Sunday, September 25, 2016

කනට ඇසෙන ලංකාවේ නැති ගමක් - මුවන්පැලැස්ස

මේ කියන නම තියෙන ගමක් ලංකාවේ තියා ලොකේවත් නෑ. හැබැයි කාගෙන් ඇහුවත් මේ ගමේ නම නොදන්න කෙනෙකුත් නෑ. එ් විතරක් නෙවෙයි කවුරුත් මේ ගමේ නම කිව්ව සැනින් එ් ගමේ ඉන්න හැමෝමත් අඳුනනවා. එ් ගමේ නම තමයි මුවන්පැලැස්ස. මිට දශක කිහිපයකට පෙර රූපවාහිනි යන්තර ගෙවල් ආක‍්‍රමණය කරන්න කලියෙන් අපේ උදවියට තිබුන එකම විනෝදාස්වාදක යන්තරේවුනේ රේඩියෝ එක තමයි. ඉතිං ඒ කාලේ ගුවන් විදුලියේ ගිය මෙගා නාට්‍යක්වු මුවන්පැලැස්ස ලංකාවේ හතරදිග්බාගයේ කවුරුත් අහන්නටවුනා. මුවන්පැලැස්ස  කොච්චර ජනප‍්‍රියද කියන්න අනූව දශකයට කලියෙන් ඉපදුන  ඕනේම කෙනෙකුගෙන් ඇහුවෙත් මේ නාට්‍ය ගැන දන්නවා. දන්නවාද මේක තමයි ආසියාවේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍ය කියලා.  

 


හෙළයේ ගැමිහඬ භාෂාව ගුවන් විදුලිය ඔස්සේ මුලූ රටටම හඳුන්වලා දුන්න මේ මුවන්පැලැස්ස නාට්‍ය රචනා කලේ  හොමියෝපති වෛද්‍යවරයෙකුවු මුදලිනායක සෝමරත්න මහතායි. ගුවන් විදුලි අධ්‍යෂකවරයාවු එස්.බි. සේනානායක මහතා මුදලිනායක සෝමරත්න මහතාට ගැමිසුවඳ වෑහෙන ලස්සන නාට්‍යයක් ලියන්නැයි ආරාධනා කෙරුවා. එතුමාගේ උපදෙස් අනුව ඔහු මිණිපේ, මහියංගණය, ලග්ගල, මීමුරේ, කයිකාවල, දියනිල්ල ආදි හද්දා පිටසිර පලාත්වලට ගියා. එ් වනගත ගැමි ගම්මානවල මිනිස්සු ජිවත්වෙන්නේ කොහෝමද ඔවුන්ව සුරාකන අය කවුරුදු කියලා මුදලිනායක සෝමරත්න මහතා අධ්‍යනයක යෙදෙන්නටවුනා.  

 

මුදලිනායක සෝමරත්න මහතා

මේ නාට්‍යට මුවන්පැලැස්ස කියන නම යෙදුනෙත් අපුරු ආකාරයකටයි. මුදලිනායක සෝමරත්න මහතාට එක් හැන්දෑවක එක්තරා ගමක ගැමියෙකු හමුවි ඔහු සමගින් කතාබහක යෙදි සිටිනකොට ඔහුගේ ගමට කියන නම පලැස්ස යැයි කිව්වා. එ් අවස්ථාවේදි මුවන් රංචුවක් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් ගමන්කල නිසා එ් මුවන් දෙස බලාසිටි මුදලිනායක සෝමරත්න මහතාට මුවන්පැලැස්ස නම මනසේ මැවුනා. එ් අනුව තමයි මුවන් පැලැස්ස නම ගුවන්විදුලිනාට්‍යට යෙදුවේ.  1963 අවුරුද්දේ තමයි මේ ගුවන්විදුලි නාට්‍ය මුලින්ම ප‍්‍රචාරයවුනේ. 

මේ ගුවන් විදුලි කථාව පටන්ගන්නේ සුදු ජාතික දිසාපතිවරයෙක් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය සමයේ ලංකාවේ  ආදිවාසින් ගැන තමන්ගේ පොතකට කරුණු හොයන්න ලංකාවට එනවා. ඔහු තවත් සගයන් කිහිප දෙනෙක් එක්ක ආදිවාසින් හොයාගෙන ඈත වනාන්තරයට පිටත්ව යනවා. මේ ගමනේදි දිසාපතිවරයාට මුවන්පැලැස්ස නම් ගම්මානයක් හමුවෙනවා. මේ ගමේ ඉන්නා අපුරු චරිත කිහිපයක් ඔහුට මුණගැහෙනවා. එ් තමයි වෙද මාමා, වෙඩික්කාරයා, බිනරමලී, ආරච්චිල හා ඔහුගේ බිරිඳ එතනහාමි, මැණිකේ, පිනා. පසුකාලෙක වෙඩික්කාරයා කදිරා ලෙසින් ද ආරච්චිල කෝරලේ මහත්තයා ලෙසින්ද වෙනස්වෙනවා. එ් එක්කම වාගේ සුදු ජාතික දිසාපතිගේ චරිතයද මේ නාට්‍යයෙන් ඉවත්වෙලා යනවා.  මේ චරිත සියල්ලක්ම මුදලිනායක සෝමරත්න මහතා ගොඩනගලා තියෙන්නේ ඔහුට ගම්මානවලදි හමුවු ගැමියන් ආශ‍්‍රය කිරිමෙනුයි. 

