Wednesday, November 30, 2016

මුද්දර ලෝලීන්ට මුද්දර පොලක් “King of Hobbies and Hobby of Kings”


 


 


“King of Hobbies
and Hobby of Kings”


විනෝදාංශයක් විදිහට තැපැල් මුද්දර එකතුකරනා මුද්දරලෝලීන්ට පොඩි ආරංචියක් කියන්නයි  මේ යන්නේ. මේ අවුරුද්දේ තියෙන මුද්දර පොල කොළොම්පුරේ  මහ තැපැල් කාර්්‍යාලයේ මෙවරත් පැවැත්වෙනවා. දෙසම්බර් 2 වෙනිදා ආරම්භවෙන මේ මුද්දරපොලෙන්  මුද්දර මිලදි ගන්නත් පුළුවනි. එදා උදේ 9ට නොදුටු ශ‍්‍රී ලංකා "Unseen Sri Lanka"  නමින් රුපියල් 25 ක සමරු කාන්ඩයේ මුද්දර 12ක් නිකුත්වෙනවා. මේ මුද්දර පොල දෙසැම්බර් 4 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි ආරංචිය. 4 වෙනිදා නත්තල වෙනුවෙන්  නිකුත් කරන නිල සමරු මුද්දරය කොටහේනේ ශාන්ත ලුසියා දෙව් මැදුරේදි නිකුත් කරනවා. ඉතිං වෙලාව පොඩ්ඩක් ඉතුරුකරගත්තා නම් දුවලා පුතාලා සමගින් කොළඹ ඩි. ආර්. විජේවර්ධන මාවතේ තියෙන මහ තැපැල් කාර්්‍යාලය පැත්තේ ගිහිල්ලා මුද්දර ටිකක් බලලා හරි එන්න. මතක තියා ගන්න ඇතුල්විම නොමිලේ. 

 

Sunday, November 20, 2016

ඩියුටිය




අඬක් පිලිස්සුනු මදුරුකොයිල් දඟරයෙන් පිටවෙන සුදු පැහැති සිහින් දුමාරය අහිකුන්ටයකුගේ නලා හඬින් පෙනගොබය පුප්පාගෙන නටන නයෙකු සේ දෙපසට වැනෙමින් ඉහල නගියි. සිකුරිටි කුටිය තුලට හමා ආ සුළං රැල්ලක් නිසාවෙන් මඳකට හැකිලීගිය දුමාරය යළි තම කඳ කෙලින් කරගත්තේය. ටික දුරක් ඉහළ නගුන සිහින් දුමාරය කැරලි නංවාලමින් වාතලයේ අතුරුදහන්වි යන්නට විය. රෑ මැදියමේ දැඩි නිහඬතාවය බිඳහෙලමින් වාතලය කපාගෙන ඉඳහිට දිවෙන රථයක හඬක් මිස වෙනත් කිසිදු හඬක් නොනැගෙන්නේ සියල්ලන්ම නිදිලොවේ පසුවෙන බැවිනි. සිකුරිටි කුටියේ මදුරු දඟරය දෙස බලාසිටි අනුරුද්ධ නොනිදා සිටින්නට කොතරම් උත්සාහ කළද දෙඇස් බරකරමින් නින්ද ඔහුට ළඟාවෙමින් පැවතියේය. කණ ළඟින් සුපුරුදු සංගීත රාවයක් නංවා වටයක් දෙකක් කරකැවුනු මදුරුවෙක් වම් කම්මුල මත වැසීය. අනුරුද්ධටත් නොදැනී ඉහල එසවුනු වම් අතින් ඌව වසාගත්තේ මදුරුවාගේ අවසන් රාත‍්‍රී ආහාර වේල ගැනීමට සැරසෙද්දීය. මෙතෙක් වෙලා අනුරුද්ධව වෙලාගනිමින් සිටි නින්ද කම්මුල හරහා වැදුනු පහරේ සැරකමෙන් මඳකට පසුබෑවේය. අත්ලේ පොඩිවී ගිය මදුරු කුණ දෙසවත් නොබැලූ අනුරුද්ධ ලෑලි බංකුවේ ගැට්ටක එය අතුල්ලා දැමීය. ලෑලි බංකුවේ දිගුවේලාවක් සිටිය නිසාවෙන් හිරිවැටීමට ආසන්න වූ දෙකකුල් දෑතින්ම අතගාගත් ඔහු නැගිට හිරි ඇරගත්තේ මදුරු දශ්ටයකින් පලූ නැග තිබු තට්ටමක් කසමින්ය.
බෙල්ටයේ ගාංචුව බුරුල් කල අනුරුද්ධ බංකුව පසෙක තිබු කලූ පාට ෂොපින් බැගයේවු සරමක් පටලාගෙන උඳේ සිට ඇදන් සිටි කලිසම ගලවා දැමීය. දහඩියෙන් පෙඟී ගොස් තිබූ යටකලිසමද ගලවා පසෙකට කළ හේ බාල නයිලෝන් රෙද්දෙන් මැසු දුඹුරු පැහැ කලිසම දෙවරක් ගසා දමා  බිත්තියේ වූ ඇණයක එල්ලා දැමිය. ලෑලි බංකුව උඩ දෙකට නවා තිබූ කාඞ්බෝඞ් පෙට්ටි පියන හරිහැටි සකසා යළි වාඩිගත් අනුරුද්ධට දින දෙකකට පෙර රෝහල් ගතකළ සෝමපාල අයියාව සිහිපත්විය.

‘‘මේ යන විදිහට මට වැඩිකාලයක් මේ රස්සාව කරන්න බැරිවෙයි මල්ලියේ. ”
‘‘ඇයි සෝමපාල අයියේ?”
‘‘මගේ ප්‍රෙෂර් එක නැගලාලූ.”
‘‘ඒ මොකද?”
‘‘ නිදිමරන්න එපා කියලා ඉස්පිරිතාලේදි දොස්තර මහත්තයා කිව්වා. එත් නයිට් කිරිල්ලක් නැතිව මොන සිකුරිටි රස්සාවල්ද බං? මොන තරම් ප්‍රෙෂර් නැග්ගත් කෙල්ල විභාගේ කරලා ඉවරකරනකං මේ රස්සාව කරන්නම වෙනවා.”
අනුරුද්ධට කුප්පි ලාම්පුවක් අසල තියාගෙන පාඩම් කරන තම පොඩි නංගියාවත් ඒ ඇසිල්ලෙන් සිහියට නැගින.
‘‘මල්ලියේ උඔට පුළුවන්නම් ටික දවසකට නයිට් ෂිප්ට් එක ඇදපන්.”

 නයිට් ෂිප්ට් එක අනුරුද්ධ සමගින් මාරුවුවත් නිදිමැරිල්ලත් සමඟම ශරිරයට ගොඩවු සෝමපාලගේ අසනීප පහව ගියේ නැත. දින දෙකක් තිස්සේ අනුරුද්ධ මෙම සිකුරිටි කුටියේ සිරකරුවෙකු වුයේ ප්‍රෙෂර් වැඩිවී පෙරේදා රාත‍්‍රියේ සෝමපාල අයියා රෝහල් ගත කරන්නට සිදුවීමෙන් පසුවය. නයිට් ෂිප්ට් එකෙන් පසුව අනුරුද්ධගෙන් දිවා වැඩ මුරය භාරගන්නට සෝමපාල අයියා පැමිණියේ නැත. සෝමපාල අයියා වෙනුවට තවකෙක් එවන ලෙසින් තම සිකුරිටි ඒජන්සිය පොරොන්දු වුවත් ඔවුන් කී පරිදි වෙන අයකු ප‍්‍රධාන ගේට්ටුවේ රාජකාරිය භාර ගැනීමට නොආවේය. දුම් නගින මදුරු දඟරය දෙස බලා සිටි අනුරුද්ධගේ දෙනෙත් බර කරමින් යළිත් නිදිමත කඩා හැලෙන්නට විය.

‘‘නැගිටිනවා  ඕයි. නැගිටිනවා”
සිහිනෙන් මෙන් ඇසුනු හඬින් අනුරුද්ධ ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිටියේය.
‘‘අයිසේ ඔහොමද තමුසේ ඩියුටි කරන්නේ? එ් මදිවට තමුසේ සරමකුත් ඇදන්?”
අනුරුද්ධට තමා සරමක් හැඳ සිටන බවක් සිහියට නැගුනේ එවිටය. කිසිවක් කරකියා ගැනීමට නොහැකිව හෙතෙම තම යටිකය දෙසට නෙත් යොමු කළේය.
‘‘තමුසේ මේ බුදියන් ඉන්නේ ගෙදර කියලා හිතලාද? මේක රස්සාවක් කියලා දන්නේ නැද්ද? මම තමුසෙට ඇක්ෂන් එකක් ගන්නවා. මේවා හේනට පනින වල් අලි එලවන්න පැල් රකිනවා වාගේ වැඩ නෙමෙයි. වන්නි හත්පත්තුවේ ඉඳලා ආපු උන් රස්සාවල් ගැන මොනාද දන්නේ. ”

විසිටින් ඔපිසර් නිවුටන්ගේ ගෝරනාඩුවේ ඉතිරි ටික අනුරුද්ධට නොඇසුනේ ඔහුගේ ඉහමොල රත් කරමින් කෝපය ඉහවහා ගිය බැවිනි.

