුවෙහි    නියුත්තෙමු 
මෙත්කොට ලක්මිණි පහණ   පවත්තමු  

පුවත්පතේ පරමාර්ථ දක්වමින් පළකෙරුව කවියක් සිරස්තලයට යටින් ඉහලින් සටහන් කරලා තිබුනා.  මේ පුවත්පතේ කර්තෘ ධූරයට බටුවන්තුඩාවේ පඬිතුමාද, ඇම්. ධර්මරත්න පඬිතුමාද පසුව සිංහල භාෂා විශාරද මුනිදාස කුමාරතුංග මහතාද පත්වුනා.

1863 දි නිතිඥ එස්. රණසිංහ මහතාගේ කර්තෘකමින් "ලක් රිවිකිරණ " පුවත්පත ආරම්භකෙරුවා. කි‍්‍රස්තියාණි ආගමට නැඹුරුව අදහස් පළකෙරුව මේ පත්තරේ ආගමික වාද විවාද වලට අඩිතාලම දැම්මා. 

මුල්ම දිනපතා සිංහල පුවත්පත වන "දිනපතා ප‍්‍රවෘත්ති"  සි. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර කතුකමින් 1895 මාර්තු 07 වෙනිදා දොරට වැඩියා. ඉරිදා හැර අනෙක් සතියේ දවස්වල හවස්වරුවේ නිකුත් කෙරුවේ මේ පත්තරේ මිලවුනේ ශත පහක් පමණයි. පසු කාලෙක උදේ වරුවේ නිකුත් කෙරුණු මේ පත්තරේ 1907 ජුනි 07 අවසන් කලාපය නිකුත්වුනා.

හෙන්රි ස්ටිල්  ඕල්කට් තුමා ලංකායට පැමිණ පිහිටවු කොළඹ පරම විඥනාර්ථ සමාගම මගින් 1880 දි "සරසවි සඳරැස" පුවත්පත ආරම්භ කෙරුවා. සතියේ සෙනසුරාදා දිනවල පලවු මේ පත්තරේ ආරම්භක කතුවරයාවුයේ භාෂා ශාස්ත‍්‍ර පඬිවරයෙකුවු වේරගම පුංචි බණ්ඩාර ශූරින්ය. එතුමාගෙන් පසුව එච්. ඇස්. පෙරේරා, ඩබ්ලිව්. එ්. සමරසේකර , ඩි. ඩබ්ලිව්. වික‍්‍රමාරච්චි, ඩබ්ලිව්. එස්. ප‍්‍රනාන්දු යන මහත්වරුත් කතුපදවිය දැරුවා.
පළමු ඉරිදා සිංහල පුවත්පත විදිහට සැලකෙන්නේ 1924 ජුලි  13 වෙනිදා ප‍්‍රකාශයට පත්වුනු "ස්වදේශ මිත‍්‍රයා" පුවත්පතයි. විශාල පිටු අටකින් යුක්තවු මේ පත්තරේ කතුකම හා අයිතිය දැරුවේ ඩි. ඩබ්ලිව්. වික‍්‍රමාරච්චි මහත්තයායි. 

එදා සිට අද දක්වා නොකඩවා පලවන එකම පුවත්පත මොකක්ද කියලා දන්නවාද? ලංකාවේ පළමු ආගමික පුවත්පතවු "ඥානාර්ථ ප‍්‍රදිපය" පත්තරේ තමයි නොකඩවා පලවන එකම පුවත්පත. 1866 ජුනි 07 දින පළමු නිකුත් කිරිම කරපු මේ පුවත්පත අදටත් මුද්‍රණයෙන් නිකුත්කෙරෙනවා.  



කොටහේනේ දිපදුත්තාරාම විහාරස්ථානයේ සිට වාදිසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් "සත්‍ය මාර්ගය" නම් සතිපතා පුවත්පතක් ආරම්භකළා. දහනම වැනි සියවසේ මැද භාගයේ ඇතිවු බෞද්ධ පුනර්ජිවනයට හේතුවු ආගමික වාද විවාද වලට මේ පත්තරේ ගොඩාක් උදව්වවුනා. එකාලේ පැතුරුණු ක‍්‍රිස්තියාණි නිකායික පොත්පත් සඟරා සමග සටන් කිරිම එ් පත්තරේ අරමුණවුනේ. 

