Monday, October 24, 2016

පිංසාර අයියාගේ අමද්‍යප සංගමේ



ආවත් කොළොම්පුරේට කවුරුත් ගොඩවෙන්න
ඉතිහාස   කතන්දර    කියලා මට   හති    ඔන්න 
බැරිවුනත්      හිතුනා      කවියෙක්        වෙන්න 
අමාරුවෙන් ගෙටගැහුවා පුළුවන්නම් අහගන්න

පිංසාර    අයියා අපේ   කොළොම්පුරේ  ඉන්න 
පිං අඩිකාරයා දුන්නොත්       නොගහම ඉන්න
ගන්නත් බෑ සාක්කුවෙත් නෑ සතයක් අරගන්න 
කතන්දරයක්    කියන්නම්    අහගෙන   ඉන්න

ලැබුනොත් අඩියක් පුඩියක් පිංසාරට පිනට
ගැලවි වැටෙයි හිරිඔතප්  ලැජ්ජාවන  බිමට
සිරවි  තිබෙන  අදහස් නිදහස් කර     සිතට 
එදාට   බලවතා වෙන්නේ   බරදිලා  කටට

කලත්    හොඳ    ගෙදරින්   නෑ   කිසිම සැලකිල්ලක්
ගෑනි මා   දකින්නේ   යකා දකින   සේ නර   බිල්ලක්
එකසේ ගෙවුන   දිවියට අරගෙන පොඩි ගැලවිල්ලක් 
ගෙදරින් නැතත් ගමෙන් ගන්නම් කෝ හොඳ සැලකිල්ලක්

ගමේ ගොඬේ පිරිමි   ටික  සෙට්කරගත්තා
අමද්‍යප සමිතියකුත් මිනිහා අටවා   ගත්තා
වෙල ලඟ ගෙදර සුනියා මුල් පුටුවට ගත්තා
සෙට්වෙන්නට කට්ටිය හැම  ඉරිදම ගත්තා

උප  සභාපති    පුටුවට   ආවා  පිංසාර  අයියා
ලේකම් තනතුර ගත්තා අතකොට කරුපයියා
එකතුව තණමල්විල මල් නෙලනා සුදු අයියා
බැහැලම   සේවය   කරනවා  අපේ   ගෙයියා

ඉස්සර    කට්ටිය   හිටියේ තිතට මත 
ගෙදරින්  කවදත් ලැබුනේම නෑනේ හිත
දැන් අමද්‍යප හින්දා කාගෙත් මතට තිත
එ් හන්දාද මන්දා දැන් ගෙදරිනුත් අතහිත

ගෑණුන්ට  මොටද   අමද්‍යප සංගම් 
එන්න දෙන්න බෑ ව්‍යවස්තාවෙන් තහනම්
ගෙදරින් අනුමැතිය ගන්නට බැරිනම්
අපේ ගෑණුන්ටත් අටවලා දෙමු සංගම්

එකමුතු වෙලා කවුරුත් කල යෝජනාවට
බවලත්තුත්   කැමැතිවුනා  එ්  ඇරයුමට
පිංසාර   අයියලා   කලයුතු     යුතුකමට
ඇරඹුවා කුළඟන සමිතියක් ගම්තුලාවට

ගෑණුන් යනවා නව කුළඟන සමිතියට
පිරිමි ටික යනවා සමාජ සේවා වැඩට
ඉරිදා හවස නෑ කවුරුත් ගෙයි වැඩට
එ් හින්දා නෑ කවුරුත් මැසිවිලි කියන්නට

අවමගුල් සමිතියකුත් අමද්‍යපට එක්කහු කෙරුවා
අමද්‍යප    නිලදරුවෝ  ඒකෙත් අනේ වැඩ බැලූවා
පිරිමින් ටික බැහැගෙන සමාජේට සේවය කෙරුවා
උන් ටික උනත් ඉද හිට අඩියක් දෙකක රස බැලූවා 

මේ   ඉරිදාටවත්   වැඩට    පලයන්නේ
දවසක්දා පිංසාරට බිරිදයි ගොරවන්නේ
අකමැතිවුනත් ගැලවිල්ලට රැකියාවට යන්නේ
එ් ගිය හින්දයි ඔහු මෙලොව ජිවත්වි ඉන්නේ

වැඩි   පඩියක්    අතටම ගන්න
 ඕටි පාරක් මේ සැරේ කරගන්න
ගිය හින්දා පිංසාර ඉරිදා මෙන්න
බැරිවුනානේ   රැස්විමට යන්න