කෝරලේ මහත්තයා සහ මැණිකේ.
විජේරත්න වරකාගොඩ සහ රත්නාවලි කැකුණවෙල 


මුවන්පැලැස්ස ගමේ කතාවක් ලෙසින් ගුවන්විදුලියේ මුල් බැසගත්තා. එත් 1971 අවුරුද්දේ අපේ‍්‍රල් 08 වෙනිදා මුදලිනායක සෝමරත්නයින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ස්ථිර පදිංචියට යනවා. මේ නිසා මුවන්පැලැස්ස විකාශනය කිරිම නතරවෙනවා. ගුවන්විදුලියට ලංකාවේ හතරදිගින් ලියුම් ගලාගෙන  එන්නට පටන්ගත්තා.  එවකට ගුවන් විදුලියේ සභාපති හා අධ්‍යක්ෂක ජෙනරාල් තේවිස් ගුරුගේ මහතා වහාම මුවන්පැලැස්සේ ශිල්පින් ගෙන්වලා මේක නතර කරන්නට පුළුවන් නාට්‍යන් නොවන බැවින් ඉදිරි කොටස් කිහිපයක් රචනා කරලා පෙන්වන ලෙසට ඉල්ලා සිටිනවා. ධර්ම ශ‍්‍රී මුණසිංහ, පි. වැලිකල, වික්ටර් මිගෙල්, ගැමුණු විජේසුරිය,  යන ශිල්පින් පිටපත්  ලියා තේවිසුගුරුගේට ඉදිරිපත් කළා. එ්වායින් ඔහු තෝරාගත්තේ වික්ටර් මිගෙල් රචනා කල පිටපතයි. ඊට දෙමසකට පසුව යළිත් මුවන්පැලැස්ස විකාශනය කිරිම ආරම්භ කළා. 1971 ජුනි 25 වෙනිදා සිට මුවන්පැලැස්සේ කදිරාගේ චරිතයද රඟපාමින් අවුරුදු විසිපහක් මුවන්පැලැස්ස රචනා කලේ වික්ටර් මිගෙල් මහතායි.

 
                           වික්ටර් මිගෙල් මහතා


1995 දි වික්ටර් මිගෙල් මහතා හෘදයාබාදයකින් අභාවප‍්‍රාප්ත වෙනවා. ඉන්පසුව ශ‍්‍රී නිමල් පද්මකුමාර මහතා  මුවන්පැලැස්ස නාට්‍ය අවුරුදු 15 ක් පමණ රචනා කෙරුවා.  

   ශ‍්‍රී නිමල් පද්මකුමාර මහතා

යළිත් වතාවක් මුවන්පැලැස්ස රචනා කරන්නයි එහි ආරම්භක රචකයාවු මුදලිනායක සෝමරත්ත මහතාට ගුවන් විදුලියේ සභාපතිවරයා ඉල්ලා සිටියා. ඉන් අනතුරුව ඔහු ඇමෙරිකාවේ සිට මුවන්පැලැස්ස රචනා කර පිටපත මෙරටට එවන්නට පටන්ගත්තා.

මුවන් පැලැස්ස පටිගත කිරිමක් 




එ්කාලේ රෑට රේඩියෝ එක ලඟටවෙලා මුවන්පැලැස්ස අහගෙන හිටපු ඔක්කෝටම දෑසින් නොදැක්කට කනට ඇහිලා මනසේ මැවුනු මේ අපුරු ගමේ අපුරු ගැමි චරිතයන් ටික අමතක නැතිව ඇතියි හිතනවා.     

Saturday, September 17, 2016

ජනාකීර්ණ වීදි අස්සේ තනිවුන පුරහල

කොළඹ පුරහල නැත්නම් ටවුන් හොල් (Town Hall)  එක ගැනයි මේ කතා කරන්න යන්නේ. හැබැයි අද මම ලියන්න යන්නේ අපි කවුරුත් දන්න කියන අර විහාර මහාදේවි පාර්ක් එකට ඉස්සරා තියෙන ධවල වර්ණ ගැන්වුනු දැවැන්ත කොළඹ නගර සභා ගොඩනැගිල්ල ගැන නම් නෙමෙයි.   මේක තමයි දැනට සියවස් එකාහමාරකට ඉස්සර කොළොම්පුරේ තිබුන පුරහල වෙන්නේ. ඒවාගේම මේ පුරහල තමයි ලංකාවේ පළමු පුරහල වෙන්නෙත්. පිටත පෙනුමෙන් සමහරුන්ට මේක කතෝලික පල්ලියක් වාගේ පෙනෙන්න පුළුවනි.  අද මේ පුරහල  කොළඹ ජනාකීර්ණ කඩසාප්පු අස්සේ තනිවෙලා, කවුරුවත් මේ ගැන සොයා නොබලන තත්වයකුයි තියෙන්නේ. හැබැයි මේක ඇතුලට ගියොත් නගරසභාවේ ඉතිහාසය විතරක් නොවෙයි පාර තලන ගල් රෝල්, ගෑස් ලාම්පු ආදි තව තව දේවල් ගොඩාක් තියෙන කෞතුකාගාරයක් දැක බලාගන්න පුළුවන්.