‘‘මේ නිවුටන් සර්,  ඕනෑ ඇක්ෂන් එකක් ගන්නවා හෙට උදේටවත් වෙන එකෙක් මෙහෙට එවලා. දැන් දවස් දෙකක් තිස්සේ මම එකම ඇඳුම ඇදන් රෑ දවල් කියලා බලන්නේ නැතිව මෙතන ලැගගෙන ඉන්නවා. ඒ මදිවට මේකා ගාව කන්නවත් සල්ලි තියෙනවාද කියලා හොයලා බැලූවාද? මම සරමක් ඇදගත්තේ නහයක් තියෙන එකෙකුට මේක ඇදන් ඉන්න බැරි නිසයි.”
කෝපයෙන් පිපිරුනු අනුරුද්ධ ඇණයක එල්ලා තිබු කලිසම ගෙන නිවුටන් දෙසට විසිකළේය. දහඩිය දුගදින් පිරුනු සිකුරිටි කලිසම නිවුටන්ගේ මුහුණේ වැදී ඔහුගේ කරමත රැදුනි. අනුරුද්ධගේ වාග් ප‍්‍රහාරයෙන් කිසිවක් කර කියාගත නොහැකිව පසුබැස්ස ඔහු කලිසම කුණුමාලූ කෑල්ලක් අල්ලන්නාක් මෙන් ඇගිලි තුඩින් අල්ලා බංකුව මතට විසිකළේය.
‘‘හරි හරි තමුසේ කලබල නොවී ඉන්නවා. මම කිව්වේ මේකේ ලොක්කා බැරිවෙලා හරි ආවොත් අපි ඔක්කෝම අමාරුවේ වැටෙන නිසයි. මම හෙට උදේම වෙන කෙනෙක් මේකට එවනවා. දැන් හිටිය එකේ හෙට උදේ වෙනකං පොඞ්ඩක් ඉවසලා ඉන්නවා.”

 අනුරුද්ධගේ කෝපාවිෂ්ට හැසිරිමෙන් බියවූ නිවුටන් ඉක්මනින් සිකුරිටි කූඩුවේ වූ පොතේ අත්සනක් දමා එතැනින් එළියට පැන ගත්තේය. තවත් තම කට වාචාල කමට කියවන්නට ගියහොත් දවස් දෙකක් එක දිගට මෙහි රැඳී සිට කෝපයෙන් පසුවන මේ කොල්ලාගෙන් අනිවාර්යෙන්ම ගුටිකන්නට සිදුවන බව ඔහුට නිරායාසයෙන් අවබෝධ විය. අවුරුදු විස්සක තරුණ ගැටයෙකුගෙන් ගුටිකෑමට තරම් හයියක්වත් මේ රාති‍්‍රයේ තමාව බේරාගැනීමට කිසිවෙක් නොමැති බවත් දන්නා නිවුටන් තම මොටර් සයිකලය ඉක්මනින් පණගන්වා ගත්තේ එතැනින් පිටවිම නුවනට හුරු බැවිනි. කෝපයෙන් වෙවුලමින් සිටි අනුරුද්ධට තම සිහි කල්පනාව ලැබුවේ නිවුටන්ගේ මෝටර් සයිකලය පිටත්ව ගිය පසුවය. දැස් පුරවා තිබු කඳුළු පටලය පිටිඅල්ලෙන් පිසදාගත් ඔහු දැන් වෙන්න තියෙන දෙයක් උනාවේ කියා සිතා ලෑලි බංකුවේ හිඳගෙන දෑස් පියා ගත්තේය. ඇඟට දැනෙන තෙහෙට්ටුවත් සිතේ ඇති වූ කෝපයත් නිසාවෙන් දෙනෙත් පියාගත්තත් නින්ද අහලකවත් නොවීය.
              දෑ අවුරුද්දකට පෙර හේනට යන පාරේදිම බයිසිකලය සමගින් තලා පොඩිකරදැමු අප්පච්චිගේ කේඩෑරි ගැසුණු සිරුර මනසට යළිත් ආවර්ජනය විය. නිවුටන් සර්ගේ වල් අලි කතාවට අනුරුද්ධගේ කෝපය ඇවිස්සුනේ එබැවිනි. තවදුරටත් මෙසේ එක එකාගේ පලිච්චි කතා අසමින් සිකුරිටි රස්සාවක් කරනවාට වඩා වල් අලි සමගින් ඔට්ටුවෙමින් හේන් කෙටිල්ල හොඳ යැයි ඔහුගේ සිතට නැගින. ගෙදර අගහිඟකම් පලවාහරින්නට මහපොළව සමඟින් පොර අල්ලා අතපය කේඩෑරි ගැසුනු අම්මාගේ මලානික මුහුණත් තවමත් නොතේරෙන වයසේ වූ පොඩි මල්ලිත් මෙවර සමාන්‍ය පෙළ විභාගයට සැරසෙන නංගිත් ඔහුට සිහියට නැගින. සල්ලියභාග ඇතිහැකි පවුලක කෙනෙකුවූවා නම් මෙසේ සිකුරිටි කූඩුවක මදුරුවන් තලමින් තව එක මොහොතක්වත් රැඳී නොසිටින්නට ඉඩ තිබුනි. සිතේ ළතැවුල් මැද කඩින් කඩ අනුරුද්ධට නින්ද ගියේය. 
                   පසුදින උදෑසන සිරිත් පරිදි ඩියුටි භාරගැනීමට කිසිවෙකුත් නොවීය. අවසාන රුපියල් දහයෙන් මදුරු දඟරයක් මිලදීගත් බැවින් උදෑසන ආහාරයත් ගන්නට කෙසේ වෙතත් තේ උගුරක් වත් බොන්නටවත් අතේ මුදලක් නොවීය. මදුරු විමානයක් වූ මෙම පැක්ටේරියේ විනාඩියක්වත් හරියට ඇහැපියාගන්නට ඉඩක් නොලැබුන නිසාවෙන් අප‍්‍රානිකත්වයෙන් යුතු තෙහෙට්ටුවක් ගතපුරා දිවයන්නට විය. ඔෆිසීය පිටුපසට වෙන්නටවු තිබු වැසිකිළිය අසල පයිප්යෙන් වතුර පොදක් ගෙන මුහුණට දමාගත් ඇසිල්ලෙන් දෑස් පුරා සියුම් දැවිල්ලක් නංවමින් සිසිල් ජල බිංදු පහලට ගලායන්නට වුනි. වැසිකිලි ගොස් මුහුණකට සෝදාගත් හෙතෙම යළි ගේට්ටුව වෙත පියමැන්නේ නිදිමැරීම නිසා ඉදිමුනු ඇස්වලට වැලි දමා අතුල්ලන්නාක් මෙන් එතුලින් නැගෙන වේදනාවට අත්ලෙන් පිසදමමිනි. මෙතෙක් වේලා මැසිවිලි නගමින් වැසු ගේට්ටුවේ රැඳී සිටි වාහන වල රියදුරෝ අනුරුද්ධට බැනවදිමින් ඇතුලට එන්නට විය.

‘‘කොහේද මෙච්චර වෙලා හිටියේ තව ටිකෙන් පොලීසියෙන් ලියනවා පාර බ්ලොක් කළා කියලා.”
‘‘යන මලදානයක ගේට්ටුව ඇරලා යනවා.”
‘‘කොහේ මකබෑවෙලා හිටියද දන්නේ නෑ මෙච්චර වෙලා.”
‘‘ඩියුටියවත් හරියට කරන්න දන්නේ නෑ, කොහෙන් හොයා ගන්න එවුන්ද මන්දා.”

ඔහුට ඔවුන්ගේ රැවුම් ගෙරවුම් දෙසවන අසලින් පාවී ගියා මිස මනසට නොවැදුනේ ප‍්‍රධාන ගේට්ටුවේ රාජකාරි පවරාගැනීමට කවුරුන් හෝ පැමිණීමේ බලාපොරොත්තුව ඇතිව සිටි හෙයිනි. ටිකෙන් ටික උදෑසන ගෙවීයමින් මධ්‍යහනයට ළංවෙද්දි අනුරුද්ධගේ ඉවසීමද තුහින පොදක් සේ වියලීයන්නට විය. එන්න එන්නම උදරයෙන් නැගෙන බඩගිනි ඇඬියාව වලක්වන්නට මෙගා බෝතලයේ වතුර භාගය එක හුස්මට හිස්කර දැම්මේය. උදරය පුරවාදමමින් නැගඑන බඩගින්න වතුර බීමෙන් මට්ටු කරන්නට හැකි නොවුනි. සිතට නැගෙන කලබලකාරි සිතුවිලි හා තනිවම සටන් කළ හෙතෙම සිකුරිටි කූඩුවෙන් නැගිට කාර්යාලය දෙසට පිය නැගීය. 
වත්සුනු තවරා ගිලිහියන තම තාරුණ්‍ය රැකගන්නට අසාර්ථක උත්සාහයක යෙදී සිටි මැදිවියට ආසන්නවු පිළිගැනීමේ නිලධාරිනිය තමන් කරමින් සිටි වැඩයට බාධා කළ සිකුරිටිකාරයා වෙත නුරුස්සනා බැල්මකින් සංග‍්‍රහ කළාය.