ගම් පියසේ සැමගේ දෑස්   කඳුලින් නහවා
පසුදා  අසුභ   පනිවිඩයක්   අරගෙන ආවා
අමද්‍යප  සමිතියම  මරුවාගේ   කට ගාවා
එකෙක් දෙන්නෙක් විතරක් බේරිලා ආවා 

පෙර   පිං කරලා තිබු හන්දා
පිංසාරගේ    පිං පල දුන්නා
දිවිය කෙටි නොවුනා එ් හින්දා
පිං අයියාගේ ජිවිතේ රැක දුන්නා

සැමදා   සුපුරුදු   රැස්විමෙන්   පස්සේ 
කර තියෙනවා සංග‍්‍රහයක්  පිටිපස්සේ
එකෙක් දෙන්නෙක් රිංගලා එ් අස්සේ 
දා ගන්නවා ගමේ බඩු ඇති පදමට සිත්සේ

අහෝ  අවාසනාවකි  එදා වී  ඇත්තේ 
සුනියා පෙරපු බඩු තිබිලා    නැත්තේ
කරුපයියා තමයි සප්ලයි කර ගත්තේ
දෙවියනේ වෙල් පැන්ටා විසවි ඇත්තේ

වැඩියෙන් ලඟ නවපු උන් ඉක්මණින් ගියා
සමිතියේ එකා දෙන්නා මිය පරලෝද ගියා
අසධ්‍යව    සභාපතියා   ඉස්පිරිතාලේ ගියා
එයා බලන්නට අපේ    පිංසාර අයියාද ගියා

සමිතියේ ගමේ භාගයක් පිරිමින් කලූරිය කළා
අඬවමින් මුළු ගම් තුලානම මලගෙයක් කළා
මැරුණු   සේරමගේ   ඥතින්  එකතු    කළා   
ලොකුවට අවමගුලක් කරන්න සාකච්චාව කළා

සමිතිය    වෙනුවෙන්    අවමගුලේ   කතාවක්
කරන්නට  වෙනවා මල   ගෙදරදි     වතාවක්
උඹ පලයන් ගොතාගෙන හොඳ හැටි කතාවක්
සභාපති සුනියා අමාරුවෙන් කිව්වා තව වතාවක්

අවමගුලට  යන්නට   සිතට   එඩි    ගන්න
තව ඩ‍්‍රෑමයක් ගැහැව්වානේ වෙර  විරිය එන්න
 ඕනේ යකෙකුට දැන්  දෙන්නම්  පළු යන්න
දිරිගෙන සිතට පිංසාර ගියානේ මලගෙයි යන්න

බැහැනේ  සභාවේ  ඉදිරියට   යන්න
දෙකකුල් ගහනවා මැඩලින්  මෙන්න
කුළඟනයේ ගෑණුන් මරගුන් සේ ඔන්න 
බලාගෙන ඉන්නවා මරාගෙන කන්න

 

වචන   දෙක තුනකුත්  ගෙට   ගහගත්තා
අවමංගල  සභාවෙන්  ඔහු  අවසර ගත්තා
මගේ මිතුරන්  ටික මරුවා පරලෝ ගත්තා
නැතිව යාළු මටත් ඉන්න බෑ කියමින් සොව ගත්තා

උඹ තමයි  මිනිහෝ  ඔය  හොර  සමිතිය හැදුවේ
කොයි අම්මාද තෝ වගේ වල් බල්ලෙකු වැදුවේ
කියමින් මරගුන් ටික පිංසාර අයියා වට කෙරුවේ
කුඩ මිට පාරවල් මදිවට ගුටි එක දෙක රසබැලූවේ

ගහන ගහන පාරවල් පිංසාර අයියාට හොදටම  වැදුනා
වදින වදින ගුටි හින්දා    මිනිහට   හොදටම       රිදුනා
දුවන දුවන හින්දා කුළඟනේ ගෑණුන් තව ගුටි   ඇන්නා 
වැදුන වැදුන ගුටි හින්දා පිංසාරව ඉස්පිරිතාලෙට දුන්නා

සභාපති සුනියාගේ ඇදට අල්ලපු  ඇද   පැත්තේ 
උප සභාපති පිංසාර අයියාට වෙන්කර දී ඇත්තේ
බෝ අමාරුවෙන් ඔහු කෙදිරිගාමින් කී ඇත්තේ
සමිති   සමාගම්  තව   කරන්නේ   නෑ    සත්තේ

No comments:

Post a Comment

අදහස් මෙතන නිදහස් කරන්න

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...