1850 වර්ෂයේදි කොළඹ නගරයට නගර සභාවක් ලබා දෙන්න  ඕනේ කියලා බි‍්‍රතාන්‍ය පාර්ලිමෙන්තුවේදි බි‍්‍රතාන්‍යයන් යොජනාවක් සම්මත කරගත්තා. වර්ෂ 1865  නොවැම්බර්  25 දින ප‍්‍රසිද්ධ කරපු නිවේදනයක් මගින් කොළඹ නගර සභාව පිහිටුවන ලැබුවා. 1865 අංක 17 දරන පනතින් තමයි කොළඹ නගරසභාව පිහිටුවාගනු ලැබුවේ. මම මිට පෙර ලියපු නගර සභාව ගැන ලිපිය මෙතැනින් බලාගන්නත් පුළුවනි. 

මේ නගරසභාවේ මුලිකම කාර්යය වුනේ  නගරසභාව සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරිමයි. එ්කට ඉතිං හොඳ භූමියක් හොයන්න ගත්තා. කෙලින්වීදියට මුහුණලා තියෙන භූමිබාගයක් තමයි නගරසභාව ඉදිකරන්න තොරාගන්නේ. මේ ගොඩනැගිල්ලේ සැලසුම අදින්නට ජී. බර්ටන්ට භාරදෙනවා. ඔහුට එ් වෙනුවෙන් ගිනි 50ක් ගෙව්වා කියලාත් සඳහන්වෙනවා.  ඔහු ඇදපු සැලසුමට අනුව සභා ගර්භය හා අනෙක් කාර්යාල සඳහා ඉහළ මාලය වෙන්කරලා තිබුනා. පුස්තකාලය, ශාලාව, මහෙස්ත‍්‍රාත්  කාමරය,කෞතුකාගාරය ඉහළ මාලයේ සැලසුම් කළා. පොළොව යට ගබඩා කාමරද මේ සැලැස්මේ තිබුනා. බර්ටන් ගොතික් ගෟහ නිර්මාණ ශිල්පය අනුවයි මේ සැලැස්ම ඇදලා තිබුනේ. මේ නගර ශාලාව හා එඩින්බරෝ වෙළඳ පොළ (Edinburgh Market) ඉදිකරන්න සැලසුම් කල ඇස්තමේන්තු වියදම පවුම් 15400ක් වෙන බව ගණන් බලලා මේකට යන වියදම වැඩියි කියලා රජය මේ සැලසුම අතහැරදැම්මා.



ඊට පස්සේ  මේ නගර ශාලාව සඳහා වෙනත් අයකුගේ සැලැස්මක් අනුමතවුනා. එ්ක ඇන්දේ එ්කාලේ කිර්තිමත් ගෟහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක්වු ජේ.ජී. ස්මිදර් මහතා (J.G.Smither). 1870දි මේ ගොඩනැගිල්ලේ වැඩ ආරම්භවුනා. වැඩ පටන්ගෙන අවුරුදු තුනකට පස්සේ පවුම් 7000ක් වියදම් කරලා වැඩ අවසන් කරපු මේ ගොඩනැගිල්ල 1873 අවුරුද්දේ ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි මහතා විසින් විවෘත කළා. අතුලත දොර ජනෙල් ආදිය බුරුමයෙන් ගෙන්වනු ලැබු තෙක්ක ලීයෙන් කරවලා තියෙනවා.  මේ නගර ශාලාවට යාබදව ගොඩනැගූ එඩින්බරෝ වෙළඳ පොළ (Edinburgh Market) එදින ආණ්ඩුකාරවරයා විවෘත කෙරේව්වා.   එඩින්බර්ග්හි ඇල්ෆ‍්‍රඞ් ආදිපාදවරයා (Alfred Duke of Edinburgh) විසින් 1870 අපේ‍්‍රල් 22 වෙනිදා තමයි මේ එඩින්බරෝ මාර්කට් එකට මුල්ගල තිබ්බේ. සැලසුම ඇන්ද ස්මිදර්ගේ අදහස් අනුව විශාල වශයෙන් යකඩ එකතුකරගෙන තමයි එඩින්බරෝ මාර්කට් එක හැදුවේ. 



