Tuesday, December 20, 2016

මගේ සැන්ටා ක්ලෝස් My Santa Claus

නෙළුම්යාය බ්ලොග් සම්මාන උළේල 2016 - අතීතකාමය තරග අංශයෙන් තෙවන ස්ථානය දිනු  ලිපිය





 











‘‘ක‍්‍රිස්මස් ළඟ එනවා පුතාලා සැන්ටා ක්ලෝස්ට ලෙටර්ස් ලිව්වාද?”  
හවස වැඩ ඇරිලා ගෙදර යනින් ගමන් අපේ ගෙදරටත් ගොඩවුන සීයා මගෙන් ඇහැව්වා.
‘‘නෑ සීයේ තාම නෑ. සැන්ටාගෙන් ඉල්ලන තෑග්ග හිතා ගන්න බෑ.”
‘‘අපෝ හිත හිත ඉන්න බෑ. ඉක්මනට ලෙටර් ටික පොස්ට් එකට දාන්න  ඕනේ. ඉක්මණට ඩිසයිඞ් කරගන්න  ඔයාට  ඕනෑ කරන තෑග්ග ගැන. පරක්කුවුනොත් පොස්ට් එකට දාන ලෙටර් යන්නේ නෑ. දැන්ම ලියලා දෙන්න. යු මස්ට් රයිට් නව්.”
‘‘ඉක්මනට ලියන්න බෑ.”
‘‘එහෙම නම් අයි විල් කම් ටුමාරෝ. හෙට එනවා ලෙටර් එක ලියලා තියන්න. අයියාටත් කියන්න.” 
‘‘හා සීයේ.”
‘‘ගුඞ් නයිට් ගොඞ් බ්ලෙස් යූ.”
කියා මගේ හිස සිඹලා සීයා ගෙදරින් පිටවෙලා ගියා.
ලංකා පොලීසියේ පොලීස් පනිවිඩ හුවමාරු අංශයේ සේවයෙන් විශ‍්‍රාම ගත් අපේ සීයා එ්වන විට රජයේ ප්‍රොජෙක්ට් එකක් සඳහා පැමිණි එංගලන්ත සමාගමක සේවය කෙරුවා. උප්ත්තියෙන් කතෝලිකයෙක් වෙච්චි එයා කිසිම දිනෙක පල්ලියකට නම් ගියේ නෑ. එහෙම තියා බයිබලයක් අතින් අල්ලනවාත් අපි දැකලා තිබුනේ නෑ. කොහොමටත් එයා ළඟ බයිබලයක් තිබුනෙත් නෑ. එයා කිව්වේ හපාකන නපුරු බල්ලන් වගේ තමයි මිනිස්සු. උන්ව බැදලා තියෙන දම්වැල තමයි ආගම කියන්නේ කියළා. 

                     ඔන්න ඉතිං අයියාගේ ඇක්සයිස් පොතකිං පිටුවක් කඩාගෙන ලියුමක් ලියන්න ගත්තා. මොන්ටිසොරි යන කාලේ ලියුම් ලියන්න දන්නවාද? නෑනේ. ඉතිං අම්මාගේ උදව්වෙන් ඇක්සයිස් කොලයේ පැන්සල් කොටයෙන් කැත අකුරු දෙතුන් පාර මක මකා රවුම් කල හැටි මතක්වෙනවා.  හැබැයි ඉතිං වැඬේ හරි ඉන්ටරස්ටින්. මොකද  නත්තලට තෑගි ලැබෙනවානේ. බෞද්ධ අපිට සිංහල අවුරුද්දට වඩා ආසාකරන කාලයක්වුනේ නත්තල තමයි. සිංහල අවුරුද්දට තෑගී ලැබෙන්නේ අළුත් ඇඳුම් කට්ටලයක් විතරයි නේ. මේ ලෝකේ  ඕනේම පුංචි දරුවෙක්ට සෙල්ලම් බඩුවක් ලැබෙනවා කියන්නේ මහමෙරක්වාගෙනේ. 