පුවත්පත් කලාව නවමගකට ගෙනයමින් 1871 දෙසැම්බර් 24 වෙනිදා ජි.ඩි. පෑලිස් අප්පුහාමි මහතාගේ කර්තෘත්වයෙන්  ලංකාවේ පළමු කවට පත්තරේ බිහිවුනා. "කවට කතිකයා" මේ පුවත්පතේ නමයි.ජනතාවගේ විනොදාස්වාදය සඳහාම  පත්තරයක් පළකිරිම අලූත් අත්දැකිමක්වුනා. මේ පත්තරෙන් උපහාසයට ලක්නොවෙච්චි එකදු ප‍්‍රභූ පුද්ගලයෙක්වත් හිටියේ නෑ. මේ පුවත්පත මාස 40 ක් නිකුත් කරන්නට හැකිවෙලා තියෙනවා. 

පොරණ අපි බුද්ධං
එවා දැන් විරුද්ධං
දැනට අපි සුද්ධං
මතකවත් නැත ස්වස්ති සිද්ධං  

මේ කවට කතිකයා පත්තරේ බුදුදහම අතහැර කිතුදහම වැළදගත් පවුලක් උපහාසයට ලක් කරමින් ලියා තිබු කවියකි.  

අධිරාජ්‍යවාදින්ට විරුද්ධව සිංහල ජාතිය හා බෞද්ධයින් නගා සිටුවන්නට පුවත්පත් සහ සඟරා බිහිවන්නට පටන්ගත්තා.  අනගාරික ධර්මපාල තුමා විසින් කතුකම් කරපු "සිංහල බෞද්ධයා" පුවත්පත මහාබෝධි සමාගමේ ප‍්‍රකාශණයක් ලෙසින් 1906 මැයි 07 වෙනිදා පළකෙරුණා.
"සිංහල ජාතිය" සඟරාව 1903 වසරේ දි පියදාස සිරිසේන ශුරින් විසින්ද පළකෙරුවා. 

ඔන්න ඉතිං කාන්තාවන්ටත් පත්තරයක්  ඕනේ කියලා හිතුනා. දැන්නම් එක එක නම් වලින් කාන්තා පත්තර තිබුනත් පලවෙනි සිංහල කාන්තා පත්තරේ මොකක්ද කියලා දන්නවාද?  එ්ක තමයි  හේමාවති විරසේකර මහත්මියගේ සංස්කරණයෙන් හැඩවුනු "සිංහල කුලඟන" පුවත්පත. මේ පත්තරේ 1916 දි මැයි 2 නිකුත් කෙරුනා. දැන් අපේ කාන්තා පුවත්පත් වලින් කෙරෙන්නේ කෑම හදන හැටියි ඇඳුම් මොස්තරයි පළකරන එක විතරයි. හැබැයි කොච්චර කාන්තා පත්තර බැලූවත් අපේ කාන්තාවන්ට නම් හරියට කෑමක්වත් එ් තියෙන මොස්තරේට ඇඳුමක්වත් මහගන්න බෑ.( බොරුද මම කියන්නේ? පිරිමි අය උත්තර දිපල්ලා.)


ඩි. ආර්.විජේවර්ධන මහතා ලේකහවුස් පත්තර කන්තෝරුව පටන්ගත්තා. එ්  ආයතනයෙන් මුල්ම "දිනමිණ"  පත්තරේ 1909 දෙසැම්බර් 17 වෙනිදා නිකුත් කෙරුවා. මේ පත්තරේ මිල වුනේ සත තුනක්. එච්. එස් .පෙරේරා මහතා තමයි කතුකම දැරුවේ. මේ පත්තරේට "දිනමිණ" නම තිබ්බේ විද්‍යාලංකාර මහපිරිවෙනේ අධිපති රත්මලානේ ධර්මාරාම හිමියන් තමයි. 1930 මාර්තු 30 වෙනිදා ලෙක්හවුස් නිවසින් පළමු "සිළුමිණ" පත්තරේ එළිදැක්වුනා.


සිංහල හා ඉංග‍්‍රිසි පත්තර ගැනත් කතා කලත් ඇයි ද්‍රවිඩ පත්තර ගැන කතා නොකරන්නේ? ද්‍රවිඩ පත්තරත් ඒ කාලේදිම මුද්‍රණය වෙලා තියෙනවා.  1841 දි "Idea Atari"   නම් ද්‍රවිඩ පුවත්පතක් නිකුත් කෙරුනා. 1865 වර්ෂයේදි   "palliyar Nesan"     හා 1868 වර්ෂයේද  "Illankai"  නම් ද්‍රවිඩ පුවත්පත් අපේ ද්‍රවිඩ ජනතාව වෙත මුද්‍රණයෙන් පිටවුණා.1932 මැයි 15 නිකුත් කරපු "තිනකරන්" හා  1930 අගෝස්තු 06 නිකුත් කරපු "විරකේසරි"  පත්තර දෙක අදටත් මුද්‍රණය කෙරෙනවා.