‘‘ටෙක්ලා මිස් මැනේජර් මහත්තයා කාමරේ ඉන්නවාද?”
‘‘ඉන්නවා ඇයි මොකටද?”
‘‘නැ මේ මට පොඞ්ඩක් හම්බවෙන්න.”
‘‘දැන්නම් එයාව මුණගැහෙන්න බැරිවෙයි.”
‘‘ඇයි මිස්?”
‘‘ඔයා ආපු කාරණාව කිව්වානම්.”
‘‘එක මගේ පෞද්ගලික කාරණාවක් මට එයාට කතාකරන්න  ඕනේ.”
‘‘එහෙම එක එක්කෙනා මැනේජර් ළ`ගට යවන්න මට බෑ. ඔයාට අවශ්‍යය කාරණාව කිව්වානම්  මට පුළුවන් යන්න දෙන්න.”

මෙතෙක් සැගවි තිබු අනුරුද්ධගේ කෝපය ක්ෂණිකව පුපුරා ගියේය.

‘‘මේ මිස් මට ඔයත් එක්ක තෙපරබබා ඉන්න විදිහක් නෑ. ඔයා යන්න එපා කිව්වත් මම යනවා.”

කී ඔහු ඇගේ රිසෙප්ෂන් මේසයට පසෙකින්වු දොර හැරගෙන මැනේජර්ගේ කාමරයට පිවිසුනේය.
අනුරුද්ධගේ ආගමනයෙන් තීගැස්සුනු මැනේජර් මහතා තමා බියට පත් වූ බව නොපෙන්වීමට මෙන් ආරූඬ කරගත් හඬකින්.

‘‘ඇයි?”
‘‘මැනේජර් මහත්තයා මම තමයි මේන්ගේට් එකේ සිකුරිටි.”
‘‘ඔව් මම දන්නවා ඉතිං එ් නිසාද තමුසේ කවුරුන්ගෙන් වත් අවසරයක් නැතිව මගේ කාමරයට කඩාබිඳගෙන ආවේ?”
එ් සමඟම කලබලයෙන් මෙන් කාමරයට බියටපත් වෙසක් මවාපාමින් දිව ආ ටෙක්ලා අනුරුද්ධට පසුපසින් සිටගත්තේය.

‘‘ඇයි ටෙක්ලා මෙයාව මගේ කාමරයට එව්වේ? මම කියලා තියෙනවා නේද මට දැනුම් නොදී කවුරුවත් කාමරයට එවන්න එපා කියලා?”
‘‘මම යන්න එපා කිව්වා සර්. මම කියන එක අහන්නේ නැතිවයි මෙයා ආවේ.”
අනුරුද්ධ වචන ගලපාගන්නට ප‍්‍රථම ඈ කීවාය.

‘‘සර් මේ මිස්ගේ වැරුද්දක් නෑ. මමයි ආවේ. අවසර නැතිව ආපු එක වැරුද්දක් වෙන්න ඇති එ්ත් සර්ට කියන්න  ඕනේ එක මේ මිස්ට කියලා වැඩැක් නෑනේ. දැන් අදටත් එක්ක දවස් තුනක් මම මේ සිකුරිටි සුට් එක ඇඳන් රෑ දවල් නොබලා සේවය කරනවා. සර් දන්නවාද අද උදේට කෑම තියා තේ වතුර උගුරක්වත් බිව්වේ නැති බව?”
‘‘වට්?”
‘‘හැමදාම කියන්නේ හෙට උදේට වෙන කෙනෙක් එවන්නම් කියලා. මේ රස්සාව දමලාගහලා යන්න ඉස්සරවෙලා ආවේ නොකියා යන එක හරි නැති හින්දා සර්ට කියලා යන්නයි.”
‘‘අයිසේ මම දන්නේ නැහැනේ. කෝ තමුසෙලාගේ අනෙක් සිකුරිටි ඔපිසර් සෝමපාල?”
‘‘එයා දැන් ඉස්පිරිතාලේ. එයා ඉස්පිරිතාලේ නතර කරපුදා ඉඳලා තමයි මේ ඩියුටිය කරන්න වෙලා තියෙන්නේ. ”
‘‘හරි මම මේ ගැන හොයලා බලන්නම්. කෝ දැන් මේන්ගේට් එක ඇරලා දාලාද ආවේ ? ”
‘‘නැහැ සර් ලොක් කරලා.”
‘‘එහෙනම් දැන් ගේට්ටුව අරිනකම් ආපු වාහන හෝන් කරනවා ඇති. එහෙනම් ආයෙත් එතන ඩියුටියට යනවා.”
‘‘දැන් දවස් දෙකක් තිස්සේ නිදිමරලා හිටගෙන ඉන්න බැරි තරමට තෙහෙට්ටුයි.   ඇගේපතේ පණක් නැතිව මේ විදිහට ඩියුටි කරන්න බෑ සර්. මෙහෙම ගියොත් මටත් වෙන්නේ සෝමපාල අයියා වාගේ ඉස්පිරිතාලේ ඉන්නයි. මම මෙතැනින් අස්වෙලා ගෙදර යනවා සර්.”
‘‘තමුසේ කලබල නොවී තව පැයක් විතර ඉවසලා ඉන්නවාකෝ මම මේක විසදනකම්, එතකම් ගිහින් තමන්ගේ ඩියුටිය කරනවා. දැනටමත් අරහේ ගේට් එක කඩන්න හදනවාද දන්නේ නෑ.”
‘‘නෑ සර්, මම හිත හදාගෙන ඉන්නේ ගෙදර යන්න. කවුරු හරි එහෙන් එවනකං මේ වැඩ පොලේ කවුරුහරි ගේට්ටුවට දාන්න.”
‘‘අයිසේ මම දැන් එක සැරයක් කිව්වානේ මම මේක විසදන්නම් කියලා. තමුසේට  ඕනේ  ඕනේ වෙලාවට රාජකාරි දාලා යන්න බැහැ, හරි දැන් යනවා ඩියුටියට.”
අනුරුද්ධ නොකැමැත්තෙන් වුවත් හිස සලා ප‍්‍රධාන ගේට්ටුවේ සිකුරිටි කූඩුවට පිය නැගීය.
‘‘ටෙක්ලා මේ දැන්ම මට සිකුරිටි සර්විස් එකට කොල් එකක් අරගෙන දෙන්න. එ් ගමන්ම වීරසිරි අතේ අර ළමයාට කන්න මොනවා හරි ටිකකුයි තේ ටිකකුයි අරින්න.”

                 ඉඳි ආප්ප මුල හා ප්ලෙන්ටියෙන් අනුරුද්ධගේ ඇඟට පණක් එන්නට අඬපැයක් පමණ ගතවිය. හෝරාවක් ගතවෙන්නට මත්තෙන් මැනේජර් මහත්තයාගෙන් හොඳහැටි බැනුම් ඇසු විසිටින් ඔපිසර් නිවුටන් ඩියුටි භාරදීමට කෙනෙකුක් නංවාගෙන පැමිණියේ මේ අතරවාරයේදිය.

‘‘තමුසේ හරි මිනිහෙක් තමයි ඇයි  ඕයි මැනේජර්යාට  ඕනේ නැති එවා කියන්න ගියේ? මම කිව්වානේ තමුසෙව රිලිස් කරන්න උදේට කෙනෙක් ගේනවා කියලා.”
‘‘දැන් කොහෙද උදේ? තව පැයකින් දවල් දොලහයි.”
‘‘හරි අයිසේ තාම දවල් වුනේ නැහැනේ.”
‘‘මම එහෙම කිව්වේ නැත්නම් නිවුටන් සර් මෙයාව අරගෙන මේ වේලාවටවත් එයිද? තවත් මට බොරු කරන්න එපා.”
‘‘තමුසෙලාත් පොඞ්ඩක් ඉවසන්න පුරුදුවෙනවා. පොඞ්ඩ බැරිවෙන්න දඟලන්නේ. මම කියලා මොනවා කරන්නද  ඕයි ගෙදර ගිය උන් ඇවිල්ලාත් නෑ. අකුරු දන්න එකෙක් නැතිව වෙන එකෙක්ව මේකේ ගේට්ටුවට දාන්න බැහැනේ. අයිසේ ගුණදාස තමුසේ මෙයාගෙන් ගේට්ටුවේ යතුර භාරගන්නවා. මෙයා හවසට එයි, එ් ආවාම තමුසේ  ඕෆ් වෙනවා. හරිද? අනුරුද්ධ තමුසේ දැන් ගිහින් හවසට වරද්දන්නේ නැතිව නයිට් ඩියුටියට එනවා.”
කී නිවුටන් මොටර් සයිකලයේ නැගි ඉක්මනින් පිටත්වුනි. හීන්දෑරි වියපත් මිනිසෙකු වූ ගුණදාස නිදි මැරීමෙන් තඩිස්සි වූ දැසින් අනුරුද්ධ දෙස බැලීය.

