Sunday, October 9, 2016

අභිරහස

කොළොම්පුරේ ඉතිහාස කතන්දර ලියලා මටත් දැන් පොඩි වෙනසක් කරලා බලන්න හිතුනා. හැමෝම වාගේ කවි කතන්දර ලියලා බ්ලොග් පොස්ට් දාන හින්දා කොළොම්පුරේ ඉතිහාස කතන්දර අස්සට පොඩි වෙනසක් වෙන්නත් එක්ක මම සඟරාවකට ලියපු කෙටි කතාවක් එකතුකරන්න අදහසක් ආවා. මේ කතන්දරේ ලිව්වේ මම වැඩකරන ආයතනයෙන් පළකරන සඟරාවකටයි. හැබැයි මෙහෙම කෙටිකතා කිහිපයක්  අපේ සඟරාවට ලිව්වාට හොඳක් නම් අහන්න ලැබුනේ බොහෝම ටික දෙනෙක්ගෙන් තමයි. ඊරිසියා හිතුන ගොඩාක් දෙනෙක් කිව්ව දේවල් මේකේ ලියන්න බෑ. අන්තිමේට ලියපු කෙටිකතාව නිසා ගුටිකන්නත් ගියා. අනුනමයි දශම කාලෙන් ගුටිනොකා බේරුනා. එ් මේ කතාව තමන්ට ලියපු එකක් තියලා හිතාගත්තු මරි මෝඩයෝ් යස අපුරුවට රෙදි අරන් මැෂිමන්ට් බලලා මොලේ කළඳක් නැති ඔලූගෙඩියට තොප්පිය මහලා දාගත්තු නිසයි. තවත් අඳබාලයෝ ගිනි අවුලෝලා  ඒ ගින්නට තව පිඳුරුදාලා පර්සනල් එකටත් ලියුමක් එහෙම දිලා තිබුනා එයාලට අපහාස කළා කියලා. කලාවට ලැදි කලාකාමි හදවතක් තියෙන ලොකු බොසුයි පොඩි බොසුයි දෙන්නා මේ කතන්දරේ ආරවුල විසදලා ෂේප් එකක් දාලා දුන්නා. හැබැයි මීට පස්සේ ආයතනයේ සඟරාවට නම් කතා ලියන්නේ නෑ. ඔය කතා ඔක්කෝම ටික ලියනවා බ්ලොග් එකට. දැන් ගහපල්ලාකෝ ලියුම්. ඔන්න එහෙනම් ගුටි කන්න ගිය මගේ කෙටිකතාව බලාගන්නකෝ. . .......


අභිරහස

උඳේ පාන්දරම ආරංචියක් අරගෙන පින්සාර අයියා ඔෆිස් එකට ආවේ අපේ සිරිකුමාර මහත්තයාගේ අම්මා අසනිපවෙලා කියාගෙන. එදා දවසේ සිරිකුමාර මහත්තයා වැඩට ආවෙත් නෑ. පස්සේ බැලින්නම් අසනිප වෙලා ඉන්නේ නැන්දම්මා. දවසකට පස්සේ වැඩට ආපු සිරිකුමාර මහත්තයා අකම්පාලවෙලා කොයි වෙලාවෙත් කල්පනාවේම තමයි. එයා කොච්චර බය වුනාද කියලා කිව්වොත් දවස් දෙකක්ම දවල්ට කන්න කැන්ටිමට ආවෙත් නෑ. පව් අප්පා එයාගේ ගෙදර ගෟහමුලිකයාගේ මව්තුමියනේ. හිතුවා නේද මට වැරදුනා කියලා? නෑ මට වැරදුනේ නෑ. සිරිකුමාර මහත්තයා ගෟහමුලිකයා වෙන්නේ ඡන්ද ලැස්තුවේදි විතරයි. අමුලික බොරුවක් වුනත් ගෟහමුලික කියලා ඡන්ද ලෑස්තුවේ නම් ලියන්න එ් බාරියාව ඉඩදෙනවා.  