ඉතිං මේන්න මෙහෙම තමයි අපේ රටේ පත්තර අච්චු ගහන්න පටන් අරගෙන තිබුනේ. මේ අවුරුදු ගනනාව තුල ගොඩාක් පත්තර කන්තෝරු ආරම්භවෙලා වැහිලා ගිහිල්ලාත් තියෙනවා. ඒ පත්තර අතරේ තවමත් යෙහෙන් වැජබෙමින් ඉන්න පත්තර ටිකක් අපේ රටේ මිනිස්සුන්ගේ දැනුම පිපාසය සංසිදවමින් ඉන්නවා.

Wednesday, August 10, 2016

අපිව පාලනය කල බි‍්‍රතාන්‍යයෝ


                                       

                                          ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරු
                                                        යුධ ආණ්ඩුකාරවරු
                                            Military Governors (1795–1798)


පැට්රික් ඇලෙක්සන්ඩර්   Patrick Alexander Agnew (in Trincomalee)   August 1795 සිට 1 March 1796 දක්වා

මේජර් ජනරාල් ස්ටුවර්ට්   James Stuart                1 March 1796 සිට 1 January 1797 දක්වා

මේජර් ජනරාල් ඩොයිල්   Welbore Ellis Doyle    1 January 1797 සිට 1 January 1797 දක්වා

 පිටර් බොන්වොක්ස්    Peter Bonnevaux               2 July 1797 සිට 12 July 1797 දක්වා

බි‍්‍රගේඩියර් ජනරාල් ෆ්‍රෙඞ්රික්    Pierre Frédéric de Meuron     12 July 1797 සිට 12 October 1798 දක්වා

රෝබට් ඇන්ඩෘස්       Robert Andrews                  12 February 1796 සිට 12 October 1798 දක්වා

                                                
                                                         ආණ්ඩුකාරවරු

Governors (1798–1948)


ෆ්‍රෙඞ්රික් නොර්ත්                   Frederick North 12 October 178 සිට 19 July 1805 දක්වා 

    ෆ්‍රෙඞ්රික් නොර්ත්  


තෝමස් මෙට්ලන්ඞ්             Thomas Maitland  19 July 1805 සිට 19 March 1811 දක්වා

ජෝන් විල්සන්                    John Wilson           19 March 1811 සිට 11 March 1812 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

රොබට් බ‍්‍රවුන්රිග්                 Robert Brownrigg 11 March 1812 සිට 1 February 1820 දක්වා

එඞ්වඞ් බාන්ස්                      Edward Barnes      1 February 1820 සිට 2 February 1822 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor) 


     එඞ්වඞ් බාන්ස්    

එඞ්වඞ් පැජට්                           Edward Paget        2 February 1822 සිට 6 November 1822 දක්වා

ජේම්ස් කැම්බෙල්                    James Campbell    6 November 1822 සිට 18 January 1824 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

එඞ්වඞ් බාන්ස්                          Edward Barnes     18 January 1824 සිට 13 October 1831 දක්වා

ජෝන් විල්සන්                       John Wilson            13 October 1831 සිට 23 October 1831 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

විල්මට් හෝර්ටන්                     Robert Wilmot-Horton 23 October 1831 සිට 7 November 1837 දක්වා

ස්ටුවර්ට් මැකෙන්සි                  James Alexander Stewart-Mackenzie 7 November 1837 සිට 15 April 1841 දක්වා

කොලින් කැම්බෙල්                 Colin Campbell       15 April 1841 සිට 19 April 1847 දක්වා

ජේම්ස් ටෙනන්ට්                     James Emerson Tennent    19 April 1847 සිට 29 May 1847 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

ටොරිංටන් සාමි                        The Viscount Torrington 29 May 1847 සිට 18 October 1850 දක්වා

චාල්ස් මැකාර්ති                       Charles Justin MacCarthy  18 October 1850 සිට 27 November 1850 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor) 