‘‘මල්ලි මොකද වුනේ?”
‘‘මොනා වෙන්නද ඔයාව එක්කන් ආවේ නැත්නම් මම අදත් මෙතන.”
‘‘ඒ කියන්නේ ඔය මල්ලි දිගටම ඩියුටිය ඇද්දාද?”
‘‘නැතිව. අදටත් එක්ක දවස් තුනයි.”
‘‘මමත් මේ ඊයේ උදේ ඩියුටියට ආපුගමන්. නයිට් එකත් කරන්න උනා.”
‘‘කොහේද? ”
‘‘අර බොරලැස්ගමුවේ නිව් ලයින් ගාමන්ට් එකේ.”
කතාබහ අතරතුරේදි ගේට්ටුවේ යතුරත් වාහන අංක ලියු පොත්පත් ආදියත් ගුණදාසට ලබාදුන් අනුරුද්ධ පිටවයාමට පෙර මනේජර් මහත්තයා හමුවිය.
‘‘සර් වෙන කෙනෙක් ආවා. මම  ඕෆ් වෙන්න කියලා.”
‘‘ආ හරි තමුසේ ගිහිල්ලා එනවා.”
‘‘සර් මේ සර් තරහා නැතිව මට කීයක් හරි දෙනවාද? බෝඩිමට යන්න බස් වියදමවත් නෑ.”
අනුරුද්ධ දෙස විමසිලිමත් බැල්මක් හෙලූ මැනේජර් මහත්තයා
‘‘කීයක්ද  ඕනේ?”
‘‘රුපියල් දාහක් විතර.”
‘‘ඇයි අයිසේ දැන් ඉල්ලූවේ බස් වියදම විතරයිනේ? ඇයි දැන් දාහක් ඉල්ලන්නේ. තමුසෙලාගේ සිකුරිටි සර්විස් එකෙන් ඇඞ්වාන්ස් දෙන්නෙ නැද්ද?”
‘‘සල්ලි ගන්න ඔපිස් ගානේ යන්න වෙලා මදි සර්. අද දවල්ට කන්නවත් මා ගාව සල්ලි නෑ. සර්ට පුළුවන්නම් දෙන්න.”
‘‘යනවා යනවා ගිහිල්ලා එකවුන්ට්ස් එකේ කැෂියර් මහත්තයාගෙන් රුපියල් දාහක් ඉල්ලගන්නවා. ඔය සල්ලි පිනට දුන්නා නෙමෙයි. මම තමුසෙලාගේ සර්විස් එකෙන් අඩුකරගන්නවා. ඒක තමුසෙගේ පඩියෙන් කපාගනියි.”
‘‘කමක් නෑ සර්. සර්ට බොහෝම ස්තුතියි.”

               ඉක්මනින් පැක්ටේරියෙන් පිටවු අනුරුද්ධ බසයක නැගී බෝඩිම වෙත ගියේ හොඳින් නාගෙන නිදාගැනීමටය. මඟින් මඟට ඔහුගේ සිතේ විවිධාකාර සිතුවිලි පහළවී පෙරලි කරන්නට විය. සිතුවිලි අරගලයකට මැදි වී සිටි හෙතෙම තම නවාතැන්පොල වෙත ළඟාවෙද්දි තීිරණයකට එළැඹියේ පෙරලිකාර සිතුවිලි වලින් එක් පාර්ශවයකට ජයග‍්‍රහණය අත්කර දෙමිනි. යුනිෆෝමය බාර දී මාසයේ වැඩකළ දින ගණනටවත් පඩි සල්ලි ගැනීමට සිකුරිටි එ්ජන්සියට ගියහොත් අද දින මෙයින් ගැලවී ගෙදරයාමට හැකි නොවන බව ඔහුට අවබෝධ විය. දහඩිය වැකුනු යුනිෆෝමය නවා මේසය මත තැබු එන අතරමගදි ගත් බත් පාර්සලයෙන් බඩකට පුරවාගත් ඔහු තම බෑගයට අනෙක් ඇඳුම් අසුරවා තැබුයේ රෑ   බසයෙන්  ගෙදරයාමටය. බූරු ඇඳේ ඇලවූ අනුරුද්ධ නිදිමත එනතෙක් මකුණුදැල් පිරුණු රටඋළු වහලය දිහා බලාගෙන කල්පනාවක නිරත විය. ඇෙඟ්පතේ තෙහෙට්ටුව විසින් නින්ද පලවාහැරියා සේය. අනුරුද්ධට යළිත් අම්මා හා නංගි මතක් විය.

‘‘උඔ ගෙදර වරෙන් පුතේ. ඔය රට රාජ්ජවල නොකානොබී නිදිමරලා වැඩැක් තියේද උඔට මොනාහරි උනොත්. පිරිමියෙකුට කියලා උන්නේ උඔ විතරයි.”
‘‘අයියා ගෙදර එන්න. මෙච්චර ඉගෙනගත්ත අයියාට ගැලැපෙන්නේ නෑ ඔය සිකුරිටි රස්සාවල්. පහල ගෙදර නැන්දත් පහුගියදාක ආවේලේ සිකුරිටි රස්සාවල් කරන්න ඔච්චර ඉගෙන ගත්තේ මොකටදැයි කිව්වේ ”

             අඬ නින්දේ සිටි ඔහුට තව තවත් විවිධාකාර පුද්ගලයින්ගේ මුහුණු මැවී නොපෙනීයන්නට විය. එ්වා සිහිනයන්ට එකතුකරමින් නින්ද විසින් අනුරුද්ධව වෙලාගත්තේය. තද පිපාසයක් දැනි ඔහු අවදිවන විටත් බිම්කලූවර වැටෙමින් තිබුනි. ඉක්මනින් ඇදපැලදගත් අනුරුද්ධ පසෙක නවා තිබු සිකුරිටි යුනිෆෝමය අතට ගත්තේය. තමා එනතෙක් පාරදිහා නෙත් යොමාගෙන සිටින ගුණදාසගේ තලෙලූ තෙල් වැකුණු මුහුණ සිහියට නැගුනි.

‘‘ඩියුටියට පෙරේද උදේ ආවට පස්සේ රෑ එකත් අදින්න වුනා. ඊට පස්සේ උදේ එකත් අදිනකොට තමයි මාව මෙහෙට ගෙනත් දැම්මේ. තාම මට ගෙදරට කියන්නත් බැරිවුනා අදත් ගෙදර එන්නේ නෑ කියලා. ගෙයි හරියේ උයන පිහින දේවලූත් තිබුනේ නෑ. පොඩිවුන් දෙන්නා දවල්ට මොනවා රත්කරන් කෑවද මන්දා.”
‘‘ඇයි අයියාගේ පවුල නැද්ද?”
‘‘එයාට පිලිකාවක් හැදිලා දැන් ඉන්නේ මහරගම පිලිකා රෝහලේ. ඊයේ හවස බලන්න යන්නයි හිතාගෙන උන්නේ. කමක් නෑ මල්ලි අද හවසටවත් යනවා. අනේ මල්ලි හවසට එනවා නේද?”

අනුරුද්ධ දෙසට බැගෑපත් බැල්මක් හෙලමින් ඉල්ලා සිටිය ගුණදාසගේ වදන් අනුරුද්ධගේ දෙසවන පුරා දෝංකාර දෙන්නට පටන්ගත්තේය.
කරේ එල්ලාගෙන සිටි ඇඳුම් බෑගය මේසය මත තැබු අනුරුද්ධ සිකුරිටි යුනිෆෝමය කලූපැහැති ෂොපින් කවරයේ රුවාගෙන කාමරයෙන් එළියට බැස්සේය.    
   