නගර සභාවේ කටයුතු එන්න එන්නම පුළුල්වෙන්නත් කොළඹ වීදි ජනාකීර්ණ වෙලා පිටකොටුවේ ඇතිවෙන අධික තදබදයන් නිසාත් අලූත් නගරශාලාවක් හදන්න  ඕනේ කියලා අදහස් එන්න පටන් ගත්තා. ජනාකීර්ණ පිටකොටුවේ හිස් ඉඩක් නැති නිසා වෙනින් ස්ථානයක අළුත් නගරශාලාවක් හදන්න 1907 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 13 වෙනිදා යෝජනාවක් සම්මත කරගත්තා. හැබැයි මේක සාකච්චාවලට විතරක් සීමා වෙලා තිබුනේ වෙනත් හොඳ හිස්භූමියක් හොයාගන්න අපහසුවත් මීට වියදම් කරන්න වෙන මුදල වැඩි නිසාත් තමයි. 

1928 අවුරුද්දේ අළුතින් හදපු පුරහලට නගරසභාව ගෙවදුනාට පස්සේ මේ ගොඩනැගිල්ල පාළුවට ගියා. හිටපු ජනාධිපති ආර් පේ‍්‍රමදාස මහතා අගමැතිධුරය දරන කාලේ ඔහුගේ අදහසක් අනුව තමයි මේ ගොඩනැගිල්ල පිලිසකර කරලා කෞතුකාගාරයක් විදියට මහජන ප‍්‍රදර්ශණයට විවෘතවෙන්නේ.  





මේ කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තියෙන කොළඹ නගරසභාවේ යන්ත‍්‍රසුත‍්‍ර, වාෂ්පයෙන් දුවන පාර තලන ගල්රෝල්, ලංකාවේ ප‍්‍රථම ජංගම පුස්තකාල වෑන් රථය, ගෑස් ලාම්පු ආදිය තවත් ගොඩාක් දේවල් දැක ගන්න පුළුවනි. ආ මේකත් කියන්න අමතක වෙනවා සුප‍්‍රසිද්ධ ගාලුමුවදොර පිටිය නැත්නම් ගොල්ෆේස් එක විවෘත කරද්දි පිහිටුවපු සමරුඵලකය අද ආරක්ෂිතව තියෙන්නෙත් මෙතන තමයි.

 එහෙනම් පිටකොටුව පැත්තට ගියවෙලාවක  පිටකොටුවේ බොධිරාජ මාවත, වේල්ල වීදිය කෙලින් වීදිය හමුවන හන්දියේ තනිවෙලා ඉන්න ලංකාවේ පළමු පුරහල තම පැරණි බව විරාජමාන කරවමින් සිටින මේ පැරණි නගරසභා ගොඩනැගිල්ලට ගොඩවැදිලා එන්න අමතක කරන්න එපා.


මෙහි පලකරන ඡයාරූප සියල්ල අන්තර්ජාලයෙන් ලබාගත් ඡයාරූපයි.

Friday, September 9, 2016

ලංකාවේ පළමු ආසන දෙව්හළ

ලංකාවේ පළමු ආසන දෙව් මැඳුර වගේම බි‍්‍රතාන්‍ය යුගයේ වාස්තු විද්‍යා අංග ලක්ෂණ වලින් යුක්ත වෙච්චි කොළඹ නගරයේ තියෙන පැරණිතම හා විශාලතම දේවස්ථාන වලින් එකක් වෙන්නේ මේ දේවස්ථානය තමයි. මේ දෙව් මැඳුර කොළඹ නගරයේ ඇති පුරාවිද්‍යත්මක ස්මාරක වලින් එකක්ද වෙනවා. කොහේද මේ දේවස්ථානය තියෙන්නේ? එහෙනම් යමු කොටහේන පැත්තට. කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලය අසළ පිහිටි මද උස්බිම් කඩක තමයි මේ දෙව්මැඳුර පිහිටලා තියෙන්නේ. එ්ක තමයි කවුරුත් දන්නා කොටහේනේ ශාන්ත ලූසියා ආසන දෙව්මැඳුර.  (St. Lucia's Cathedral)