ජෝර්ජ් ඇන්ඩර්සන්                    George William Anderson   27 November 1850 සිට 18 January 1855 දක්වා

චාල්ස් මැකාර්ති                      Charles Justin MacCarthy       18 January 1855 සිට 11 May 1855 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)  

හෙන්රි වෝඞ්                           Henry George Ward 11 May 1855 සිට 30 June 1860 දක්වා 


  හෙන්රි වෝඞ්  

හෙන්රි ෆ්‍රෙඩ්රික්                           Henry Frederick Lockyer   30 June 1860 සිට 30 July 1860 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

චාල්ස් විල්කිංසන්                    Charles Edmund Wilkinson     30 July 1860 සිට 22 October 1860 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

චාල්ස් මැකාර්ති                       Charles Justin MacCarthy  22 October 1860 සිට 1 December 1863 දක්වා

ටෙරන්ස් ඔබ‍්‍රයන්                      Terence O'Brien                1 December 1863 සිට 21 March 1865 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

හර්කියුලිස් රොබින්සන්             Hercules Robinson 21 March 1865 සිට 16 May 1865 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

හර්කියුලිස් රොබින්සන්              Hercules Robinson 16 May 1865 සිට 4 January 1872 දක්වා

හෙන්රි ටර්නර්                           Henry Turner Irving                4 January 1872 සිට 4 March 1872 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

විලියම් ග්‍රෙගරි                          William Henry Gregory 4 March 1872 සිට 4 September 1877 දක්වා

ජේම්ස් ලොන්ඩන්                     James Robert Longden 4 September 1877 සිට 10 July 1883 දක්වා

ජෝන් ඩග්ලස්                         John Douglas                 10 July 1883 සිට 3 December 1883 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

ආතර් ගෝර්ඩන්                        Arthur Hamilton-Gordon 3 December 1883 සිට 28 May 1890 දක්වා 


   ආතර් ගෝර්ඩන්      


ආතර් හැව්ලොක්                      Arthur Elibank Havelock 28 May 1890 සිට 24 October 1895 දක්වා 

              ආතර් හැව්ලොක්  


එඩ්වඩ් වොර්කර්                         Edward Noël Walker   24 October 1895 සිට 10 February 1896 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

ජෝසෆ් වෙස්ට් රිජ්වේ              Joseph West Ridgeway 10 February 1896 සිට19 November 1903 දක්වා

 සර් එඩ්වඩ්                               Sir Everard im Thurn   19 November 1903 සිට 3 December 1903 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

හෙන්රි බ්ලේක්                         Henry Arthur Blake 3 December 1903 සිට 11 July 1907 දක්වා

හියු ක්ලිෆර්ඞ්                            Hugh Clifford 11 July 1907 සිට 24 August 1907 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

හෙන්රි මැකලම්                        Henry Edward McCallum 24 August 1907 සිට 24 January 1913 දක්වා

එඞ්වඞ් ස්ටබ්ස්                            Reginald Edward Stubbs 24 January 1913 සිට 18 October 1913 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

රොබට් චාමර්ස්                          Robert Chalmers 18 October 1913 සිට 4 December 1915 දක්වා 


    රොබට් චාමර්ස්  

එඞ්වඞ් ස්ටබ්ස්                           Reginald Edward Stubbs 4 December 1915 සිට 15 April 1916 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

ජෝන් ඇන්ඩර්සන්                      John Anderson 15 April 1916 සිට 24 March 1918 දක්වා

එඞ්වඞ් ස්ටබ්ස්                           Reginald Edward Stubbs 24 March 1918 සිට 10 September 1918 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

විලියම් මැනිං                               William Henry Manning 10 September 1918 සිට 1 April 1925 දක්වා

සිසිල් ක්ලෙමෙන්ටි                      Cecil Clementi          1 April 1925 සිට 18 October 1925 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

එඩ්වඩ් ඇලෙක්සැන්ඩර්           Edward Bruce Alexander  18 October 1925 සිට 30 November 1925 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

හියු ක්ලිෆර්ඞ්                                  Hugh Clifford 30 November 1925 සිට June 1927 දක්වා

ආතර් ජෝර්ජ්                      Arthur George Murchison Fletcher      June 1927 සිට 20 August 1928 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

හර්බට් ස්ටැන්ලි                                 Herbert Stanley  20 August 1928 සිට 11 February 1931 දක්වා

බර්නාඩ් හෙන්රි                          Bernard Henry Bourdillon    11 February 1931 සිට 11 April 1931 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