          මැතිනිගේ ආණ්ඩුවේ අන්තිම කාලේ උපන්න අපි ළමා කාලය ගතකරන්න ලැබුනේ ජේ ආර් පප්පාගේ විවෟත ආර්ථිකේ පටන් ගත්තු අවදියේ තමයි. රජයේ සේවයෙකු වෙච්චි තාත්තාගේ සොච්චම් පඩියෙන් පවුල නඩත්තු කරන්නයි ගෙවල් හදන්නයි තිබුන හින්දාත් දැන් කාලේවාගේ  ඕනේ කෑල්ලක් රුපියල් පනහට සෙල්ලම් බඩු පෙමන්ට් වල වැහිවැහැලා නොතිබුනු හින්දාත් නත්තලට සෙල්ලම් බඩුවක් ලැබෙනවා කියන එක අපිට මාරම සතුටක් වුනා. ඔන්න සීයා ඊලඟ දවසේ ඇවිල්ලා ලියුම සැන්ටා ක්ලෝස්ට තැපැල් කරන්න කියලා අරන්ගියා. ඊට පස්සේ අපේ වැඬේවුනේ නත්තල එනකම් නොවසිල්ලෙන් ඇඟිලි ගැනපු එක. සැන්ටා ක්ලෝස් කියන්නේ කවුද? එයා මොන වගේද?  කියලා අම්මාට තාත්තාට කරදරයක් වෙනකම් ප‍්‍රශ්න ඇහැව්වා. ඉතිං එ්කාලේ අපේ ගෙවල් වල ටිවි තිබුනේ නෑනේ. චැනල් එකකට තිබුනෙත් අයි.ටි.එන් එක විතරයි. එක බලන්නත් ටිවි එකක් තිබුන අපේ නැන්දලාගෙ ගෙදරට යන්න වෙනවා. අනික දැන්වාගේ හැම කඩපිලකම රතුපාට ලෝගුවක් ඇදලා බඩට කොට්ටයක් බැදන් කැත වෙස් මුණකට පුළුන් ටිකක් අලවාගෙන අත වන වනා නටන නත්තල් පප්පලා හිටියෙත් නෑ.   

          ඇ`ගිලි ගැන ගැන මඟ බලාගෙන හිටපු නත්තල අත ළඟටම ආවා. නත්තල් ලබන දවසේ අපේ පාසල් බෑග් හිස්කරලා ඇද විට්ටමේ එල්ලන්න කියළා අම්මාගෙන් උපදෙසකුත් ලැබුනා. එ් සැන්ටාට තෑගි දාලා යන්නට. ඔන්න ඉතිං රෑට නිදාගන්නේම නෑ. සැන්ටා ක්ලෝස්ව බලන්න බලන්න  ඕනේ හින්දා. සමහර නත්තල් දවස්වලට අම්මාගෙන් ගුටියකුත් එහෙම කාලා තියේනවා නිදාගන්නේ නැතිව පිස්සු කෙලකෙල ඉන්න නිසා. එත් ඉතිං අපේ නිදි දෙව්දුව අපිට චාන්ස් එකක් දුන්නේම නෑ. සැන්ටා එන්න ඉස්සරින් කොහොම හරි නින්ද ගිහිල්ලා. පසුවෙන්දාම නැගිටලා බලන්නේ බෑග් එක දිහා. ඉල්ලපු සෙල්ලම් බඩුවට වඩා තෑගී වලින් පිරිලා ගිහිල්ලා. මොන්ටිසොරි බෑග් එකට දාන්න ඉඩ මදි නිසා වෙනින් බෑග් එකකටත් පිටරට ටොෆි, චොකලට්, පුංචි පුංචි සෙල්ලම් බඩු, රතිංඤා, අහස් කූරූ, නිලා පැකට් බමරචක‍්‍ර  සැන්ටා අල්ලගන්න බැරිවුන දුක නැතිවෙලා ගිහිල්ලා. 

                     අපි ටයි මාමා කිව්ව ටයිටස් තොටවත්ත මහත්තයාගේ හදයා පිච්චර් එක බලපු දා ඉදන් මට  ඕනේවුනේ අස්සයෙක්ව තමයි. ඉතිං මම එ් අවුරුද්දේ නත්තලට සැන්ටා ක්ලොස්ගෙන් ඉල්ලූවේ අස්සයෙක්වයි. සැන්ටා ක්ලෝස් මට අස්සයෙක්ව තෑගි දුන්නා. හැබැයි මට අමතකවුනා එයාගෙන් ඉල්ලන්න ඇත්තම පන තියෙන අස්සයෙක්  ඕනේ කියලා. එත් ලැබුනේ නැගලා පදින්න පුළුවන් ලී අස්සයෙක්. පොඞ්ඩක් විතර හිතට දුකක් නම් ආවා. 