දැනට සුවිශාල ගොඩනැගිල්ලක් වුනාට මේ දෙව්මැඳුර ආරම්භවුයේ පොල්අතු සෙවලි කරපු පැළකයි. ඔරතේනියානු මිෂනාරිවරුන් විසින් සෙනට් ලූසියාස් චැපල්  (St.Lucia's Chapel)  නමින් ආරම්භකරලා තියෙන්නේ 1760 අවුරුද්දේදි. කොස්මෝ ඇන්ටෝනියෝ (Cosmo Antonio) හා මිගෙල් ඩි. අල්බකෙක් (Miguel de Alburquerque) තමයි මේ දෙව් මැඳුරේ මුල්කාලේ  දේව මෙහෙයන් පවත්වලා තියෙන්නේ.  ලන්දේසින්ගේ බලපෑම් හින්දා මේ ඔරතේනියානු පුජකයින්ට ආපහු ගෝවට යන්න සිද්ධවෙලා තියෙනවා. 1782 දි නිකලස් රෝඞ්රිගස් (Nicholas Rodigue) නම් පියතුමා මේ කුඩා පැල තරමක් විශාල ස්ථිර ගොඩනැගිල්ලක් බවට පත් කෙරුවා කියලා සඳහන් වෙන්නේ. 1820 දි බි‍්‍රතාන්‍ය පාලකයින් විසින් මේ දෙව්මැඳුර පිළිසකර කෙරෙව්වා. ඔරතේනියානු මිෂනාරිවරුන් ගේ මුලස්ථානය බවට ශාන්ත ලූසියා දේවස්ථානය පත්වෙන්නේද මේ කාලයේ තමයි. 1834 අවුරුද්දේදි ශ‍්‍රි ලංකාව ගෝවේ අගරදගුරුතුමාගේ නායකත්වයෙන් මිදුනා. ලංකාවේ පළමු අපෝස්තලිත (Vice Apostolic ) නාහිමි ලෙසින් වින්සන්ට් රොසයිරෝ ඩයස්  (Vincente Rozoiro Dias) පියතුමා පත් කරගත්තා. එ් එක්කම වාගේ ශාන්ත ලූසියා දෙව් මැඳුරත් ශී‍්‍ර ලංකාවේ පළමු ආසන දෙව්මැඳුර බවට පත්වෙනවා.

 

දැනට අපට දැක ගත හැකිවෙන්නේ එ් පැරණි දෙව් මැඳුර නොව 1887 දි ඉදිකරන ලද ගොඩනැගිල්ලක්. මෙහි මංගල  දේව මෙහෙය 1887 දෙසැම්බර් 13 වෙනිදා කි‍්‍රස්ටෝපර් බොන්ජින්  ඕ. එම්. අයි.(Christopher Bonjean O.M.I)  නම් කොළඹ පළමුවෙනි අගරදගුරුතුමා විසින්.  මේ දෙව් මැඳුරු ගොඩනැගිල්ල හිලේරියන් සිලානි බිෂොප්තුමා විසින් හා ස්ටැනිස්ලෝස් ටැබාරානි පියතුමා විසින් සැලසුම්කරා. ඉංජිනේරු උපදේශකයින් ලෙසින් එම්.ජේ. ටොමයින්, ජෙ.සි.ගැමන්ස්, හා වෝකර් පුත‍්‍රයෝ යන සමාගම් කටයුතු කෙරුවා. 


සියලු අංගයන් ගෙන් පරිපුර්ණ මේ දෙව්මැඳුර කුරුසයක බිම් සැලැස්ම අනුව ඉදිකරලා තියෙනවා. දිගින් මිටර් 76 ක් ප‍්‍රජාසන මණ්ඩපය ( Channel)හරහා දිග මිටර් 29ක් පළල් වෙනවා. ශාලාව පමණක් මිටර් 15 ක් පළලවෙනවා. මෙහි ප‍්‍රජාසන මණ්ඩපය යටින් මිටර් 12 x 12 ප‍්‍රමාණයේ තවත් විශේෂ කුටියක් තිබෙනවා.බොහෝ දෙනෙකුට මෙය නම් බලා ගන්නට ලැබෙන්නේ නැහැ. මෙය මධ්‍යයේ ආරුක්කු හයකින් මැදි කොටගත් ද්විත්ව කුළුණු පෙළක් තිබෙනවා. එහි පියස්ස නිමවා ඇත්තේ වටකුරු (Curved Roof) ලෙසින්.

දෙව් මැඳුරේ අල්තාරය පිටුපසින් ශාන්ත ලූසියා ප‍්‍රතිමාවක් හා දෙපස කුටි (Chapel) දෙකක මරියතුමියගේ  හා කි‍්‍රස්තුස් වහන්සේගේ ප‍්‍රතිමා දෙකක් දැකින්න පුළුවන්. අල්තාරයට වම්පසින් පිහිටි කොටසේ තවත් ප‍්‍රතිමා කිහිපයක් පිහිටුවා තිබෙනවා. පුජාසන මණ්ඩපය සිව්කොණ (Stiff - Leaf) සාම්ප‍්‍රදායික යුරෝපිය ලියකම් රටාවන් සහිත ශිර්ෂ වලින් යුක්තවු ද්විත්ව කුළුණු ආරුක්කු රටාවක් මවමින් එක්නෙකට සම්බන්ධවෙනවා.  ආසන සහිත ශාලවේ දෙපසද මෙවැනි ආරුක්කු පෙළක් තිබෙනවා.  එ් සෑම ආරුක්කුවක් තුලම ශාන්තුවරයින්ගේ ප‍්‍රතිමා තැම්පත් කරලා තියෙනවා බලන්න පුළුවනි.  