ග‍්‍රීම් තොම්සන්                                  Graeme Thomson   11 April 1931 සිට 20 September 1933 දක්වා

ග‍්‍රැහැම් ටෲරේල්                         Graeme Tyrrell        20 September 1933 සිට 23 December 1933 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

එඞ්වඞ් ස්ටබ්ස්                    Reginald Edward Stubbs  23 December 1933 සිට 30 June 1937  දක්වා 
    එඞ්වඞ් ස්ටබ්ස්     

මැක්ස්වෙල් වෙබ්බර්න්       Maxwell MacLagan Wedderburn   30 June 1937 සිට 16 October 1937 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)

ඇන්ඩෲ කොල්ඩිකොට්                 Andrew Caldecott     16 October 1937 සිට 19 September 1944 දක්වා 


    ඇන්ඩෲ කොල්ඩිකොට්    


හෙන්රි මන්ක් මේසන් මුවර්        Henry Monck-Mason Moore   19 September 1944 සිට 4 February 1948 දක්වා

Monday, August 8, 2016

අපිව පාලනය කල ඕලන්දියෝ





ලංකාවේ  ඕලන්ද ආණ්ඩුකාරවරු

ගාල්ල

විලියම් කොස්ටර් Willem Jacobszoon Coster 1640

ජෑන් Jan Thyszoon Payart 1640

ජේකෝබ් වෑන් Jacob van Kittensteyn 1650

අද්‍රියන් වෑන් Adriaan van der Meyden 1653


කොළඔ

අද්‍රියන් වෑන් Adriaan van der Meyden 1656

රයික්ලොෆ් වෑන් Rijckloff van Goens 1660

ජේකොබ් හුස්ටාට් Jacob Hustaert 1663

අන්ද්‍රියන් රූක්ස් Adriaen Roothaes (acting) 1664

රයික්ලොෆ් වෑන් ( දෙවන වාරය) Rijckloff van Goens (2nd time) 1664


ලෝරන්ස් පයිල් Laurens van Pyl 1680

තෝමස් වෑන් Thomas van Rhee 1693

පවුලස් රූ Paulus van Rhoo 1695

ගෙරිට් හීරේ Gerrit de Heere 1697

ජොහැන්නස් සිමොන්ස් Cornelis Joan Simons 1703

හොන්ද්‍රික් බෙකර් Cornelis Joan Simons 1707

අයිසැක් ඔගස්ටින් Isaak Augustijn Rumpf 1716

ආනෝල්ඞ් මොල් Arnold Moll (acting) 1723

ජොහැන්නස් හර්ටන්බර්ග් Johannes Hertenberg 1724

ජෑන් පවුලස් Joan Paul Schaghen (acting) 1725
 

පීටර්ස් වුයිස්ට් Petrus Vuyst 1726

ස්ටොනුස් Stephanus Versluys 1729

වුටර්ස් Gualterus Woutersz (acting) 1732

ජේකොබ් පිලාත් Jacob Christiaan Pielat 1732

ඩයිඩරික් වොන් ඩොම්බර්ග් Diederik van Domburg 1734

ජෑන් මැකරා Jan Macaré (acting) 1736

විලියම් වොන් ඉම්හොෆ් Gustaaf Willem baron van Imhoff 1736

විලියම් මවුරිටස් Willem Maurits Bruyninck 1740

ඩැනියෙල් ඔවර්බීක් Daniel Overbeek 1742

ජූලියස් වෑන් Julius Valentyn Stein van Gollenesse 1743

ජෙරාර්ඞ් ජොන් වීලන්ඞ් Gerard Joan Vreeland 1751

