Saturday, July 22, 2017

කාලයේ වෙනසක අරුමය


කොළොම්පුරේ වෙනස්වෙමින් යනවා. මේ
ඡායාරූපය බලද්දි පේනවා නේද කොළොම්පුරේ අහස්කුසත් මහ සයුරත් ආක‍්‍රමණය කරමින්  ඉදිවෙමින් පවතින සුවිශාල ගොඩනැගිලිත් පෝට් සිටි නගරයත් දැවැන්ත කොළොම්පුරය විශාල වෙනස්කමකට ලක් කරනවා කියලා.





 




දැන් බලන්න මේ ඡායාරූපය දිහා. මොකක්ද හිතෙන්නේ? 


 


පැරණි පාර්ලිමෙන්තුවේ ඉදිරියේ තියෙන්නේ මහාමාන්‍ය ඩි. එස්  සේනානායක මහතාගේ පිලිරුවත් තව පිලිරුවකුත් විතරයි. හැබැයි දැන් නම් එතැන පිලිරූ ගොඩාක් එකතුවෙලා. තව එකක් කලුපාට ඉටිකොලවලින් වෙලිලා ඉන්නවා හෙට අනිද්දාට එයාව විවෘත කරනතෙක්. පාර මැදින් තිබුන  විදුලි පහන් කණු ගැලවිලා ගියාට ගාලුපාරනම් විශාල වෙනස්කමකට ලක්වෙලා නම් නෑ වාගේ. කලේකදි ගොල්ෆේස් පිටිටනියේ තල්ගස් පෙලක් එහෙම එකතුවුනා. ඊට පස්සේ තල් ගස් අස්සට පොල් ගස් එකතුවුනා. අන්තිමේදි  තල්ගස් ටික  කැපිලා වැටිලා පොල් ගස් විතරක් ඉතිරිවුනා. මොනවා නැතිවෙලා අළුතින් ඒවා එකතුවුනත් සරතස නිවාගන්නත් එක්ක හිරු සාගර තලයේ ගිලිලා යනවා බැදුපු මඤ්ඤොක්කා කෑල්ලක් හප හප බලා ඉන්න ගොල්ෆේස් පිට්ටනිය විතරක් වත් ඉතිරිවුනොත් ඇති.
මේ ඡායාරූප බලලා ඔයාලටත් මොනවාද හිතෙන්නේ?

Sunday, July 9, 2017

පාලක කුණු කදු




 


විදිමින් සුඛවිහරණ
    ජරාජීර්න වු සමාජයක්
           පාලනයකරන
      කුණුගොඩක්
  ඔජස් ගලන පංචස්කන්ධයෙන්
            වපුරමින් කුණු

දෙසයි වලකන සැටි
   ගොඩගැසුනු

           කුණු කදු      
 උන්ම වැපිරූ 

Monday, July 3, 2017

කොළොම්පුරේට අවුරුද්දයි.


 

සියවස් කිහිපයක් පැරණි නගරයක් වුනු කොළොම්පුරේට අවුරුද්දයි? වෙන්න බැරිවැඩක් ? වෙන්න බෑ තමයි එත් වන්ඇන්ඩ් ඔන්ලි කොළොම්පුරේ බ්ලොග් එකට නම් අවුරුද්ද සපිරුනා. වැඩේ කියන්නේ මටත් උපන්දිනේ අමතකවුනා නේ.  අවුරුද්දක් ගතවෙනවා කියන්නේ මොනතරම් දේවල් සිද්දවෙලා ඇද්ද? මේ ගෙවුනු අවුරුද්දේ කොළොම්පුරේ නෙළුම්යායෙන් සම්මාන දෙකකින් පුදනු ලැබුවා. ඉතිං සතුටු නැද්ද? ඒවාගෙම අටෝරාෂියක් බ්ලොග්කරුවන් කාරිනියන් අදුනාගන්නත් ලැබුනා. ඉතිං කොළොම්පුරේට ගොඩවැදුනු විචාරක මහතාලා අටංපහුරේ අටංලා ප‍්‍රජේලා අජිත් ධර්මලා කන්ඩලා මෙන්ඩලා  බන්ඩලා දුමිලා මිතිලලා රොමාන්තික රස්තියාදුකාරයෝ තුශානිලා ඉයන්ලා ඉවාන්ලා රුවන්ලා අරුනලා කාර් පිස්සෝ දෙමළ නයන්නේ Praසන්னයා සුදු පුසෝ අරුලා ටිලාන්ලා හිලාකතේ කමියලා සොදුරු සදවතිලා එකී මෙකී නොකී බ්ලොග් බලන කොමන්ටුවක් කොටන නොකොටන අය කොළොම්පුරේට ශක්තියක් වුනා. කොළොම්පුරේට අතහිත දුන් ඒ ඔක්කෝටමත්  කලාවට ලැදි මගේ බොස්ටත් පොඩි බොස්ටත් ස්තූතියි.
එහෙනම් සයිබර් කෙක් කෑල්ලක් කාලා හිටිමු.   