                     අපි නත්තල් දවසම ගතකලේ ලැබුනු තෑගීවල උද්දාමයෙන් තමයි. පස්සේ බලද්දි අපිට විතරක් නොවෙයි නත්තල් සීයා තෑගි දිලා තියෙන්නේ නැන්දලා බාප්පලාගේ දරුවන්ටත් අපිට වාගේම සැන්ටා ක්ලෝස් සලකලා තිබුනා. අපි ඉල්ලපු තෑග්ගට වඩා හොඳ තෑග්ගක් වෙන අය ඉල්ලා අරගෙන තියෙනනා දකින කොට පොඩි ඊරිසියාවක් එහෙම නැගුනා. නිවාඩු මාසේ ගෙවිලා ගිහිල්ලා ඉස්කෝලේ යන්නෙත් ලැබුනු නත්තල් තෑගීවල උද්දාමෙන් තමයි. නත්තල් සමරන්නේ නැති, තෑගී ලැබුනේ නැති අපේ පන්තිවල ළමයින්ට මේ අපේ සැන්ටා ක්ලෝස් රෑට ඇවිල්ලා තෑගී දුන්නා කියලා ලොකුවට කීමත් අපිට තිබුන එක වීරකමක්. පස්සේ කාලේක  ඕවා කියන්න ගියාම සමහර ලමයින්ගෙන් ලැබුනේ සමච්චල් කතන්දර තමයි.

                     තවත් ටික කාලයක් යනකොට අපේ පවුල් වලට තවත් කට්ටිය එකතුවුනා. ඒ කියන්නේ තව නංගිලා මල්ලිලා නැන්දලා බාප්පලා  එයාලගේ පවුල් වලට එකතුකරගත්තා. එහෙම ආවා කියලා අපේ සැන්ටා ක්ලෝස් එයාලවත් අපිවත් නොසලකා හැරියේ නෑ. අපේ තෑගීවල කොටස අඩුවුනේත් නෑ. අපිත් ටිකක් විතර ලොකු මහත්වෙද්දි අයියා නම්  කිව්වේ මේ තෑගී දෙන්න රෑට එන්නේ සීයා තමයි කියලා. එත් අතටම අල්ලගන්න නැතිව කොහොමද කියන්නේ සැන්ටා ක්ලෝස් කවුද කියලා. අපි නත්තල් දා රෑට නැගිටලා හිටියත් නිදි දෙව්දුව හැම පාරම අපිව පැරුද්දුවා. හැබැයි මගේ හිතෙත් සීයා ගැන පොඩි සැකයක් එහෙම  ඇතිවෙලා තිබුනේ සැන්ටා ක්ලෝස් එයාගේ යාළුවෙක් කිව්ව එක ගැන නම්. 