ජේකොබ් ඩි ජොන්ග් Jacob de Jong (acting) 1751

අයිවන් ලූටන් Joan Gideon Loten 1752

ජෑන් ස්කෲඩර් Jan Schreuder 1757

ජෑන් බැරෝන් වෑන් එක් Lubbert Jan baron van Eck 1762

ඇන්තෝනි මුරාර්ට් Anthony Mooyart (acting) 1765

විලියම් ෆැල්ක් Iman Willem Falck 1765

විලියම් ජාකෝබ් වෑන්ද ග‍්‍රාෆ් Willem Jacob van de Graaf 1785

වෑන් ඇන්ගල්බීක් Johan van Angelbeek 1796





Wednesday, August 3, 2016

සක්වල සවාරියක් යන්න නියම තැන

ඈතට පිපුන මලක් හැඩයක් ගත්තත් මට නම් මේක පෙනුනේ රතු ඉන්දියානුවන්ගේ කුඩාරමක් වගේ. හැබැයි මේ සුවිශාල කුඩාරම ඇතුලට ගියොත් මුළු සක්වලම නැත්නම් විශ්වයේ සැරිසරලා එන්න පුළුවන්. ඉර හඳ තාරකා, ග‍්‍රහලෝක ඇස් අද්දරට ගෙනවිත් පෙන්වන මොකක්ද මේ රතු ඉන්දියානු කුඩාරම. ඔන්න එහෙනම් අහගන්න එක තමයි කොළොම්පුරේ ග‍්‍රහලෝකාගාරය.



1965 අවුරුද්දේ ලංකා කාර්මික ප‍්‍රදර්ශණයක් කොළඹ දි පවත්වන්න තීරණය වුනා. මේ ප‍්‍රදර්ශනයේ තරගයකට නැගෙනහිර ජර්මනිය ඉදිරපත් කරපු ප‍්‍රදර්ශන භාන්ඩය තමයි මේ ග‍්‍රහලෝකාගාරය. හැබැයි ජර්මානුවන්ගේ ප‍්‍රදර්ශන භාන්ඩය වුනාට මේක හැදුවේ සැලසුම්කලේ අපේ රටේ කොන්කී‍්‍රට් වලින් වැඩ දාපු සුප‍්‍රකට කිර්තිමත් ඉංජිනේරුවෙක්වු ආචාර්ය එ්.එන්. එස්. කුලසිංහ මහත්තයා තමයි.


ආචාර්ය එ්.එන්. එස්. කුලසිංහ

 ඔය පිලී පිලී වගේ තියෙන V හැඩයේකෑලි ඔක්කෝම හැදුවේ බිම. එකෙන් එක උඩට උස්සලා පුරුද්දලා සවිකරපු මේ ඉන්ජිනේරු විස්වකර්ම වැඬේ කියන්නේ මේ ගොඩනැගිල්ලේ රාමුවක් නැත්නම් සැකිල්ලක් නෑ. සමහර අති පන්ඩිතයෝ මේ වැඬේ කරන්න බෑ කියලා කුලසිංහ මහත්තයාට දොස් කියලා එයාට වරදිනතුරු බලන් ඉදලා තිබුණා. දන්නවානේ කුලසිංහ මහත්තයා කියන්නේ විස්මකර්ම වැඩවලට දස්සයා කියලා. අපේ රටේ තිබුන සීමිත සම්පත් වලින් උපරිම ප‍්‍රයෝජන අරගෙන වැඬේ කෙරුවා. එ් දවස්වල මේ වැඬේ කරන හැටි පොටෝ ටිකක් ආචාර්ය කුලසිංහ මහත්තයා ගැන කෙරුනු රූපවාහිනි වාර්තා වැඩසටහනක දකින්න මට අවස්ථාවක් ලැබුණා. මේ පින්තුර ටික ඔයාලට පෙන්වන්න අන්තර්ජාලය පුරා කරක් ගැහුවත් වැඩක්වුනේ නෑ.



මේ අපුරු නිර්මාණය 1965 පෙබරවාරි 01 වෙනිදා විවෘත කෙරුණා. කාර්මික ප‍්‍රදර්ශණය ඉවරවුනාට පස්සේ මේ ගොඩනැගිල්ලත් අනෙකුත් බඩුභාන්ඩත් ලංකා රජය මිලඳි ගත්තා. එදා ඉදන් මේ ග‍්‍රහලෝකාගාරය අපේ රටේ ලක්ෂ සංඛයාත පිරිසකට  විශ්වය ගැන දැනුම බෙදලා දිලා තියෙනවා. අවුරුදු ගනනාවක් මේ ග‍්‍රහලෝකාගාරය අයිතිව තිබුනේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ. 1994 දි ග‍්‍රහලෝකාගාරය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතට පැවරුනා.