Monday, November 14, 2016

ඔය කණ නෙමෙයි අනිත් කණ

 

අපේ රටේ ජාතික ක‍්‍රිඩාව වොලිබෝල් වුවත් දැන් ලංකාවේ වොලිබොල් ගහන උන් අඩුය. ගම්පහ ස්ටේෂන් එක ඉදිරිපිට තිබෙන වොලිබොල් ස්මාරකය ගැන දැන් ඉන්නා ගම්පහ කොල්ලෙක් වත් දන්නවාද කියා සිතිම සැක සහිතය. වොලිබොල් ගහන උන්ගේත් රටේත් ජනප‍්‍රියතම ක‍්‍රිඩාව වෙන්නේ ක‍්‍රිකට්ය. මට කි‍්‍රකට් අරහංය. ඒ මං කුඩා දවස්වල අයියා ඇතුලූ සම වයසේ කොලූ නඩය මාව කි‍්‍රකට් ගහන්නට කැදවාගන්නේ නැති නිසාය. වලව්වක් බදුවු සුවිශාල මිදුලක් සහිත අල්ලපු වත්තේ පිහිටි නිවසේ සිටි පෙරේරා ඇන්ටිගේ හා අන්කල්ගේ මුනුපුරන් වු මහේන් හා ජීවක හා එක්ව අයියාගේ සම වයසේ කොල්ලන් හා කි‍්‍රකට් ක‍්‍රිඩාකරන ලද්දේ එ් සුවිශාල මිදුලේදීය. බැට්කරන්නට මිස පන්දු රකිනවා කියන්නේ මහ එපාම කරපු කම්මැලි වැඩක්වු නිසාද පලමු බෝලයෙන් අවුට්වුන විටදි අවුට් එක නොදි රන්ඩුකිරිමෙන්ද අවසානයේ විකට් පොල්ලක් හෝ බැට් එකක් රැගෙන ගෙදරයෑම නැත්නම් ගහකට නැගිම වැනි අසමජ්ජාති ක‍්‍රියාවන් හින්දාද ඔවුන් සෙල්ලම් කිරිමට තියා අම්පයර් කිරිමටවත් කතා කලේවත් නැත. ඉතිං කොහොමද කි‍්‍රකට් වලට කැමති වෙන්නේ? අනුහයේ වර්ල්ඞ් කප් කාලේ අපේ ලංකා කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාවට, ඉන්දියාවට නෙලන බැලිල්ල බලන්න විතරක් රූපාවාහිනියක් ඉදිරිපිට වාඩිගත් මම දැන් කලාන්තරයකින් කි‍්‍රකට් මැච් එකක් බලා නැත. අඩුම තරමේ ලංකා කණ්ඩායමේ නායකයාවත් කවුද කියා අඳුන්නනේවත් නැත. දැන් අල්ලපු වත්තේ සුවිශාල නිවසත් එහි මිදුලත් නැත. එහි තට්ටු පහලොවකින් යුතු මහල් නිවාස සංකීර්නයක් ඉදිවෙමින් තිබෙන්නේ අපේ ගෙදරට හුලං ටිකක් වත් එන්නට තිබු ඉඩකඩත් අහුරාලමින්ය. අල්ලපු ගෙදර ක‍්‍රිකට් ගහපු කාලේ සිදුවු සිද්ධින් ගැන පසුව ලියන්නෙමි.

             මේක ක‍්‍රිකට් ගැන සිදුවිමක් නොවුනත් මෙයට ක‍්‍රිකට්වල සම්බන්ධයක් ඇත්තේය. මේ සිද්ධිය වුනේ මගේ වයස අවුරුදු දාහතර පහලොව ගැටයා කාලේදි විතරය. දවසක්දා අයියා එක්ක ගොරියක් දාගත්තේ එයා බලමින් සිටි ක‍්‍රිකට් මැච් එක තිබෙන චැනල් එක වෙනස් කර වෙනින් චැනල් එකක් දාන්න යාමේදිය. මල හොද එකෙන් පැන්න අයියා දකුණු අතින් කණ හරහා පහරක් එල්ලකලේ බවුන්සර් පන්දුවකට ෂොට්කට් එකක් දමා මිඩිල්ලෙග් හි තර්ඞ් මෑන් අතරින් දෙසැරයක් බිම වැදි ගිය හයේ පහරක් ලෙසිනි. කන හරහා පතිතවුන පාරින් මගේ ඇස් නිලංකාරවි ඔලූව වටා මී මැස්සන් රංචුවක් කැරකෙන්නාක් සේ පෙනෙන්නට විය. ඔළුව වටේ කැරකුණ මී මැස්සන් ටික එකා දෙන්නා කණ ඇතුලට රිංගාගත්තා වාගේය. එ් කියන්නේ ඇතුලෙන් ගුමු ගුමු සද්දයක් එන්නට පටන්ගෙන තිබුණි. කණට ගහපු එක ගැන අම්මාට පැමිණිලි කලත් ඇගෙන් අයියාට ලැබුනේ බැනුම් පමණක් විය. මොන දහදුරා වැඬේ කලත් ඌ හැමදාම අම්මාගෙන් බේරෙන්නේ ලොකු පුතා විම නිසාය. කණ හරහා පාරක් කා සුමානයක් පමණ ගතවි ගියත් කණ ඇතුලට ගිය මී මැස්සන් ටික එළියට ආවේ නැත. මී මැසි සීන් එක මුලින් අම්මාට කියුවෙමි. අම්මා තාත්තාට කියා පසුදාට කලූබෝවිල ඉස්පිරිතාලේ යන්නට ලැස්තිවෙන්නැයි කීවාය. ආණ්ඩුවේ ඉස්පිරිතාලවල් ගානේ ගොස් පොලිම් වල පරිප්පු කන්නට අකමැත්තෙන්ම උනත් කණේ  තියෙන මී මැසි නාදේ අයින් කරගන්නට පාන්දරින් ලෑස්තිවුනිමි. ප‍්‍රයිවේට් ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්නට අපිට ලොකු වත්කමක් තිබුනේද නැත.
             සීයාගෙන් තාත්තාට උරුමවු සුපර්කබ් නයින්ටියේ නැගුන අපි දෙන්නා පාන්දරම අත්තිඩිය පාරෙන් ගොස් කළුබෝවිල ඉස්පිරිතාලෙට ගියෙමු. ඔය සුපර් කබ් නයින්ටිය තාත්තාට සීයා දුන් පසු කිසිදු මෙන්ටේන් එකක් සරිවිස් කිරිල්ලක් තියා අඩුම තරමේ හේදුවේත් නැතිය. කෑලි හැලි හැලී දුව දුවා සිටි සුපර් කබ් නයින්ටිය අවසානයේ අවසන් හුස්ම හෙලා අපේ ගෙදර උඩ තට්ටුවේ රෝද දෙකක් නැතිව කඳ විතරක් පෑසේජයක දිරාපත්වෙමින් ඇත. පාන්දර ගියත්  ඕපිඩි එකේ දිගු පොලිමක් විය. මා ලෑලී බංකුවක ඉදුවා තාත්තා පිටත්වුනේ දොස්තරට කියන්නට  ඕනේ දේවල් දාහක් දේ මට කියාදිමෙන් පසුවය. දැන් කණේ අමාරුව තියෙන්නේ මටද තාත්තාටද කියා සිතා ගන්නට බැරිවුනි. සංගිත පුටු තරගයකට ගියා සේ බංකුවලින් බංකුවලට මාරුවෙමින් ගොස් තුන්ඩුවක් ලියාගෙන  ඕපිඩි වෛද්‍යවරයා හමුවිමි. මගේ ලෙඬේ කියන්නත් කලියෙන් කණට දමන්නට බෙහෙතක් නියම කල ඔහු මේ බෙහෙත පැය හයකට වරක් බිංදු දෙකබැගින් දමා අඩුවක් නැතිනම් පසුදින තියෙන ඊඑන්ටි ක්ලිනික් එකට යොමු කරවා ඇති බැවින් එයට එන ලෙස දැන්විය. බෙහෙත් පෝලිමේද ටික වේලාවක් ගතකර කණට දමනා බෙහෙත් කුප්පියද රැගෙන බසයේ නැග ගෙදර ගියෙමි. 
       
            දහවල් බිංදු දෙක කණට දැම්මාට එතරම් අවුලක් තිබුනේ නැත. ඊළඟ බිංදු දෙක දැමු විට කණ ඇතුලේ සිටි මී මැස්සන් ටික එළියට යන්නට මෙන් දඟලන්නට පටන්ගත්තේය. කණ ඇතුලෙන් එන වේදනාව දරන්නට බැරි තරම් වුණි. බාප්පාගේ දෙවනි දුව දිල්හානි අක්කා නර්ස් කෙනෙකු ලෙස එවකට වැඩ කලේ කළුබෝවිල ඉස්පිරිතාලේය. මා එම බෙහෙත් කුප්පියත් රැගෙන ඇය හමුවෙන්නට ගියෙමි. එ් දිනවල ඇගේ නයිට් ශිෆ්ට් එක වැටි ඇති බැවින්  දිවා කාලයේ නිවසේ සිටියාය. ඈ කීවේ එම බෙහෙත් ටික ඊළඟ පැය හයේදිත් පාවිච්චි කර හෙට උදෙන්ම ඊ එන් ටි ක්ලිනික් එකට එන මෙන්ය. ගෙදරින් කිව්වේද ඈ කිව් දේමය. එහෙත් කවුරු කිව්වත් එම බෙහෙත දැමිමෙන් කණේ සිටින මී මැස්සන්ට පිස්සු හැදෙන බැවින්ද අවසානයේ වේදනාවෙන් පිස්සු හැදෙන්නේ මාහට බැවින්ද ඊළඟ පැය හයෙන් දැමිය යුතු බෙහෙත් බිංදු දෙක මග හැරියෙමි. පසුදා පාන්දරින්ම යළිත් තාත්තාගේ තල්ලූ ස්ටාට් සුපර් කබ් නයින්ටියේ නැග කළුබෝවිල ගියේ මගේ කණට ගැසු අයියාගේ කණ දෙකම පලනවා වැනි අතිශය සාමදාන සංහිදියාත්මකම සිතුවිලි රැසක්ද සමගිනි. 