            ඔන්න එක පාරටම අපේ සීයා වැඩ කරපු අර එංගලන්ත කොම්පැනිය අපේ රටේ කරගෙන ආපු ප්‍රොජෙක්ට් එක නවත්තලා දාලා ආයෙමත් එයාලගේ රටට ගියා. සීයාගේ රස්සාවත් නැතිවුනා. එයාට කියලා ඉතිරිවුනේ අරසොච්චම් පැන්ෂන් පඩිය විතරයි. එකෙන් ඉතිං හවසට අඩියක් එහෙම ගහලා සීයාත් පොඩි කොල්ලෙක් වාගේ හිටියා. ඔන්න ඒ අවුරුද්දේ අපේ සීයා ලොකු නත්තල් පාටියක් නැන්දලාගේ ගෙදර දැම්මා. සීයා එයාගේ දුවලා පුත්තු මුනුපුරෝ මිනිපිරියෝ වෙච්චි අපිටත් එන්න කිව්වා. මෙච්චර කාලයක් අපි නොදැක්ක අපේ සැන්ටා ක්ලෝස් මොන්ටිසෝරියේදි තෑගි දෙන්න ආපු වේලාවේ දැක්කා වාගේ රතුපාට ලොගුවක් ඇදලා ඇවිල්ලා අපිට තෑගීත් බෙදුවා. සීයා පැත්තකට වෙලා හිනා වෙවි බලාගෙන හිටියා. හැබැයි මේ පාටිය නිසා වෙනදා හම්බුවෙන පිටරට ටොෆි චොකලට් එහෙම වැඩිපුර ලැබුනේ නෑ. රතිංඤා අහස්කූරුත් අඩුවෙලා නම් තිබුනා. හැබැයි එදායින් පස්සේ අපේ සැන්ටා ක්ලෝස් ක්ලොස් වෙලාම ගියා. එයා ආපහු අපිට තෑගී දෙන්න ආවේ නෑ. ඒ ගැන සීයාගෙන් ඇහුවාම එයා කිව්වේ වෙනම කතාවක්. අපි දැන් ලොකු ළමයි නිසා දැන් තෑගි දෙන්න පොඩි ළමයි හොයාගෙන ගිහිල්ලා කිව්වා. එත් ඉතිං බාප්පලාගේ පොඩි මල්ලිලාට නංගිලාට එයා තෑගී දෙන්න ආවෙත් නෑ. පස්සේ දවසක සීයා කිව්වා සැන්ටා ක්ලෝස් තරහාවෙලා වෙන්න ඇතියි කියලා. 

                 ටිකන් ටික අපිටත් සැන්ටා ක්ලොස්ගේ තෑගී අවශ්‍යවුනේ නෑ. අපිත් ඉතිං ලොකු මහත්වෙනකොට පොඩි පොඩි සෙල්ලම් බඩු වලට වඩා ආසාවෙන්නේ ලොකු ලොකු සෙල්ලම් වලටනේ්. සීයාත් ටිකෙන් ටික වියපත්වෙමින් තවත් අවුරුදු කිහිපයක් ගෙවුනා. ඔන්න එක අවුරුද්දක නත්තල් මාසේ ළංවලා දවසක් අපේ ගෙවල් පැත්තේ ආපු සීයා අයියාව හෙව්වා. ඒ වෙනකොට අයියා එ ලෙවල් විභාගේ කරලා ඉවර වෙච්චි ගමන් වාගේ රස්සාවකට යනවා. එදා අයියා ගෙදර හිටියේ නෑ. මම දන්නවා සීයා මොකටද අයියා හොයාගෙන එන්නේ කියලා. හවසට පොඩි අඩියක් එහෙම ගහන්න සල්ලි අතමාරුවක් එහෙම කරගන්න එයා අයියාව හොයනවා. එ් එයාගේ පැන්ෂන් එක ඉවරවෙලා තිබුනොත් තමයි. 
‘‘කෝ පුතේ අයියා?” 
‘‘අයියා ගෙදර නෑ සීයේ. ඇයි?”
‘‘පුතේ කුඞ් යු ගිව් මි ෆිෆ්ටි රුපීස්. අයි කැන් ගිව් යු නෙකස් මන්ත් වෙන් අයි ටෙක් පැන්ෂන්.” 
‘‘අයියෝ සීයේ මං ළඟ සල්ලි නෑනේ.” 
‘‘වට කැන් ඩු නව්. පුතා අම්මාගෙන් වත් ඉල්ලගන්න බැරිද?”

මම දන්නවා සීයා අම්මාගෙන් සල්ලි ඉල්ලන්න යන්න නෑ. එයා මේ සල්ලි අරන් බොන විත්තිය දන්න නිසා අම්මා එයාට බොන්න නම් සල්ලි දෙන්න කැමති නෑ. එකයි සීයා මගෙන් ඇහැව්වේ.
‘‘ඉන්න සීයේ මම බලන්නම්.” 
අම්මාගේ සල්ලි වගයක් තිබ්බ තැනකින් රුපියල් තිහක් හොයාගත්තු මම සීයාට දුන්නා. 
‘‘තර්ටි මදි පුතා. එනිවේ කමක් නෑ. වට්ටු ඩු නොට්ටු කලට.” 
එයා මගෙන් රුපියල් තිහ ගත්තා. 
‘‘ආ සීයේ නත්තලූත් ළඟයි නේද? කෝ එ් කාලේ අපිට තෑගී දුන්න සීයාගේ යාළු සැන්ටා ක්ලෝස්?”
සීයාගේ බොරපාට ගැන්වුනු ඇස්වලට ආ කඳුළු මටට නොපෙනෙන්න සඟවාගෙන මං දුන්න රුපියල් තිහත් අරන් ගෙදරින් එළියට බැස්සේ බිඳුනු කටහඬින් මට මෙහෙම කියාගෙනයි. 
‘‘පුතාලගේ සැන්ටා ක්ලෝස් බංකොලොත් වුනා පුතේ.”