Saturday, June 24, 2017

කොට උඩ යෑම


මචං ඒ වැඩේ කොට උඩ ගියානේ.
කලකට පස්සේ හමුවුන මගේ මිත‍්‍රයෙක්ගේ ව්‍යාපාරය ගැන ඇහැව්ව වෙලාවේ ඔහුගෙන් මුවින් නික්මුන වචන කිහිපය තමයි ඒ. කොට උඩ යෑම කියන්නේ තමන් කරගෙන හිටිය ක‍්‍රියාවක් හෝ දෙයක්  නොසිතු පරිදි සිදුවු බාදාවක් නිසා නවතාලන්නට සිදුවිම වැනි දෙයක් තමයි. ව්‍යවහාරෙට එහෙම කිව්වාට කොට උඩයන්නේ වාහනයි. බොහොමයක් ගරාජ්වල කොට උඩ තියෙලා තියෙන වාහන එහෙම දැකලා ඇතිනේ? පරන කාර් පිස්සන්ගේ හදවත සෝකන් බරවෙන දසුනක් තමයි පුරාණ ටැම්පිට විහාරයක් වාගේ වාහනයේ රෝද හතර ගලවලා කොට උඩ තියාපු සමහර කාර් ගරාජ්වල එකතැන දිරා පත්වෙනඑක. මේ කොට උඩ යන කතාවට පාදකවෙන්න ඇත්තේ ඔයවාගේ ගරාජ්වල වාහන කොට උඩතිබ්බාම දිරලා පස්වෙලා යනකම් ආයෙමත් සම්මජාතියකට බිමට ගන්නේ නැති හින්දා වෙන්න ඇති. අපි එහෙම කටවචනෙට කිව්වත් සාමාන්‍යයෙන් කොට උඩ ගියා කියලා දන්නේ කාර් බස් වෑන් වැනි රෝද හතරේ වාහන ගැනයි. කොච්චිත් කොට උඩයනවා බලන්න පුළුවන් වෙයි රත්මලානේ සිජීආර් එකට ගියොත්. එත් මෙවර කොළොම්පුරෙන්  කියන්න යන්නේ කොට උඩ ගිය කාර් ගැන නෙමෙයි.  කොට උඩ යන නැව් ගැනයි. හැබැයි නැව් කොට උඩයන්නේ ගරාජ්වල වගේ රෝද ගලවන්නවත් ගලවලා කොට උඩම දිරන්න අරින්නවත් නොවෙයි. ලංකාවේ නැව් කොට උඩ යන හැටි බලන්න නම් කොළොම්පුරේටම එන්න වෙනවා. ලංකාවට එන බොහොමයක් නැව් කොට උඩයන්නේ මීට ඉස්සර කොළොම්පුරෙන් කතාකරපු නැව් රෙපෙයාර්කරන තැන කොළඹ නැව්තාටාකාංගනයේදි  තමයි. 


 

නෞකාවක් කොට උඩ යනවා කියන්නේ ලේසීපාසු වැඩක් නොවෙයි. මෙහෙම කරන්න සිද්ධවෙන්නේ කාලෙන් කාලෙට සිදුකලයුතු වතුරේ යටට පිහිටි නැව් බඳ කොටසේ අළුත්වැඩියා කටයුතු හින්දායි. නැව් බද දිරායාමෙන් ආරක්ෂා කරන ඇනෝඩ (Anode) අළුතින් සවිකිරිම. අවරපෙත්ත (Propeller)ගැලවිම හෝ සවිකිරිම අවරපෙතිකදහි (Propeller Shaft)හෝ
නැව හසුරවන රඩරයේ (Rudder) අළුත්වැඩියාවන් සිදුකිරිම. නැව්බඳෙහි බැදුනු බෙල්ලන් කාවට්ටින් පිරිසිදු කිරිම මෙන්ම දිරිපත්වු නැව් බඳහි අලුත්වැඩියාවන්ද නැව්බඳ ආරක්ෂා කිරිමට අළුතින් තින්ත ආලේපන වැනි කාර්්‍යයන් ප‍්‍රධාන වශයෙන්  මෙහිදි සිදුකෙරෙනවා. ඉතිං මේ වතුරින් යටව පවතින  නැව් බඳට ලෙසියෙන් ලඟාවෙන්නට බැරි නිසා තමයි අපිට නැව්තටාකාංගනයක පිහිට පතන්න වෙන්නේ. නැව් කොට උඩ යනවට කියන්නේ ඩොක් (Docking) කරනවා කියලා. නැවක් ඩොක් කරන විවිධ අන්දමේ තටාකාංගන කිහිපයක්ම තියෙනවා. මුලින්ම බලමු ඒ නැව් ඩොක් කරන තටාකාංගන වර්ග ගැන.