අලංකාර ලෙසින් ඈතට පෙනෙන මෙම දෙව් මැඳුරේ ප‍්‍රධාන ඩෝමය (Main Cupol) පිහිටියේ පුජාසන මණ්ඩපය මුදුණේයි.  එ් ඩෝමය මත 1937 දි නිර්මාණය කල මිටර් 4 ක් පමණ උස සිලින්ඩරාකාර මුදුන් (Lantern) කොටසක් පිහිටුවා තියෙනවා. මේ දෙව් මැඳුරේ උපරිම උසද වෙන්නේ පොලව මට්ටමේ සිට මේ ලැන්ටනයට උස වෙන මිටර් 50 ක උසයි. මේ ප‍්‍රධාන ඩෝමය සිව්කොන තවත් කුඩා ඩෝම හතරක් පිහිටුවලා තිබෙනවා. ආසන සහිත ශාලාව දෙපස පිහිටි ප‍්‍රතිමා සහිත කොටසේද එක් පැත්තකට පහ බැගින්වු තවත් කුඩා ඩෝම 10 ක්ද වෙනවා. එ් අනුව මේ දෙව් මැඳුරේ මුළු ඩෝම සංඛ්‍යාව 15 ක්. මේ සෑම ඩෝමයක් මතම රිදී පැහැය ගන්වලා ඇත්තේ ඈත සිට බලන අයෙකුට විසිතුරු දසුනක් මවා පෙන්වන්නටයි.  

මධ්‍යම ශාලාවේ පියස්සද වටකුරු ලෙසින් නිර්මාණය කර තිබෙනවා.  දෙව් මැඳුරේ ඉදිරිපස විශාල කුළුණු හා ආරුක්කු දොරටුවලින් අලංකාරකර ඇත්තේ බි‍්‍රතාන්‍ය වාස්තුවිද්‍යාත්මක ක‍්‍රම අනුවයි. ඉදිරි බිත්ති මුදුනේ ශාන්ත ලූසියා ප‍්‍රතිමාව මැදිකරගෙන තවත් ප‍්‍රතිමා හයක් දැක බලාගන්නට පුළුවනි. මේ දෙව් මැඳුරේ  ඕගන් ගැලරිය මිටර් 13 x 5 ප‍්‍රමාණයෙන් විශාල වෙන අතර එය දැව යොදාගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ දැව තට්ටුවට ටොන් 60ක බරක් දැරිය හැකිබව කියවෙනවා. මේ  ඕගන් ගැලරියට යන අතරමග දෙව් මැඳුරේ විශාලතම ඝාණ්ඨාරය දකින්න හැකිවෙනවා. රාත්තල් 400 ක් බරති මිටරයක විශ්කම්භය ඇති මෙය  ඇන්ටනි තෝමස් (Antony Thomas) ලෙසින් නම්කර තිබෙනවා. මෙය ලංකාවේ විශාලතම ඝාණ්ඨාර වලින් එකක්ද වෙනවා. එ් හැරුනුකොට තවත්  ඝාණ්ඨාර 3 ක්ද මෙහි වෙනවා. එ්වා කොන්ස්ටන්ට් හෙන්රි ලූසියා එමලින් (Comstant Henry Lucia Emilia),  ෆ‍්‍රන්සිස් තෙරේසා (Francis Threresa) ජීන් බැප්ටිස්ට් එඞ්වඞ් ඇනා (Jean Baptist Edward Ann) යනුවෙන් නම් කර තිබෙනවා.  එ්වායේ බර පිළිවෙලින් රාත්තල් 2000 ක් 1400 හා රාත්තල් 950 ක් ද වෙනවා. මේ ඝාණ්ඨාර සියල්ලම නිෂ්පාදනය කර ඇත්තේ ප‍්‍රංශයේ  Georges & Francisqe Paccard නම් කර්මාන්ත ශාලාවේදි. අද කොළඹ තිබෙන ප‍්‍රධාන පාසල් දෙකක් වෙන 1865 දි ආරම්භ කරපු ශාන්ත බෙනඩික් විද්‍යාලය හා 1869 දි ඇරඹු යහපත් එඬේරාගේ කන්‍යාරාමය මේ දෙව්මැඳුර හා සම්බන්ධව ඇතිකරලා තියෙන පාසල් දෙකක්. ඔන්න එහෙනම් කොළොම්පුරේ පළමු ආසන දෙව්මැඳුර ගැනත් ලිව්වා. කොටහේන පැත්තේ ගියොත් ශාන්ත ලූසියා දේවස්ථානයත් බලාගෙන මිට ඉස්සරින් කොළොම්පුරෙන් ලියැවුනු දිපදුත්තාරමයත් වැඳපුදාගෙන එන්න.  

මෙහි පලකරන ඡයාරූප සියල්ල අන්තර්ජාලයෙන් ලබාගත් ඡයාරූපයි.