ප.ලි. 
රස්සාවක් කරන කාලෙක අපේ නත්තල් සීයාට හොඳ නත්තල් තෑග්ගක් දෙන්න හිතාගත්තත් මම ලොකු මහත්වෙලා රස්සාවක් කරන කාලේ වෙනකොට සීයා සවර්ගස්ථ වෙලා කාලයක් ගෙවිලා ගිහිල්ලා.එත් අදටත් හැම අවුරුද්දකම නත්තල් දවසකටම  ආර්. ඒ. ෆ‍්‍රැන්සිස් පෙරේරා නම්වු මගේ සැන්ටා ක්ලෝස් ව සිහිපත් වෙනවා. ඒ සැම වෙලාවකටම දෙසවනට දෝංකාර දී ඇහෙන්නේ 
‘‘පුතාලගේ සැන්ටා ක්ලෝස් බංකොලොත්වුනා පුතේ.” 
සීයාගේ වචන ටිකයි.  

Tuesday, December 13, 2016

හල්ෆ්ට් ගේ ගමේ පරණ නොවන අළුත් කඬේ.

හල්ෆ්ට් ගේ ගම? එහෙම ගමක් කොළොම්පුරේ තියෙනවාද? උත්තරේ ඔව්. ලිපිය කියෙව්වොත් නම් ඔයාලා කියයි අපි දන්නවා කියලා. හල්ෆ්ට් ගේ ගමේ ඇවිදලා එන්න නම් පුළුවන් එත් එහේ තියෙන විශේෂ ගොඩනැගිල්ලට යන්න හිතන්න එපා. එ් මොකද දන්නවාද අපේ රටේ නීතිය පසිදලන ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවලා තියෙන්නේ එ්කේ නිසයි. නිකං කවුරුත් උසාවියන්නේ යන්නේ නෑනේ නඩුවක් නැතිව. ඉතිං මොකටද නඩු පටලවාගන්නේ. 
              

             
ජෙරාඩ් හල්ෆ්ට් (Jeraid Hulft) කියන්නේ 1655 අවුරුද්දේ කොළඹ කොටුව පෘතුගීසින්ගෙන් අල්ලා ගන්න ආ ලන්දේසින්ගේ  යුධ අද්මිරාල්වරයෙක්. කොළඹ කොටුව හොදින් පෙනෙන මුහුදු මට්ටමෙන් අඩි 40 ක් උස සන්ත බස්තියමේ කන්දේ පෘතුගීසින්  "ලේඩි ඔෆ් ලයිෆ්" (Lady of Life) නමින් හැදින්වු තැනක් තොරාගත්තු මේ ජෙනරල් හල්ෆ්ට් එයාගේ රැකවල් මධ්‍යස්ථානය පිහිටුවා ගන්නවා.පෘතුගීසින්  ලේඩි ඔෆ් ලයිෆ් නමින් නම් කරපු මේ ප‍්‍රදේශය ලන්දේසින් විසින් ”හල්ෆ්ට් ඩොෆ්” (Hulfts Dorp) නමින් නම්  කරගන්නවා. ලන්දේසි භාෂාවෙන් " ඩොෆ් " කියන්නේ ”ග‍්‍රාමය” කියන නමයි. මේ හල්ෆ්ට් ගමේ ගොඩනැගිලි හදපු ලන්දේසින්ට පෘතුගීසින්ගෙන් ආක‍්‍රමණවලට මුහුණ දෙන්නට සිදුවුනා. කොළඔ කොටුවට පහරදි අල්ලා ගන්න ගිය අවස්ථාවකදි මේ ජෙරාඩ් හල්ෆ්ට් මිය යනවා. මේ හල්ෆ්ට්ගේ ආණ්ඩුකාර නිවස පසුකාලිනව ෆ්‍රෙඞ්රික් නොර්ත්  සහ තොමස් මේට්ලන්ඞ් ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරන්ද පාවිච්චියට අරගන්නවා.
    