                 ඔන්න ඉතිං අපිත් බයවුනා නැන්දම්මාගේ අසනිපේ වෙනුවෙන් දුක් වෙලා සිරිකුමාර මහත්තයාට පපුවේ අමාරුවක් වත් හැදෙයි ද කියලා. එච්චරටම මිනිහා දුක්වුනා. මේ ළඟදි අපේ ඔෆිස් එකේ කට්ටිය සෙට්වෙලා පාටියක් එහෙම දැම්මා. මිනිහා නෙමෙයි එකටවත්  ආවේ. පින්සාර අයියා වගේම සිරිකුමාර මහත්තයාත් පිං අඩි කාරයා. පාටියක් තිබ්බොත් වරද්දනේ නැතිව එනවා. ඉතිං ආවේ නැති හින්දා බැලින්නම් නැද්දම්මාට බොධි පුජාවල් මාලාවක් සහෝදර සහෝදරියෝ ලෑස්ති කරලා. එයත් ඉතිං වෙනමම බොධි පුජාවක් එහෙම තියලා. මෙච්චර සැලිකිලි කරන්නේ ගෙදර බලවතාවු බවලතාගේ අම්මා නිසා කියලයි අපිත් හිතුවේ. කොච්චර බේත් කලත් නැන්දම්මාගේ අසනිපේ අඩුවුනේ නෑ. බයිපාස් ඔපරේෂන් එකකුත් කරන්න වෙලා. වෑල් දෙකක්ද කොහේද බ්ලොක් වෙලාලූ. එත් එ් අසරණ අම්මාගේ වයස වැඩි නිසා එකත් කොට උඩ තමයි තිබුනේ. ඔන්න එ් අතරේදි එක දවසක්  
”කෝ් මේ මේසේ උඩ තිබ්බ සීල් පෑඞ් එක?”
අපේ ක්ලාක් මහත්තයා ඒක පණ දාගෙන හොයනවා. බැලින්නම් ඒක නෑ තමයි. 
”ඇයි බං මේසේ උඩ ඊයේ හවසත් තිබුනා නේද?”
”ඔව් මේ මේස උඩ තමයි හැමදාමත් තියලා තිබුනේ. කවුරු හරි උස්සලා.” 
”කවුරු ගෙනියන්නද බං සිල් පෑඞ් එකක්?  ගෙදර ගෙනියලා මොකට සීල් ගහන්නද? උඹ කොහේ හරි දාන්න ඇති.”
”ඇයි උඹ හිතුවාද මට පිස්සු කියලා?”
ඔන්න දැන් අපේ ක්ලාක් මහත්තයාටත් කේන්ති ගිහිල්ලා. ක්ලාක් මහත්තයාගේ ආවේගශිලීබව වැඩිවුනාම පීඩනය වැඩිවෙනවා. පීඩනය, ආතතිය තව අටහුටාමාරක්  දේවල් වැඩි වෙලා එයත් පරණ මොරිස් මයිනර් එකක්වගේ  බොයිල් කරන්න ගන්නවා. ඔය මනුස්සයත් ඉතිං අහක යන දේවල් අරන් මලපන්න ගන්න කෙනෙක්නේ. හොයලා හොයලා බැරිම තැන ක්ලාක් මහත්තයාගේ සීල් පෑඞ් සෙවිල්ල කවුරු කවුරුත් අතහැරලා දැම්මා. පහුවදා උදේ වැඩට ආපු මට අපේ පියන් කොලූවා ක්ලාක් මහත්තයාගේ මේසේ පැත්තේ එන්න කියලා තකහනියෙන්ම කතා කරනවා. මෙන්න බොලේ සීල් පෑඞ් එක ආපහු තිබුන තැනට ඇවිල්ලා හිමිච්චා වගේ ඉන්න හැටි. වෙලාවට සීල් පෑඞ් එකට කටක් තිබුනේ නැත්තේ. නැත්නම් ඔෆිස් එකේ කට්ටිය සීල් පෑඞ් එකෙන් කට උත්තර ගන්නවා අම්මපා. 