මේ ග‍්‍රහලෝකාගාරයේ තියෙන සුවිශේෂි අපුරු උපකරණය තමයි විශ්ව ප‍්‍රක්ෂේපන යන්තරේ (carl zeiss universal projector). මේක අපි නැගෙනහිර ජර්මනියෙන් තමයි මිලදී ගත්තේ. ග‍්‍රහලෝකාගාරය ඇතුලේ ස්භාවික අයුරින් කෘතිම අහසක් මවා පෙන්වන්න මේ යන්තරේට පුළුවනි. වොට් 1500 ක බලයකින් යුක්ත විදුලි බුබුලක්  හා කාච පද්ධතියක් මේ යන්තරේට තියෙනවා. යන්තරේ ෂඩාස‍්‍රාකාර කොටසේ තරු සිතියම සටහන්ව තියෙනවා. මේ ප‍්‍රජෙක්ටරයේ විශේෂත්ව වෙන්නේ දිශාවන් තුනකට භ‍්‍රමණය කරවන්න පුළුවන් විමයි.පොළමේ අක්ෂයට සමාන්තරව භ‍්‍රමණය කළාම ආකාශ වස්තුන් දෛනිකව දිස්වෙන අයුරු බලා ගන්න පුළුවනි. යන්තරේ නැගෙනහිර, බටහිර දිශාවන්ට භ‍්‍රමණ කළාම ලෝකයේ  ඕනේම තැන ඉදන් අහස එහෙම නැත්නම් විශ්වය පෙනෙන හැටි බලාගන්න පුළුවනි.  කොළඹ දි අපි දකින රාත‍්‍රි අහසත්ඇමරිකාවේ නිව්යොර්ක් නගරයේ හිටියා නම් බලාගන්න පුළුවන් අහසත් එකම මොහොතකදි පෙන්නවා. මේ යන්තරේට අමතරව ජපන් ආධාර යටතේ ලැබුනු කොටි තුනක් විතර වටිනා උපකරණ වලිනුත් අහසේ අපුරු දර්ශණ රාසියක් දැක බලා ගන්න පුළුවනි. 



ග‍්‍රහලෝකාගාරය ගැන විස්තර කිව්වාට තියෙන තැන කිව්වේ නෑ නේද? මේක තියෙන්නේ කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ. කොළොම්පුරේ විස්ස විද්‍යාලේ ගාව කිව්වොත් හරි. ග‍්‍රහලෝකාගාරය තුල ආසන 570 ක් තියෙනවා. එ් විතරක් නෙමෙයි ග‍්‍රහලෝකාගාරය ආශි‍්‍රතව තාරකා විද්‍යා සංගම් කිහිපයක් කි‍්‍රයාත්මක වෙනවා. ජපානයෙන් ලැබුණ අධාර යටතේ ජංගම ග‍්‍රහලෝකාගාරයක් ද අපිට තියෙනවා. එකට හුළං පුරවලා ගත්තාම පංති කාමරයක් තරමට විශාලයි. එ් නිසා  ඕනෑ දුර බැහැර ප‍්‍රදේශයකට ජංගම ග‍්‍රහලෝකාගාරය අරගෙන යන්න පුළුවනි. 

මතක තියාගන්න ග‍්‍රහලෝකාගාරයේ දර්ශන පෙන්වන්නේ දවසකට දෙවරක් පමණයි. ආසන 570 ක් තිබුනත් ගොඩාක් පාසල් වලින් සක්වලේ සවාරියක් යන්න එන නිසා තරමක තදබදයක්ද පවතිනවා. ඉරිදා සදුඳා හා රජයේ නිවාඩු දවස් හැරෙන්නට අනෙක්  ඕනේම දවසක උදේ 10 ටයි හවස 2 ටයි දර්ශන පෙන්වනවා. 
ලෝකයේ අනෙකුත් ග‍්‍රහලෝකාගාරයන් එක්ක බැලූවොත් අපේ ග‍්‍රහලෝකාගාරයට තාක්ෂණය එකතුවෙන්නේ අඩුවෙන් තමයි. අළුත් උපකරණ ආදියෙන් පරිපුර්ණවුනොත් අපිට තව තවත් විශ්වය ගැන දැනුමෙන් සන්නද්ධ වෙන්න පුළුවනි. 2586499 දුරකථන අංකයෙන් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. 

ඔන්න එහෙනම් පොළවේ ඉදන් සක්වල සවාරියක් එහෙම ගහලා එන්න පුළුවන් තැන මම කිව්වා. යන්න ගිහිල්ලා මම මේ කිව්ව තොරතුරුත් මතක් කරගෙන විශ්ව ප‍්‍රක්ශේපන යන්තරේන් පෙන්වන රෑ අහස එතැන නිදා ගන්නේ නැතිව බලලා එන්න.