                                           කොළාම්පුරේ උසාවි සංකිර්ණය පිහිටලා තියෙන්නේ හල්ෆ්ට් ඩොෆ් වල. අළුත් කඬේ කියන්නේ මේ හල්ෆ්ට් ඩොෆ් පැත්තට කියන තවත් නමක්. මේ උසාවිය හල්ෆ්ට් ඩොෆ්වලට ගෙනාපු සිද්ධියක් ලොකු විස්තරයක්. එ් කාලේ කොළඹ කොටුවේ ගොර්ඩන් උද්‍යානය අසළ ගොඩනැගිල්ලක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවලා තිබුනේ. අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය 1801 අවුරුද්දේ අධිකාරි පත‍්‍රයක් මගින් ස්ථාපනය කළා කියනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වුනේ පළමු අගවිනිසුරුවරයා වු කොඞ්රිංටන් එඞ්මුන්ඞ් කැරිංටන් සාමිවරයාගේ (Sir Codrington Edmund Carrington) ප‍්‍රධානත්වයෙන්. මේ ශ්‍රේෂ්ඨාධිකරණය පලමුවෙන්ම පිහිටුවලා තිබුන ගොඩනැගිල්ල අදටත් බලාගන්න පුළුවනි. එ්ක තමයි කොටුවේ පොලිස් මුලස්ථානය අසල පිහිටා තියෙන ශාන්ත පිතර දෙව්මැදුර( St. Peters Church)
                              
ශාන්ත පිතර දෙව්මැදුර( St. Peters Church)
                     

                    කොටුවේ යුධ දෙපාර්තමෙන්තුවේ අසල තිබු ගොර්ඩන් උද්‍යානය (Gorden Garden) යුධාභ්‍යාස භූමිය ලෙසින් පාවිච්චි කෙරෙව්වා. එ්වාගේම මේ අසල තිබු උසාවියෙන් දෙන සමහර දඬුවම් කි‍්‍රයාත්මක කලේත් මේ ගොර්ඩන් උද්‍යානයේදි තමයි. තමන්ගේ භූමිය උසාවිය ප‍්‍රයෝජනයට ගන්න එකට හමුදාවේ අය කිසිම කැමැත්තක් දැක්වුයේ නෑ. ඔන්න 1804 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දවසක වරදකාරයෙක් වුනු ආරුමුගම් නැමැත්තාට කස පහරදිමට තීන්දුවුනා. මේ වැඬේට ගිය පිස්කල් නිලධාරියෙක් හමුදාභටයෙක් විසින් අත්අඩංගුවට ගත්තා. පසුදාම කැප්ටන් ඇලෙක්සැන්ඩර් බැරි විසින් කොළඹ පිස්කල් නිලධාරියාට ලිපියක් යවලා කිව්වා යුධඅභ්‍යාස භූමියේ මිනිස්සුන්ට ශාරීරික වද දිම නැවැත්විමට හමුදා අණ දෙන නිලධාරි තීරණය කල බව. උසාවියේ පිස්කල් නිලධාරියා මේ බව අගවිනිසුරුවරයාට දැන්වුවා. අගවිනිසුරුවරයා ඉදිරියේ පෙනි සිටින්නට කැප්ටන් ඇලෙක්සැන්ඩර් බැරිට නියෝගයක් යැව්වා. නියෝගය ලැබුන ඔහු උසාවියට පැමිණියා. තමන් කලේ හමුදා අණදෙන නිලධාරි කර්නල් චාල්ස් බේලිගේ අණ පරිදි බව කීව නිසා හමුදා අණ දෙන නිලධාරියාද උසාවියට කැදවන්නට සිද්දවුනා. 