          කළුබෝවිල රෝහලේ ඉහල මාලයේ තිබු එම ඊඑන්ටී සායනයේ දිගු පොලිමක් එවන විටත් තිබුනි. තාත්තා මා කැදවාගෙන ගොස් පොලිමේ එක් කෙලවරක නවත්වා දිල්හානි අක්කා හමුවන්නට පිටත්විය. පොලිමෙන් කසු කුසුවක් නැග එන්නට වැඩිවේලාවක් ගතවුයේ නැත. බැලින්නම්  මා වාඩිගෙන ඇත්තේ පොලිමේ ඉදිරිපසිනි. තවදුරටත් එලෙස හිටියෙත් අනිත් කණත් පලාගන්නට වෙන සින් එකක් ඇදෙන බව උප විඥාණය පොඩි වොනින් එකක් දෙන්නට විය. එහෙත් එකෙක්වක් මගෙන් අසන්නටවත් එතනින් එලවා දමන්නටවත් හයියක් ඇති කෂේරුකා තියෙන උන් නොවුනේ මාව එතැන ඉන්දවා ගිය මගේ තාත්තා කවුදැයි නොදන්නා නිසාය. බල පුලූවන්කාර කමක් නැති මට අහක යන පොරියෙල් කන්නට  ඕනේ නැති නිසා ඉක්මනින් එතනින් නැගිට පොලිමේ අගිස්සෙන් වාඩිගත්තෙමි. පොලිමේ අවසානයේ මට ඉදිරියෙන් සිටියේ මගේ වයසට මදක් වැඩිකොල්ලෙකි. ඔහු මොරටුවේ පි‍්‍රන්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයේ ඉගෙනගන්නා බව කතා බහට වැටුනු පසුව කීවේය. දිල්හානි අක්කා හමුවන්නට ගොස් ආපසු පැමිණි තාත්තා පෝලිමෙ අනිත් කෙලවරට ගියේ ඇයි දැයි මගෙන් විමසීය. දිල්හානි අක්කා තව ටිකකින් එන බවත් කී තාත්තා පිටත්විමට පෙර යළිත් කණේ අමාරුව ගැන දොස්තරට කියන හැටි ගැන උපදෙස් මාලාව රිපිට් කලේය. තාත්තා ගියපසු මොරටුවේ කොල්ලා සමගින් පොඩි චැට් එකක් දාගෙන සිටිද්දි දිල්හානි අක්කා මා බලන්නට ආවාය. තවම නොම්බරයක් දුන්නේ නැද්දැයි විමසු ඈ එසේ නම් තව ටිකකින් නොම්බර දෙනු ඇතැයි පවසා සායනයේ අයට මා ගැන පවසන්නම් කීවාය. තව ටිකකින් ඩියුටි  ඕෆ් වෙන බව නිසා සායනය පටන් ගන්නා තෙක් රැදෙන්නට නොහැකි බව කී ඈ පිටත්විය. පෝලිමේ සිටින  ඕනේම කෙනෙකුට නොම්බර නිකුත් කරන බැවින් පෝලිමේ සිට නොම්බරයක් ගන්නට නර්ස් කෙනෙකුගේ පිහිටක් අවශ්‍යවන්නේ නැතිය. තාත්තා ගොස් කී නිසා ඇගේ ගැලවිම පිනිස මා බලන්නට ආ දිල්හානි අක්කා බොරු රඟපෑමක් කර පිටත්ව ගිය බව එ් අවස්තාවේදිම මගේ කුඩා ටිකිරි මොළයට තේරුනි.

          එන්න එන්නම පෝලිම දිගුවුයේ කණේ අමාරුකාරයින් උගුරේ අමාරුකාරයින්ගෙනි. සමහරු කණ අල්ලන් කෙදිරිගාති. උදේ පාන්දර ආ නිසා දැන් එන්න එන්නම බඩගින්නත් තිබහත් වැඩිවෙමින් තිබුනි. පෝලිම දමා යන්නටත් බැරිය. උදේ හතහාමාර හෝ අට පසුවෙද්දි සුරුපි වෛද්‍යතුමියක් අප පෝලිම පසුකරන් සායනයට ගියාය. ඇය බැලූවොත් කණේ අමාරුව නිකම්ම හොදවෙන බව මම පි‍්‍රන්ස් ඔෆ් වේල්ස් කොල්ලාට කීවෙමි. ටික වේලාවකින් පප්පා ටයිප් එකේ නාකි ඩොකෙක් අප පසුකරන් ගියේ අමුතුම අන්දමේ වෝක් එකකිනි.

‘‘අර බලපං අර නාකි මැන්ටල් ඩොකා යන හැටි.  ඕකාත් ඊ එන් ටි එකේ ඩොකෙක්ද දන්නේ නෑ?”
‘‘වෙන්න ඇති. අද හෙටම කූරියා ගහන්න විසා ඇවිල්ලා ඉන්න වයසක පොරක්කේ. හැබැයි මචං මැන්ටලේගේ කන් ඇහේනවාද කියලා ඉස්සෙල්ලාම චෙක් කරලා බලන්න  ඕනේ.”

         මොරටුවේ කොල්ලා හා මම මැන්ටලේ ගැන කියමින් තරමක විනෝදයක් ලැබුවෙමු. දොස්තරලා දෙන්නා සායනයට ගියපසු කනේ අමාරුකාරයින්ගේ බොරු අසාධ්‍ය තත්වය වැඩිවිය. අපගේ මානුෂිය ගුණාංගයින් පිරුණු හොඳ හිතේ තිබෙන්නාවු දුර්වලතාවයන්ගෙන් ප‍්‍රයෝජනයට ගෙන පෝලිමෙන් පිට පැන ඉක්මණින් සායනයට රිංගාගන්නට කපටි කෛරාටික ලෙඞ්ඩු කිහිප දෙනෙක්ට හැකිවිය. සැබවින්ම අමාරුව ඇතිවුන් නොසිටියාද නොවේ. සායනය ඇරඹුණි. බංකුවෙන් බංකුවට ඉදිරියට ගිහින් සායනයේ දොර අසළටම යන්නට හැකිවිය. එක ලෙඩෙකු තරුණ වෛද්‍යවරියටද අනෙක් ලෙඩා නාකි මැන්ටල් වෙදා ගාවටද යවන්නට ඇටෙන්ඩන් කටයුතු කරන්න විය. තරුණ දොස්තර තුමිය වෙත යන්නට හැකි වේවායි මම දෙවියන්ට කීවෙමි. අවසානයේ දෙවියන් මගේ මුහුණ ළඟින් ගොස් බැලූවේ පි‍්‍රන්ස්  ඕෆ් වේල්ස් කොල්ලා දිහාය. මට ටිකට් එක ඇඳුනේ මැන්ටල් ඩොකා ළඟට යන්නටය. ස්කින් වලින් වට කෙරු දොස්තරගේ කුඩා කුටියේ දෙපැත්තෙන් ස්ටැන්ඞ් වල සවිකල විදුලි ලාම්පු දෙකක් විය. කනප්පුවක් වැනි කැරකෙන කුඩා බංකුවේ මා වාඩිගත්තේ ගුඞ් මොනිං ඩොක්ටර් කියාගෙන නමුත් බස්සෙකු සේ මා දෙස බලාසිටි ඔහු හුම් සද්දයක්වත් නැගුවේ නැත.