Graving Dock  - වියලි නැව්තටාකාංගන 

එක් අන්තයකින් පමනක් මුහුදට ඇරනු තටාකයකට නෞකාවක් ඇතුලු කර එම අන්තයේ ඩොක් ගෙට්ටුව වසා දැමෙයි. ඉන් පසුව නියමාකාරයෙන් සැකසු කොට උඩට නැව ස්ථාන ගතකර තටාකයේ ජලය හිදුනු ලබයි. විශාල නෞකා වලට උචිතවේ.

 

Docking Slip / Slipway - රූටන මග 


බෑවුම් සහිතවු කොන්කි‍්‍රට් රූටන මගක වානේ සැකිල්ලක් මතට ගොඩනංවාගත් නෞකාව යාන්ත‍්‍රික ක‍්‍රමයක් මගින් බෑවුම් සහිතවු කොන්කි‍්‍රට් රුටන මඟ දිගේ ඉහලට ඇදගනු ලබයි. අලුත්වැඩියාවන් අවසානයේදි පහතට රූටායන්නට සැලැස්විමෙන් යළි මුහුදට නෞකාව පතිත කරනු ලබයි.


නැවක් රූටන මගක් ඔස්සේ යළි මහුදට පතිතවිම.






 

Floating Dock - දියමත පාවෙන තටාකාංගන

ජලය පුරවා මුහුදේ ගිල්වනු ලැබු මෙම ඉපිල්ලුම් තටාකාංගන වලට නෞකාව ඇතුල් කරනු ලබයි. නියමිත ලෙස නැව ස්ථානගතවු පසුව මෙම ඉපිල්ලුම් තාටාකාංගනය නෞකාවත් ඔසවාගෙන මුහුද මතුපිටට පාවිමට සලස්වා ගනියි. මෙම ඉපිල්ලුම් තාටාකාංගන මුහුදේ පාවෙන බැවින් අවශ්‍යවු විටෙක ඇදගෙන යාමෙන් මුහුදේ ස්ථානයෙන් ස්ථානයට රැගෙන යාහැකිය.


 

Floating Dock - දියමත පාවෙන තටාකාංගන






Synchro-Lift - සමමුහුර්තික එසවිම 


තට්ටුවක් මතට නංවා යාන්ත‍්‍රික ක‍්‍රමයක් මගින් මුහුදෙන් ඉහලට ඔසවාගන්නා ලද නෞකාව පිලිමගක් ඔස්සේ ගොඩබිමට තල්ලුකරගනියි. මෙම ක‍්‍රමයෙන් නැව් කිහිපයක් වුවත් ගොඩබිමට රැගෙන අලුත්වැඩියාවන් සිදුකල හැකිවේ. 

 
Synchro-Lift Docking System


HYDROLIFT DOCKING SYSTEMS - ද්‍රාව එසවුම්.


2000 වසරේදි පෟතුගාලයේ ‘Lisnave Shipyard’ at Setübal,  හිදි මෙම ක‍්‍රමය පටන්ගත් අතර මෙයත් නව මුහුණුවරකින් එන වියලි තටාක ආකාරයේ ඩොක් කිරිමකි. මුහුදු අන්තයේ කැසින් දොරටුව විවරකර ජලතටාකයකට ඇතුල්කරගන්නා නෞකාව තවත් ඉහල තලයක පිහිටි තටාකයකට ඩොක් කරගනු ලබයි.  මෙහිදි මුහුදු අන්තයේ කැසින් දෙරටුව වසා තටාකය පොම්ප මාර්ගයෙන් ජලයෙන් පුරවා නැව ඔසවා ගැනිමක් සිදුකරගනියි. ඉන් අනතුරුව ඊළඟ තටාකයේ ඩොක් කැසින් එක විවර කරඑයට  ඇතුලුකරගනු ලබයි. මෙය පැනමා ඇලහි නැවක් ගමන් කරන ක‍්‍රමයට සකසා ඇත. 