ගොර්ඩන් උද්‍යානය (Gorden Garden)                                           
                  තමන්ගේ යුද්ධාභ්‍යාස භූමියට ඇතුල් වන දොරටු වසා තබන්නට හා යුධ සෙබෙලෙක්ට හැර වෙන අයට ඇතුල් විමට ඉඩ නොදෙන ලෙසින් තමන් නියෝග කල බවත් පිළිගත් හමුදා අණදෙන නිලධාරි කර්නල් චාල්ස් බේලි ඔහු උසාවියේ ඉල්ලිමට එම නියෝගය අයින් කරගන්නට කැමතිවුනේ නෑ. එ් හින්දා උසාවිෙයෙන් කර්නල් චාල්ස් බේලිව හය මාසයකට ඇඟ බදින්නට තිරණය කළා. පසුදින මේ තිරණයට අත්සන් කරන්නට පෙර ආණ්ඩුකාරවරයා විසින් කැප්ටන් ඇලෙක්සැන්ඩර් බැරි නිකුත් කළ නියෝගය අවලංගු කෙරේව්වා. 1804 සැප්තැම්බර් 19 වෙනිදා ප‍්‍රකාශයක් නිකුත් කල ආණ්ඩුකාරවරයා මුරට සිටි හමුදාව ඉවත් කලත් යුද්ධාභ්‍යාස භූමිය තුල හමුදාවට හැරෙන්නට උසාවියෙන් නියම කරන ශාරීරික දඬුවම් කරන්නට තහනම් කළා. ඒවාගේම හමුදාවේ අණදෙන නිලධාරිගේ ලිඛිත අවසරයක් නැතිව කිසිම කෙනෙකුට උද්‍යානයට ඇතුල්වෙන්නටත් තහනම් කළා. මේ ගැන නඩුකාරයින්ගේ සතුටක් තිබුනේ නෑ. මොකද උසාවිය නීති විරෝධි ලෙසින් සැලකු දෙයක් කි‍්‍රයාත්මක කරන්නට හමුදාවට අවසර ලැබිමයි.

                         එ් මාසේම තවත් උදේ වරුවක හමුදා අණදෙන නිලධාරි තැන නියෝගයක් කළා. එ් කොටුව පැත්තට යන එන එක වැලැක්විමට හා මුරකපොලූ වසා දමන්නටත්ය. කොල්ලූපිටියේ සිටි අගවිනිසුරුවරයාට උසාවියට එන්න පුළුවන් වුනාට මරදානේ සිටි නඩුකාරවරයාටත් පිටකොටුවේ පදිංචිව සිටින උසාවියේ අයෙකුත් නිලධාරින්ටත් එන්නට බැරිවුනා. අගවිනිසුරුවරයා අසුනට ඇවිල්ලා බලාගෙන හිටියේ උසාවියේ කටයුතු ආරම්භකරන්නට විනිශ්චයකාරතුමා එනතුරුයි. රෙජිස්ට‍්‍රාර් රෝස් මහතා ඉතා අසීරුවෙන් ආණ්ඩුකාරවරයා හමුවට ගොස් ඔහුගේ මැදිහත්විමෙන්  මුරකපොලූ දොරටු ඇරගත්තා. එ්වන විටත් දහවල් වෙලා තිබුනා. 
උසාවියට ගෙන්වු කර්නල් බේලි විසින් එම නියෝගයේ වගකීම ජනරාල් වෙබ්ස් වෙත පැවරුවා. ජනරාල් වෙබ්ස් උසාවියට කැදවන්නට ආඥවක් නිකුත් කල නිසා විසාල හමුදාභටයින් රැසක් පිරිවාරගෙන ඔහු උසාවියට ආවා. උසාවිය ඉදිරිපිටයි යුද්ධාභ්‍යාස භූමිය තුලයි ජනරාල් වෙබ්ස් එක්ක ආපු හමුදාව නිසා පිරිලා ගියා. මේ හමුදාභටයන්ගේ ඝෝෂාව නිසා උසාවිය කරගෙන යන්නට බැරි තත්වයකට පත්වෙලා තිබුනා. උසාවිභූමිය ඇතුලත අවි ආයුධ ඇතිව සිටිම තහනම් නිසා ජනරාල්වරයාගේ ඉල්ලීම පරිදි ඔවුන් ඉවත්වුනා. 
කොටුව ඇතුලූ ප‍්‍රදේශවලට යන්නට තිබු මුරකපොලූ වසා දැමීම ගැන උසාවියෙන් ජනරාල්වරයාගෙන් කරුණු විමසුවත් ඔහු දුන්න පිළිතුරු ගැන උසාවිය සෑහීමකට පත්වෙන්නට බැරි බව කියා අවුරුද්දකට ජනරාල් වෙබ්ස්ගේ ඇඟ බදින්න නියෝග කළා. මේ නියෝග කඩකරන්නේ නම් ඔහු අත්අඩංගුවට පත් කිරිමට පිස්කල්වරයාට උසාවියෙන් ආඥවකුත් නිකුත්කළා.  