‘‘දැන් සතියකට කලියෙන් අයියා එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා අයියාගේ අතින් පාරක් වැදුණා. දැන් ඩොක්ට කණ ඇතුලෙන් ගුම් ගුම් ගාන සද්දයක් එනවා.”
‘‘දැන් කොච්චර  දවසක්ද?”
‘‘සතියක් විතර.”
‘‘ඇයි ආවේ?”
‘‘කණෙන් සද්දයක් එන හින්දා.”
‘‘මෙච්චර පොඩි දෙයකටත් එන්න  ඕනේ නෑ. කණට බෙහෙත් දැම්මාද?”
‘‘ඔව්. ඊයේ  ඕපිඩි එකෙන් කණට දාන්න ඩොප් එකක් දුන්නා. දැම්මාට පස්සේ කන හොඳටම රිදෙන්න ගත්තා.”
‘‘කෝ මොකක්ද එ් බේත.”
මා ළඟ තිබු බෙහෙත් කුප්පිය ඔහුට පෙන්වුයෙමි.
‘‘කවුද මේක දුන්නේ?”
‘‘ ඕපිඩි දොස්තර.”
‘‘ඇයි දැම්මෙ?”
යකෝ මු අහන්නේ මාර ප‍්‍රශ්නනේ. දැන් අහනවා ඇයි දැම්මේ කියලා. මම දොස්තර වැඬේ දන්නවා නම් පෝලිමේ තැපලා මේ නාකි මැන්ටලේ ළඟට එනවාද?
‘‘ඕපිඩි දොස්තරනේ දාන්න කියලා දුන්නේ.”
‘‘කොච්චර දැම්මාද?”
‘‘පැය හයෙන් හයට බින්දු දෙක ගානේ.”
‘‘මේක දාන්න එපා. දැන් මේක වෙලා කොච්චර කල්ද?”
‘‘දැන් සතියක් විතර.”
‘‘මොකද උනේ?”
‘‘ අයියා එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා අයියාගේ අතින් පාරක් වැදුණා. දැන් ඩොක්ට කණ ඇතුලෙන් ගුම් ගුම් ගාන සද්දයක් එනවා.”
‘‘සතියක්? ඇයි මෙච්චර දවස් ගෙදරට වෙලා හිටියේ? එ් දවස්වලම ඇවිල්ලා බෙහෙත් ගන්න තිබුණානේ. ”

          දැන් මට ටිකක් විතර අංඥකොරෝස් වීගෙන එනවා වගේ දැනෙන්නට විය. මුලින් ආවේ ඇයි කියා ඇසු ඔහු දැන් ආවේ නැත්තේ කියලා අහනවාය. මේ දොස්තරයාගේ මැන්ටලේ පොඞ්ඩක් විතර නොවෙයි හොඳටම අස්පට් කියලා තේරුම් යන්න මේ වචන ටින හොඳටම ඇතිය. දෙපැත්තේ ලයිට් දෙක පත්තු කරගත්තු දොස්තරයා කාචයක් සවිකරගත්තු පොඩි ගජමැටික් එකක් අතට ගත්තා.
‘‘කොයි කණද?”
මම වම් කණ පෙන්නුයෙමි. මා ළඟට ලංවුනු දොස්තරයා අතේ තිබුනු ගජමැටික් එක මගේ දකුණු කණට ඔබලා කාචෙට ඇහැ තියාගත්තා.
‘‘ඩොක්ට ඔය කණ නෙමෙයි අනිත් කණ.”
මා පළමු පාරට දොස්තර මහත්තයාට කීවෙමි. දොස්තර මහත්තයාගෙන් කිසිම හැල හොල්මනක් නැත. මිනිහා කාචෙට ඇහැ තියාගෙන ඉන්නවා පමණි. මම දෙවනි වතාවටත් ගිය සැරේට වඩා හඬ පොඞ්ඩක් වැඩි කරලා
‘‘ඩොක්ට ඔය කණ නෙමෙයි අනිත් කණ.”
කිව්වා. ඔයලා හිතනවාද දොස්තරට ඇහුණා කියලා? පිස්සුද? කවුද දන්නේ මිනිහා බීරෙක්ද කියලා. මිනිහා නෙමෙයි කණකට ගත්තේ. තාමත් අර ගජමැටික් එක කණට ඔබාගෙන එ් පැත්තට මේ පැත්තට හරවා හරවා බලනවා පමණි. මගේ ඉවසීමත් අඩු වේගන යන්නට විය. පනුවෝ කාපු දත තියලා හොඳ දත් ගලවපු, උනට බෙහෙත් ගන්න ආපු එකාගේ අත කපලා දාපු අපේ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල ඉස්තරම් රත්තරන් දොස්තර මහත්තුරු ගැනත් එ් මොහොතේ සිහිවුණා. (හැබැයි යක්කු ගොඩාක් අතරේත් දෙවිවරු ටික දෙනෙක් එහෙම ඉන්නවා.) ඇගේ මයිල් කෙලින් වෙන කේස් එකක් බැවින් බැරි වේලාවත් හොඳ කණට මොනවා හරි බේතක් දමන්නට පුලූවන. එම නිසා මම ටිකක් සද්දේට තුන්වෙනි පාරටත් එයාට සිහි කැදවිමක් කෙරුවා.

‘‘ඩොක්ට ඔය කනේ නෙමෙයි ලෙඬේ තියෙන්නේ අනිත් කනේ.”
‘‘අයිසේ තමුසේ හිතාගෙන ඉන්නේ මගෙත් කණ ඇහෙන්නේ නෑ කියලාද? මුලින්ම බලන්නේ ලෙඬේ තියෙන කණ නෙමෙයි  ඕයි හොඳ කණයි.”

          මල උපරිමයෙන්ම පැනපු දොස්තරයා මට බැනගෙන බැනගෙන ගියා. ඊට පස්සේ ලෙඬේ නැති කණට ගහන් හිටපු අර ගජමැටික් එක එළියට ඇදලා අරන් මී මැස්සෝ රංචුවක් රිංගලා මී වදයක් බැඳන් හිටපු මගේ ලෙඬේ තිබුන කණට හයියෙන් දමලා එබුවා. අපරාදේ කියන්නට බැරිය එ් අවස්ථාවේදිම නාකි මැන්ටල් දොස්තරයාගේ මියපරලොව ගිය මෑණියන් වහන්සේ ඇතුළු හත්මුතු පරම්පරාවේම මෑණියන්ලාට පිංපෙත් පමුණුවන්න සිහිපත්වුනා.

Sunday, November 6, 2016

තනතුරුවලින් ප‍්‍රථමයාවු ඇම්.ජේ.

කවුද මේ ඇම්.ජේ.? මාපටුනගේ ජේමිස් පෙරේරා කවුරුවත් දන්නේ නැතිවුත් ඇම්.ජේ.පෙරේරා කිව්වාම විශේෂයෙන් රාජ්‍ය පරිපාලන සේවයේ යෙදුන පරණ උදවිය නම් දන්නවා කවුද කියලා. මෙයා තමයි අපේ රටේ සංස්කෘතික පුනර්ජීවනයකට ද යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගිමට  පුරෝගාමි වෙච්චි එක චරිතයක්. ලංකා ගුවන් විදුලියේ පළමු ලාංකීය අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයටද පත්වෙන්නේද ශ‍්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාවේ පළමු සභාපතිවරයා වෙන්නේද මෙයා තමයි. එහෙනම් දැන් අඳුනගත්තා නේද? එවා විතරක් නොවෙයි තවත් ගොඩාක් තනතුරුවල පළමුවෙනියා බවට පත්වෙන්නත් මෙතුමාට පුළුවන් වෙලා තියෙනවා.



1914 දෙසැම්බර් 24 වෙනිදා  පාදුක්කේ උඩුමුල්ලේ උපන් මාපටුනගේ ජේමිස් පෙරේරා ඉස්කොලේ ගියේ ගමේ තිබුන රාජාභිෂේක පාසලටයි. පස්සේ කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුලත්වුනා. උසස් අධාපනයට ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාල කොලිජිය ඇතුලත් වුනා. 1936 අවුරුද්දේ කොළඹ විශ්ව විද්‍යාල කොලිජියෙන් එළියට එන්නේ  ප‍්‍රථම පන්ති සාමාර්ථයක් එක්කයි. පාලි - සිංහල -  සංස්කෘත හා ඉංග‍්‍රීසි භාෂාවන් හොඳින් ප‍්‍රගුණ කරපු ඔහුගේ විශ්ව විද්‍යාල ජිවිතය ඉතා වැදගත් තැනක් ගත්තා කියලා කියවෙනවා. 

ගාල්ලේ කච්චේරියට තමයි විශ්ව විද්‍යාලයෙන් පස්සේ ප‍්‍රථම පත්විම ලැබෙන්නේ. එ් 1939 ජනවාරි 10 වෙනිදා. එතැන් පටන් විවිධ ස්ථානවලත් විවිධ ක්ෂේත‍්‍රවලත් කටයුතු කරන්නට ඔහුට ලැබුනා. හැබැයි ඇම්.ජේ. ඉතිහාසගත වෙන්නේ ස්ංස්කෘතික සහ මාධ්‍ය ක්ෂේත‍්‍රයෙට ඉටුකරපු අද්විතිය මෙහෙවර නිසා තමයි. 
1942 දි රත්නා හෙට්ටිආරච්චි මෙනවිය විවාහකරගන්නා ඇම්.ජේ. 1944දි පේරාදෙනිය කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ පරිපාලක නිලධාරියා වශයෙන් පත්වෙලා ගියා. 