           මෙන්න මේ කෙහෙල්මල් සීල් පෑඞ් එකක් නැතිවෙලා හින්දා අපේ සිරිකුමාර මහත්තයාගේ නැන්දම්මාගේ අසනිපේ ගැන කියන්නත් බැරිවෙනවා. දැන් සිරිකුමාර මහත්තයාට හරියට වැඩ. උදේම වැඩට එනිං ගමන් ඉස්පිරිතාලේට යනවා. දවල් කෑම පැයෙත් ඉස්පිරිතාලේට දුවනවා. ආයෙත් හවසටත් යනවා. මිනිහා ලෙඞ්ඩු බලන්න දෙන තුන්වරුවෙම ඔන් ඩියුටි. එ් අස්සේ දැන් අපේ සිරිකුමාර මහත්තයාගේ අප්සෙට් එක දෙගුන වෙලා. ඇයි දන්නවාද? මිනිහට හවසට  ඕටි පාරක් වත් කරගන්න බැරිවෙනවානේ. නැන්දම්මාට සනිපයකුත් නෑ. මිනිහා ෆුල් ශෝකේ.  අන්තිමේදි ප‍්‍රයිවෙට් ඉස්පිරිතාලයකට ඇඞ්මිඞ් කරලා බයිපාස් ඔපරේෂන් එකකුත් කළා. 
                  මෙන්න අපේ එකෙක් කියනවා අර සීල් පෑඞ් එක ආයෙත් හවසට අතුරුදහන්වෙනවා උදේට ආපහු එනවා කියලා. මෙන්න බොලේ ඔය සීල් පෑඞ් එකගැන ඇහැගහන් හිටිය හැමදේම හොයන ඔපිඩිපි කාරයෝ කියනවා දවල් කෑම පැයේ දිත් මේක අතුරුදහන් කියලා. දැන් ඉතිං කවුරු කවුරුත් මේ ගැන හොයන්න පටන්ගන්නයි යන්නේ. මම කිව්වා කවුද දන්නේ ආයෙත් සීල් පෑඞ් එක ඇවිදින්න යයි කියලා ක්ලාක් මහත්තයා අරන් තියනවා ඇතියි කියලා. ඊට පස්සේ කවුරුත් ඔය රෑට රෑට ඇවිදින්න යන සීල් පෑඞ් එකේ අභිරහස ගැන හොයන්න ගියෙත් නෑ. ඔන්න හිතන්න එපා මම එ්ක ඉස්සුවා කියලා.  
                       ලෙඩා මලත් බඩ සුද්දයි කියලා හිතන ප‍්‍රයිවෙට් ඉස්පිරිතාලේ දොස්තරලා වයස පැත්තකට දාලා අපේ යාලූවාගේ නැන්දම්මාට බයිපාස් ඔපරේෂන් එකකුත් කළානේ. එකෙන් පස්සෙත් අපේ යාලූවාගේ නැන්දම්මා තාමත් ඉස්පිරිතාලේ. මේ දවස්වල මිනිහා ඉන්නේ තවත් අප්සෙට් එකේ.  මෙහෙම කම්පා වෙවි ඉන්න යාලූවාට පොඞ්ඩක් කතාබහ කරලා තියෙන ප‍්‍රශ්ණ එහෙම අපිත් අහගෙන පපුවේ තියාගෙන දුක්විදින බර පොදිය අඩුකරලා හාට් එක කූල් ඩවුන් කරන්න හිතාගෙන මිනිහා ලඟට මම එන්ටර්වුනා. 
”මචං මොකක්ද අවුල? නැන්දම්මාට බයිපාස් එකක් කළානේද?”
”ඔව් බං එක ඉවරවෙලා ගොඩක් දවස්.”
”එහෙනම් මොකක්ද කේස් එක?”