                                         ”බටහිර ඉන්දීය දූපත්වලින් කාපිරි හමුදාවක් මෙරටට ගෙන එන්නට අදහස්කරගෙන සිටිනවා. මේ කාපිරි අපේ රටේ අයගේ සිතුම් පැතුම් ගතිපැවතුම් වලට පුරුදු නැති නිසා බැවින් ඔවුන්ගේ විනය තකාම කොළඹ කොටුවේ පදිංචි කරන්නට අදහස්කරගෙන ඉන්නවා. එ් නිසා හැකි ඉක්මනින් ඔබලා පදිංචිව සිටින කොටුවේ ගොඩනැගිල්ල අතහැර භාරදෙන්නයි ඉල්ලාසිටිමි.” කියා මේ සිදුවිමෙන් දවස් දෙකකට පස්සේ ආණ්ඩුකාර ෆ්‍රෙඩිරික් නොර්ත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට ලිපියක් යැව්වා.
එත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකාරවරුන් මේකට කැමැත්තක් දැක්වුයේම නෑ. එයාලත් ආණ්ඩුකාරවරයාට දිග ලියුමක් ලියලා ඇරියා. යුධ හමුදාවේ අහංකාර ගති හා උසාවියට අගෞරව කිරිම වැනි නීතිවිරෝධි වැඩ වැලැක්විම නිසා මේ පියවරයන් ගෙන ඇති බව දැන්වුවා.  1804 ඔක්තෝබර් 2වෙනිදා ආපහු ලිපියක් ලියලා යැව්ව ෆ්‍රෙඩිරික් නොර්ත් ආණ්ඩුකාරවරයා තමන් කලින් පදිංචිව සිටි ඉඩ පහසුකම් ඇති විශාල භූමියත් බර්ටොලැයි මහත්මයාගේ විශාල ගොඩනැගිල්ලත් මිලදිගෙන ඇති බැවින් මේ උසාවිය පිහිටි ස්ථාන වෙනස්විම උසාවියේ ගෞරවයට හානියක් නොවන බවත් දැන්වුවා.

  

ඔහොම තමයි ෆ්‍රෙඩික් නොර්ත් ආණ්ඩුකාරවරයා කොටුවේ තිබුන රජගෙදරට පදිංචියට ඇවිල්ලා ඔහු සිටිය හල්ෆ්ට් ඩොෆ් හි ආණ්ඩුකාර නිල නිවස ශ්‍රේෂ්ඨාධිකරනය පවත්වාගෙන යන්නට පවරාදුන්නේ. එදා ඉදන් අද වෙනතුරුත් හල්ෆ්ට්ගේ ගමේ තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය පවත්වාගෙන යන්නේ. තුන් මහලකින් යුක්තවු අධිකරණ පුස්තකාලය හා නිතිඥ සංගම් ගොඩනැගිල්ල 1958 අවුරුද්දේ අධිකරණ ඇමති ෆිලික්ස් ඩයස් බන්ඩාරණායක මහතා විසින් විවෘත කළා. ඊට පස්සේ ඉඩ පහසුකම් ඇතිව අළුත් ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණ ගොඩනැගිල්ලක් හැදුවා. එ්ක 1988 සැප්තැම්බර්  මාසේ 17 වෙනිදා එවකට හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා හා අගවිනිසුරු පාරින්ද රණසිංහ මහතා විසින් විවෘත කළා. ඔන්න ඔහොම තමයි කොළඹ කොටුවේ තිබුන ශ්‍රේෂ්ඨාධිකරණ උසාවිය හල්ෆ්ට් ඩොෆ් නැත්නම් අළුත්කඬේ ප‍්‍රදේශයට ආවේ. 


ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණ ගොඩනැගිල්ල