ලංකා ගුවන් විදුලිය ක‍්‍රමවත් ලෙසට හැඩගැන්විමට එංගලන්තයේ බිබිසි ගුවන් විදුලි ආයතනයෙන් ජෝන් එන් ලැම්ප්සන් නම් පුද්ගලයෙකු ගෙන්වා ගත්තා. ඔහු තමයි ලංකා ගුවන් විදුලියේ පළමු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වන්නේ. ගුවන් විදුලියේ වැඩසටහන් පිළිබඳව අදහස් දක්වා එවන ලෙසට පුවත් පත් දැන්විමක් දකින ඇම්.ජේ. දිර්ඝ ලිපියක් ගුවන් විදුලියට යවන්නේ ඔහුත් ගුවන් විදුලියේ ශ‍්‍රාවකයෙක් වෙන නිසා. මේ ලිපිය දකින නිලධාරින් එය ගුවන් විදුලිය භාර ඇමතිවරයා වු නටේසන් මහතාට යොමු කරනවා. එම ලිපිය කියවා බැලූ නටේසන් මහතා ඇම්.ජේට ඔයු හමුවන්නට එන්නැයි කියනවා. ඇම්.ජේ සමගින් කතාකල නටේසන් මහතා ඇම්.ජේ ගේ ලිපියේ තිබු කරුණු අගය කරනවා. පසුව නටේසන්  විසින් එම ලිපිය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාවු ලැම්ප්සන් වෙත යවන අතර ඔහු ඇම්.ජේව කැදවා ගෙන දිර්ඝ ලෙසින් ගුවන් විදුලිය ගැන සාකච්ඡුා කරනවා. ඊට ටික දිනකට පසුව ගුවන් විදුලි උපදේශක සභාවේ සභාපති ලෙස  ඇම්.ජේ. පෙරේරා මහතාව ලැම්ප්සන් මහතා විසින් පත්කරනවා. ජෝන් ලැම්ප්සන් මහතාගේ සේවා ගිවිසුමේ කාලය අවසන් වි ආපසු යෑමට පෙර  ඔහු හා සේවය කිරිමට අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරයෙකු  පත්කිරිමට අයඳුම්පත් කැදවු අවස්ථාවේදි ඇම්.ජේත් එයට ඉල්ලූම් කරන්නේ ගුවන් විදුලිය ඇති කැමැත්ත නිසයි.      
ඔහු 1952 අගොස්තු 05 වෙනිදා ඇම්.ජේ. ලංකා ගුවන් විදුලියේ වැඩ බලන අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට පත්වෙනවා. එහි පළමු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වු ජෝන් එන් ලැම්ප්සන් මහතාගෙන් පසුව ලංකා ඉතිහාසයේ ගුවන් විදුලියේ පළමු  ශ‍්‍රී ලාංකීය අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට එතුමා පත්වෙන්නේ 1952 දෙසැම්බර් 19 වෙනිදායි. එම තනතුරේ 1956 අවුරුද්දේ සැප්තැම්බර් 17 වෙනිදා දක්වා අවුරුදු 4ක් ගත කරනවා. එතුමාගේ ධුර කාලයේදි කරපු බොහෝ දේවල් අතරින් එකක් වන්නේ ගුවන් විදුලියේ ගායක ගායිකාවන් වර්ගීකරනයට ලක්කර ඒ අයගේ කුසලතා මත ශ්‍රේනිගත කරන්නට ඇම් ජේ මහතා කටයුතු කිරිම. ඉන්දියාවේ භාත්ඛන්ඩේ සංගීත විශ්ව විදයාලයේ ප‍්‍රධානියාවු පන්ඩිත් රත්න්ජංකර්  ලංකාවට ගෙනවිත් ගායක ගායිකාවන් ශ්‍රේනිගත කෙරේව්වා. මෙතුමා "තරංගනි" නැමති ගුවන් විදුලි සඟරාවක් ආරම්භකලේ එදා ගුවන් විදුලියේ විකාශයවු හරවත් වැඩසටහන් මුද්‍රිත මාධ්‍යයෙන් සංරක්ෂනය කරලා තියාගන්නයි.

1956 දි බලයට පත්වෙච්චි බන්ඩාරනායක රජයෙන් පිහිටුවනු ලැබු සංස්කෘතික දෙපාර්තුමෙන්තුවේ ප‍්‍රථම අධ්‍යක්ෂකවරයා වෙන්නේ ද මේ මහතායි. සාහිත්‍ය උත්සව  කළා මණ්ඩලය  හා අනු මණ්ඩල විධිමත් කිරිමත් එතුමා සිදුකළා. 1957 දි පළමු රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වන්නටත් මුලිකවුනේ ඇම්.ජේ. තමයි. වසරේ හොඳම නවකතාවට "දොන් පේද්‍රික් ත්‍යාගය" පිරිනමන්නට එතුමා කටයුතු කෙරුවා. 



1958 අවුරුද්දේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ශී‍්‍ර ලංකාවේ පළමු ප‍්‍රවෘත්ති බලධාරියා ලෙස පත්වෙනවා. නිකරුනේ ප‍්‍රවෘත්ති කපා කොටා දැමිම එතුමා සිදුකලේ නෑ. ඇම්. ජේ. බුද්ධිමත් ආකාරයෙන් කි‍්‍රයාකල අකාරය බොහෝ දෙනෙකුගේ ප‍්‍රසාදයටත් ප‍්‍රශංසාවටත් ලක්වුනා.   

1981 නොවැම්බර් 16 වෙනිදා ශ‍්‍රීලංකා රූපවාහිනි සංස්ථාවේ ප‍්‍රථම සභාපති විදිහට වැඩ භාරගත්තා. ජපන් රටේ ආධාරයක් ලෙසින් අළුතින් අප රටට හඳුන්වා දෙන රූපවාහිනි නාලිකාව පටන් ගන්න කොට අපේ රටේ තිබුනේ තවත් එක් නාලිකාවක් විතරයි. එ් අපි කවුරුත් දන්නා අයි.ටී.එන් නැත්නම් ස්වාධින රූපවාහිනි සේවය විතරයි. හැබැයි එකෙත් බොහෝ තිබුනේ දේශිය සංස්කෘතියට ගැලැපෙන ලෙසින් සිංහල භාෂාවෙන් නිපදවුන වැඩසටහන් නොවෙයි. හිස් ගොඩනැගිල්ලක් එක්ක වැඩ භාරගත්ත එතුමා රුපවාහිනිය දේශිය මුහුණුවරකින් අපේ සංස්කෘතිය රැකෙන පරදි හරවත් ගුණාත්මක වැඩසටහන් විකාශය කරන්නට මුලික අඩිතාලම දැම්මා. එතුමා රූපවාහිනි  සංස්ථාවේ සභාපති කමින් පසුව රාජ්‍ය පරිපාලන සේවයෙන් විශ‍්‍රාම ගන්නවා. ඔහුකරා ආ දේශපාලන බලවේගවලට නොසැලි සිටිමේ ගුණය නිසා අදටත් මාධ්‍ය ලෝකයේ සම්භාවනාව පත්වෙනවා. ආරම්භක කාලයේදි වුවත් ජාතික රූපවාහිනි සේවයේ ස්වරණමය යුගය තිබුනේ ඇම්.ජේ. පෙරේරා මහතාගේ  සහාපති කාලයේදි කිව්වොත් නිවැරදියි.

ඇම්.ජේ. පෙරේරා මහතා දරන ලද තනතුරු වලින් කොටසක් තමයි මේ 
කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂක,
වාරිමාර්ග දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂක,   
පළමු ලාංකීය අධ්‍යක්ෂක ජනරාල්  ලංකා ගුවන් විදුලිය සංස්ථාව,
ඉඩම් කොමසාරිස්,
කෘෂිකර්ම අමාත්‍යශයේ සහකාර ලේකම්,
ස්වභාෂා කොමසාරිස්,
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තුමෙන්තුමේ පළමු අධ්‍යක්ෂක,
සංස්කෘතික කටයුකු අධ්‍යක්ෂක,
අධ්‍යාපන අමාත්‍යශයේ නිත්‍ය ලේකම්,
උපකුලපති පේරාදෙනිය විශ්ව විද්‍යාලය,
සභාපති ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය,
ආරම්භක සභාපති පොහොර නිෂ්පාදන  සංස්ථාව,
සභාපති පුස්තකාල සේවා මණ්ඩලය,
ආරම්භක සභාපති ජාතික රූපවාහිනි සංස්ථාව,
 රූපවාහිනි සංස්ථාවන් විශ‍්‍රාම ගියපසුව කැලණිය හා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල මණ්ඩල වල සේවය කෙරුවා. 

එතුමා 2002 මාර්තු මාසයේ 14 වෙනිදා අප අතරින් වියෝ වුයේ වයස අවුරුදු  87 ක් ව තිබියදි.