”ආණ්ඩුවේ ඉස්පිරිතාලේ වේටින් ලිස්ට් එකේ ඉන්න වෙන හින්දයි අම්මාගේ වයස වැඩි හින්දයි ඔපරේෂන් එක ඇදුනා. අන්තිමේදි අපි ප‍්‍රයිවෙට් හොස්පිටල් එකකින් වැඬේ හොඳට කරගත්තා.”
”මොකක්ද එහෙනම්? දැන් ප‍්‍රෂ්නේ සල්ලිද?”
අපිත් දන්නවා සිරිකුමාර මහත්තයාගේ පවුලේ අයට හොඳට සල්ලි භාගේ එහෙම තියෙනවා කියලා. එත් ඉතිං කවුද දන්නේ මදිපාඩුවක් එහෙම තියෙනවාද කියළා. එහෙම තිබුනානම් කීයක් හරි ලිස්ට් එකක් දාලා එකතුකරලා දෙනවානේ.
”පිස්සුද බං? අපේ නැන්දම්මට සල්ලි වලින් අඩුපාඩුවක් ඇත්තේ නෑ. එයාට තියෙනවා කෝටිගානක් වටිනා දේපල. එත් මේ අම්මන්ඩිගේ කුණු ලෝබ කමට අපේ ගෑණිට තියා අනිත් උන්ටවත් කිසිම දෙයක් ලියලා නෑ. මහ පෙරේත ගෑණි.”
අර නැන්දම්මාව මෙච්චර උදේ හවා බලන්න ගිය මිනිහා මෙන්න බොලේ කේන්තියෙන් කියවනවා.
”කොච්චර දේපල තිබුනත් වැඩක් නෑ බං ලියන්නේ නැතිව මැරුනොත්. එතකොට තමයි ප‍්‍රශ්නේ. දන්නවානේ ඔය බූදල් නඩු.”
”එක තමයි මටත් තියෙන ලොකුම ප‍්‍රශ්නේ. වයිෆ්ගේ අනිත් උන් ටිකත් බලාගෙන ඉන්නේ මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරගෙන ඔය දේපල ටික ලියවා ගන්නයි. මේ මසුරු ගෑණි නෙමෙයි මැරුනත් ලියන්නේ.”
”ඇයි දැන් බයිපාස් එක ඉවරනම් ඩිස්චාර්ජ් කරන්නේ නැත්තේ?”
මම කතාව වෙනිං පැත්තකට ඇදලා ගත්තා.
”තවත් ලෙඩක් හැදිලා.”
”එ් මොකක්ද හාට් එකේ තව ප‍්‍රශ්ණයක්ද?”
”නෑ බං ඇගිලිවල.”
”මොකක් ඇගිලිවල? ඇගිලිවල තියෙන ප‍්‍රශ්නේ මොකක්ද?”
මාත් ඉතිං කරකවලා විසික්කරා වගේ වුනා මේ ඇගිලි කතාව ඇහැව්වාම. 
”එකතමයි බං දැන් තියෙන ප‍්‍රශ්නේ. නැන්දම්මාගේ ඇගිලි දිග අරින්න බැරිවෙලා. දැන් ඉන්නේ අත මිට මොලවාගත්තු ගමන්මයි.”
”අත් දෙකේම?”
”ඔව්. අත් දෙකේම.”
”ඉතිං දොස්තරලා කියන්නේ මොකක්ද?”
”මෙහේ ඉන්න දොස්තරලා, විශේෂඥ දොස්තරලා, මානසික පිස්සු දොස්තරලා ගෙන්නුවා. එත් ලෙඬේ හොයාගන්න බෑ.  දැන් පිට රටින්වත් විශේෂඥ දෙස්තර කෙනෙක්වත් ගෙන්නන්න තමයි වෙන්නේ.”
”මාර වැඩක්නේ? කවදා ඉදලාද බං මේ ලෙඬේ හැදුනේ?”
”හාට් එකේ ලෙඬේ හැදිලා බයිපාස් කරන්න වෙයි කියලා දැන ගත්තු දා ඉදලා තමයි. එදා ඉදන් අතමිට මොලවාගෙන තමයි ඉන්නේ. අපි ඔක්කෝම ෆුල් ට‍්‍රයි කලා එත් බෑ බං දිග ඇරගන්න.”