Sunday, September 4, 2016

කොළොම්පුරයෙන් බිහිවු මුල්ම සිංහල මුද්‍රිත පොත

මුල්ම සිංහල මුද්‍රිත පොත මොකක්ද?  කොපමණ කාලයකට ඉස්සර ද පළකෙරුවේ?  මේ ගැන සොයා බලන්න අපේ කොළොම්පුරේ අතීත චාරිකාව යන්නයි හදන්නේ. මුල්ම සිංහල මුද්‍රිත පොත ගැන කතා කරන්න ඉස්සර අපේ රටේ ලේඛන ඉතිහාසය ගැනත් කතානොකර බැහැ. අපේ රටේ ඉතාමත් පැරණි ලේඛන ඉතිහාසයක් තියෙනවා. පුරාවිද්‍යාත්මක සාධක අනුව කි‍්‍ර.පු. 3 වන සියවසටත් වඩා ඈතට දිවයන බවයි කියවෙන්නේ. අපේ රටේ හැම තැනින්ම හමුවෙන සුලබ ලේඛනයන් වෙන්නේ ශිලා ලේඛන. ඊටත් පසුව පුස්කොළවල ලීවිම ආරම්භකරලා තියෙනවා. සුවිශේෂිත ලේඛනයන් තඹ, රත්තරන් වැනි ලෝහ තහඩු භාවිතා කරලා ලේඛන ගතකරලා තියෙනවා. මතකද යාපනේ වල්ලිපුරම් ගමෙන් හමුවුනු වල්ලිපුරම් රන් සන්නස. පසු කාලෙක පිහාටු පෑනෙන් කඩදාසිවලත් ලියන්නවුනා. එත් මේවා මොකක්වත් මුද්‍රණය කරලා ප‍්‍රකාශයට පත්කරපුවා නෙමෙයිනේ.  



සිංහලෙන් මුද්‍රණ කටයුතු කරන්නට බලපෑවේ ලන්දේසින් විසින් ආරම්භ කරපු කි‍්‍රස්තියානි ධර්ම ප‍්‍රචාරක වැඩපිලිවෙලයි. මේ සඳහා උපයෝගිකරගන්න පුළුවන් විදිහට ශුද්ධ ලියවිලි සිංහලයට පරිවර්තනය කරගෙන සිටිම එයාලට වැදගත්වුනා.




 සිමොන් කාට් (Simon Kat), යොහැන්නස් රුවෙල් (Joannes Ruel), විල්හෙලම් කොනයින්  (Wilhelm Konyn) වැනි   ඕලන්ද රෙපරමාදු සභාවේ (Duch Reformed Church) දේවගැතිවරු ශුද්ධ ලියවිලි සිංහලයට පරිවර්තනය කරන්නට මුලික වෙලා තිබුනා. මේ අය අතරින් විල්හෙලම් කොනයින් දේවගැතිවරයා තමයි විශාල වැඩකොටසක් කරගෙන ගියේ. ඔහු 1739 දි ශුභාරංචි  පොත් හතර (Four Gospels) සිංහලයට පරිවර්තනය කර පුස්කොල පොත්වල ලියා තැබුවා. පසුව ඔහු තවත් ලේඛන ගනනාවක් සිංහලයට හරවලා තියෙනවා.  මේ වැඩ පිලිවෙලට  ඕලන්ද රජයේ පුර්ණ සහයෝගයද ලැබුණා. එ් නිසාම හෙන්ද්‍රික් බෙකර් (Hendrik Bkker 1707- 1716 ) ආණ්ඩුකාරවරයා එ් සඳහා අනුග‍්‍රහය දෙන ලෙස එක්සත් පෙරදිග ඉන්දියා සමාගමට (V.O.C - Vereenigde Oost Indische Compagnie) නියෝග කෙරුවා. එ් නියෝගය නිසා සිංහල බසින් ශුද්ධ ලියවිලි මුද්‍රණය කරන්ට සියල්ලන්ගේම අවධානය යොමුවුනා. මෙහි ප‍්‍රතිඵලයක් විදිහට 1734 අවුරුද්දේ සිංහල මුද්‍රණාලයක් පළමුවරට කොළඹ නගරයේ පිහිටුවනු ලැබුවා. සිංහල අකුරු සකස් කිරිමේ කාර්යය ලන්දේසින්ගේ යුද්ධායුද  ගබඩාවේ බාස් කෙනෙකුවු  ගබ්රියෙල් ස්කාද (Gabriel Schade ) වෙත පැවරුණා. ඔහුට පිලිප්පස් වෙට්සිලියස්  (Philippus Wetzelius) හා කොනයින් (Konyn) යන දේවගැතිවරුන් දෙදෙනාගේ උපදෙස් ලැබුණා.
 

 ලංකාවේ  ඕලන්ද ආණ්ඩුකාර ගුස්ටාප් විලෙම් බැරන් වෑන් ඉම්හොෆ්  (Gustaaf Willem Baron Ven Imhoff   1736-1740)  කොළොම්පුරය පාලනය කරන කාලයේ  1737 අපේ‍්‍රල් මාසයේ ප‍්‍රථම මුද්‍රිත පොත එලිදැක්වුණා.  සිංහල යාඤා පොත (Singaleesck Gebeede Boek) නම්වු  මේ පොත සෙ.මි 19.5 × 13 ප‍්‍රමාණයේ පිටු 40 කින් සමන්විත වෙනවා. මෙහි පිටු සදාගෙන ඇත්තේ රෙදි කැබිලි යොදාගෙන අතින් සෑදු කඩදාසි යි. මෙහි කවරය රතු පැහැති  සම් රෙද්දකින් නිමවා එ් වටා රත්තරන් පාට බෝඩරයකින් අලංකාර කර තිබෙනවා. කවරයේ මැද එක්සත් පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ කොළඹ ලාංඡනය VOC මුද්‍රණය කරලා තියෙනවා. "ප‍්‍රදානවු යාඤාවල් පහද අපෙ කි‍්‍රස්තියානි  ඇදහිල්ලේ පංගු ෙදාළහ සහ දෙව් ස්වාමි  දරුවාණන් වහන්සේට අහස්තලින් දෙවා වදාළ අනාඥාවල් දසයද මෙහි ඇත.""දිප්තිමත්වු කොම්පඤ්ඤ වෙනුවෙන් අච්චු ගැසුවේ වෂි 1737 "