”ඔය මහලොකු ලෙඩක් නෙමෙයිනේ හාට් ඇටෑක් එකක් තරම්. පිස්සු නැතිව ගෙදර අරන් පලයන්.”
”උඹට පිස්සුද? කොහෝම හරි ඇගිලි දිග ඇරවාගන්න  ඕනේ. නැත්නම් අපි මෙච්චර කරපුවා ඔක්කෝම වතුරේ.”
සිරිකුමාර මහත්තයා ඔළුවට අත්දෙක ගහගෙන උඩ බලාගත්තා. මට මේ මිනිහා කියන අප‍්‍රබංසේ තේරුනේ නෑ. මිනිහා ආයෙත් අහස පොලව ගැටලන්නවාගේ  කල්පනා කරන්න වුනා.
”නැන්දම්මා මැරුනොත් දේපල ලියවා ගන්න බුදල් නඩු කියන්න වෙයි නේද?”
”ඔව් බුදල් නඩු කියලා සහොදර සහෝදරියෝ අතරේ බෙදෙනවා.”
”මට ඔය කථාව අපේ අමරසිරිත් කිව්වා. මැරෙන්න ඉස්සරින් ලියවා ගනිං කියලා. මිනිහා කිව්ව විදිහටවත් කරලා බලන්න  ඕනේ.”
සිරිකුමාර මහත්තයා තනියම කියවන්න ගත්තා. අමරසිරි කියන්නේ අපේ ඔපිසියේ ඉන්න ලෝක අන්ඩපාලයෙක්. ගල්පලං මද කාපු ගොබිලෙක්. මිනිහා ගොඩ පෙරකෙදාරුකම් එහෙමත් කරනවා. ඔය එකා දෙන්නා එනවා දික්කසාද නඩු ඉඩං නඩු ගැන අහගන්න. අනුන්ගේ ඉඩමක් කඩමක් එහෙම තමන්ගේ නමට හොරෙන් ලියවා ගන්නේ කෙහොමද කියලායි නිතරම බලන්නේ. ළඟදිම ලොයර් විභාගෙත් ගන්නවා කියලයි මිනිහා මහා ලොකුවට කියන්නේ. අමරසිරියා ලෝයර් කෙනෙක් වෙලා නඩුවක් කථාකරපු දවසට වැරදිකාරයා වෙලා හිරේ යන්නේ නඩුව අහපු නඩුකාරයා තමයි. එච්චරටම කූටකයා. ඉතිං මේ කූටකයාගෙන් අපේ සිරිකුමාර මහත්තයා ගත්තු ඔපිනියන් එක මොකක්ද කියලා  මමත් දහඅතේ කල්පනා කලා. 
                            ඔන්න ඉතිං ලෙඩ ඇඳේ ඉන්න සිරිකුමාර මහත්තයාගේ නැන්දම්මාව නොබලා ඉන්නත් බෑනේ. අපේ ඔෆිස් එකේ කට්ටිය සෙට්වෙලා ඉස්පිරිතාලේ ගියා. බොස් තමයි නඬේ ගුරාවගේ ඉස්සරායින්ම යන්නේ. අර ප‍්‍රයිවෙට් ඉස්පිරිතාලේ දෙවනි තට්ටුවේ දාසයවෙනි කාමරේට පොඩි තට්ටුවක් එහෙම දාලා අපි සෙට් එකම ඇතුලට කඩාගෙන වැටුනා. හැබැයි සිරිකුමාර මහත්තයා නම් පේන්න හිටියේ නෑ. අනේ අර අසරණ අම්මත් ඇඳේ අතමිට මොලවාගෙන වකුටුවෙලා ඉන්නවා. අපි ලෙඩා බලන්න ගියාට ලෙඩා අපිව අඳුනන්නේ නෑනේ.  නඬේගුරා අපේ බොසා, පැන්නා ඉස්සරාට නැන්දම්මාට කතා කරලා අපිව අඳුන්නලා දෙන්නගියා.
”දැන් අම්මාට කොහොමද? අපි මේ අම්මාගේ බෑනා සිරිකුමාර මහත්තයාගේ ඔෆිස් එකේ .......”
ඉතිරි ටික කියන්න හැදුවා විතරයි අර අසරණ විදිහට ඇඳේ වකුටුවෙලා උන්නු නැන්දම්මා අයිලේ නටපු යකාට මී මැස්සේක් ඇන්නවා වගේ පරල වෙලා කියවන්න පටන් ගත්තතේ නැතැයි.
”කෝ ඔය පාහරයා.  ඕකා මාව විනාස කළා, මාව නැති කළා. මම අසනිප වුනු දවසේ ඉදලා මේ ඇගිලිටික වකුටු කරන් හිටියේ මුං හැමෝම ගෙන් බේරෙන්න. එකෙක් උදේට එනවා. තව එකෙක් දවල්ට එනවා. අනේ දෙයියනේ මම මේ ටිකේම එක පොඞ්ඩක් ඇහැපියවාගත්තේ නෑ. රාත්තියේ ලඟ ඉන්න එපායිත් කිව්වා එත් ඇහැව්වේ නෑ. මුං ඔක්කෝමට  ඕනේ මං මැරෙන්න ඉස්සරින් දේපලට ටිකට විදින්න. අනේ බුදු මහත්තයෝ අර පාහර සිරිකුමාරයා දැන් ටිකකට කලියෙන් ඇවිල්ලා කකුල් දෙකේ මොනවාද ජරාවක් උලලා ගියා. අයියෝ මට මගේ කකුලේ ඇගිලි ටික නවාගන්න බැරිවුනා. දැන් ඉතිං ඔක්කෝම ඉවරයි.”
කුපිත වෙච්චි සිරිකුමාර මහත්තයාගේ නැන්දම්මා පිස්සුවෙන් වාගේ තව මොන මොනවද කියවාගෙන යන්න පටන් ගත්තා. අර අම්මන්ඩිගේ කකුල් දෙකේ යටිපතුල් දෙකම දම්පාට ගැහිලා. ඔපිනියන් දුන්න අපේ ගොඩ පෙරකෙදාරුවා අමරසිරියා කට අතින් වහගෙන හිකි හිකි  ගගා හිනාවෙනවා. ඇගිලි දිග ඇරලා කණ අත්සන ගහගෙන දේපල ටික ලියවා ගන්න බැරි තැන තමයි ගොඩ පෙරකෙදාරුවාගේ ඔපිනියන් එකට නවලා හංගගන්න බැරි කකුලේ ඇගිලි මාක් එක හිස් කොලේකට අරගෙන ගිහිල්ලා තිබුනේ. හැමදාම අතුරුදහන්වෙන සීල් පෑඞ් එකේ අභිරහසත් දැනගෙන නැන්දම්මාගේ මේ ලෝකෙත් නැති අපි කවදාකවත් අහලත් නැති අමු සුද්ද සිංහල ව්‍යාකරණ පාරිභාශික ශබ්දකෝෂයම අහගෙන ඉස්පිරිතාලේ කාමරෙන් එළියට පැන්නා නෙමෙයි එළියට විසික්වුනා. 

13 comments:

  1. ඇත්තනේ යකෝ අරුන් උඹව මරපු නැති ඒකම ඇති ; ඔහොම එවුන් තමයි වැඩිහරියක් ඉන්නෙ

    ReplyDelete
  2. තව චුට්ටෙන් මරනවා තමයි. අපහාස නඩුත් දානවා කිව්වා. අපහාසයයි උපහාසයයි නොදන්නා මීහරක්.

    ReplyDelete
  3. මරු කතාව....සිරාවටම....

    ReplyDelete
  4. හි.. හි.. නියම වැඩේ වෙලා තියෙන්නෙ...

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න