ඕලන්ද භාෂාවෙන් පලමු පිටුවේ මෙසේ සදහන් වෙනවා.
SINGALEESCH GEBEEDE-BOEK


දෙවන පිටුවේ ඕලන්ද භාෂාවෙන් මෙසේ සදහන් වෙනවා.

INHOUD
HET GEBED DES HEEREN
MORSEN EN AVOND GEBE
GEBED VOOR EN NA DEN
EETEN
DE XII ARTYKELEN DES
GELOOFS
DEX GEBODEN GOOS


මෙම පොත ප‍්‍රකාශයට පත්විම හා සමකාලීනව සිංහලෙන් මුද්‍රිත පරිපාලන ලේඛනයක් වු 1737 අප්‍රෙල් 5 වෙනිදා ප‍්‍රකාශවට පත්කල පලක්කාර්තු (Plakkat) නම්වු  ලන්දේසින්ගේ නිවේදනයක් නිකුත්වුනා.  මෙහි  සඳහන්වෙන්නේ  මාතර දිසාවේ මිරිස් වගාව සම්බන්ධ නියෝගයන්ය. මේ පලක් කාර්තුවේ ව්‍යවහාර භාෂාව යොදාගෙන තිබේ.1770 අවුරුද්දේ  තවත් ශුද්ධ ලියවිලි ගනනාවක්  ලන්දේසින් විසින් ප‍්‍රකාශයට පත්කෙරුවා.  ඕලන්දයේ ලයිඩන් විශ්ව විද්‍යාලයේ දේව ධර්මය හැදෑරු සිංහල දේවගැති හෙන්රිකස් පිලිප්සට එ්වන විට පරිවර්තනය කර තිබුනු ශුද්ධ ලියවිලි මුද්‍රණය සඳහා සකස් කරන්නට පැවරුණා. එ් අනුව මුලින්ම බයිබලයේ නව ගිවිසුමේ කි‍්‍රයාපොත 1771 අවුරුද්දේද. රෝම 1772 අවුරුද්දේද. කොරින්ති සිට ගලාති දක්වා 1773දිද. එපිස සිට හොබ්‍රෙව් දක්වා 1776 දිද. ජාකොබ් සිට එළිදරව් දක්වා 1776 දි, ශූභාරංචි පොත් හතර 1780ද, පරණ ගිවිසුමේ උප්පත්ති 1783 අවුරුද්දේ  නික්මයාම 1786 ලෙවිකතාව, ගණන් කතාව, ද්ව්තිය නිති සංග‍්‍රහය 1789 දීද ඔහු විසින් සංශෝධනය කර මුද්‍රණය සදඟා සකස්කළා.  මේ ශුද්ධ ලියවිලි වලද පලක්කාර්තුවේ තිබුන පරිදි කොළඹ ව්‍යවහාර භාෂාව යොදාගෙන තිබුණා. 1705 දි ගෝවේ සිට පැමිණ ලංකාවේ ධර්ම ප‍්‍රචාරක කටයුතු වල යෙදි සිටි ඔරතෝනියානු (Oratorian) මීසමට අයත් කතෝලික පුජකයෙකුවු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා දුර්වල තත්වය තිබු සිංහල කිතුණු සාහිත්‍ය නංවාලීමට විශාල මෙහෙයක් ඉටුකරන්නට වුනා. සිංහල, දෙමළ , පෟතුගි‍්‍රසි,  ඕලන්ද භාෂා හොදින් දැන සිටි මෙතුමා පෘතුග‍්‍රීසි - සිංහල, සිංහල- පෘතුග‍්‍රීසි හා පෘතුග‍්‍රීසි - දෙමළ වශයෙන් ශබ්දකෝෂ තුනක් රචනා කළා. එ් හැරණුකොට එතුමා තවත් කිතුණු ග‍්‍රන්ථ විස්සක් පමණ රචනා කර තිබෙනවා. එ් අතරින්  දේව වේද පුරාණය, ධර්මොද්‍යානය,දුකප‍්‍රාප්ති ප‍්‍රසංගය,දේව වේද සංකෙෂපය හා මංගල ගීතය වැනි පොත් වියත් බස්වහරකින් සිත් ගන්නා අයුරින් ලියා තිබෙනවා.