 




දැනට අපේ රටේ වියලි තටාකංගන හා රූටන මග ක‍්‍රම විතරක් භාවිතයේ පවතිනවා. එහෙනම් බලමුද නැවක් කොට උඩ තියන විදිහ.
ගරාජ් එකකට දමාපු වාහනයක් ජැක් ගහලා කොට උඩ තියලා රෝද හතර ගලවලා දානවා වාගේ නැවක් කොට උඩ තියන්න ලේසියෙන් බෑ. නැවක් ඩොක් කරන්නේ එහි රැගෙන යන බඩු භාන්ඩ වලින් තොරව හිස් නැවක්. එහෙත් අත්‍යාවශ්‍යවු නොකර බැරි හදිසි අවස්ථාවලදි බඩුභාන්ඩ සමගින් ඩොක්කරන වෙලාවල් තියේනවා.හැබැයි ඒක තරමක අවධානම් වැඩක්. නැවක් කොට උඩ තැබිම සිදුකිරිම භාරව ඉන්නේ එම තටාකාංගනයේ ඩොක් මාස්ටර්වරයා  (Dock Master) විසිනුයි.
නැවක් කොට උඩ තියන්න ඒ අඳාළ නෞකාවේ පහත සදහන් සැලසුම් අවශ්‍ය වෙනවා. 

1 Docking Plan
2 Midship section 
3 Shell Expantion 
4 Capacity Plan
5 Lines Plan
6 General Arrangement Plan 

මෙහිදි ප‍්‍රධාන වන්නේ ඩොකින් ප්ලෑන් එකයි. පලමුවෙන්ම නෞකාවක් තටාක ගත කරන්නට පෙර එහි ඩොකින් ප්ලෑන්එක ඇතුළු අනෙකුත් සැලසුම් සියල්ලම නැව් සමාගම විසින් අදාල තටාකාංගනයේ ඩොක් මාස්ටර්වරයා වෙත ලබා දිම සිදුකරනවා.
මොකක්ද මේ ඩෙකින් ප්ලෑන් එක කියන්නේ?
සෑම නෞකාවකටම තටාක සැලසුමක් හෙවත් ඩොකින් ප්ලෑන් එකක් තියේනවා. මෙම තටාක සැලසුම නැව නිෂ්පාදන කි‍්‍රයාවලියේ හෙවත් නැව ගොඩනැගුමේදි සැලසුම්කරන්නේ එහි ඇති ශක්තිමත් ස්ථානයන් පෙන්වමින්. කීල් බ්ලොක් (Keel Block) හෙවත් කොට තැබිය දුර ප‍්‍රමානයන් හා ස්ථානයන්ද නැව් යටි බඳහි ස්ථාන ගතවෙලා තිබෙන උපාංගයන් වන ඉකෝ සවුන්ඩර්  (Echo Sounder ), ස්පිඩ් ලොග් (Speed log),  බොටම් ප්ලග් (Bottom Plugs), සී චෙස්ට් (Sea chest)  ආදී උපාංගයන් තිබෙන තැන්ද මෙම සැලසුමේ දක්වා තියෙනවා. එම නිසා මෙම උපාංගයන්ගෙන් ඈත්ව ඒවාට අවහිරනොවන ලෙසින් අලුත්වැඩියා කටයුතුවලට ලඟාවෙන්නට පහසු වෙන පරිදි කීල් බ්ලොග් සකසනවා. 


Docking Plan




නැව් මැද සැලසුමක් (Midship Sectionn Plan) අවශ්‍ය වන්නේ ඩොක් කරන්නට නියමිත නෞකාවේ පත්ල පැතලි (Flat Bottom)ලෙසින් හෝ ක‍්‍රමයෙන් ඉහළට එසවුනු පත්ලක් (Rise of floor) ඇද්දැයි දැන ගැනිමටයි. ක‍්‍රමයෙන් ඉහළට එසවුනු පත්ලක් ඇත්නම් නෞකාව දෙපසින් මුක්කුකරු (Shore) යොදන්නටත් සිදුවෙනවා.


මේ කොට ලෙසින් අපි ව්‍යවහාර කරනා කීල් බ්ලොක් සකසා ඇත්තේ විශාල කොන්කී‍්‍රට් කුට්ටිමත හෝ යකඩින් සාදන ලද කට්ටි මත ලී කොට සවිකිරිමෙනි. සාමාන්‍යයෙන් මේ කීල් බ්ලොක් එකක් අඩි පහමාරක් හෝ ඊට වඩා මදක් උසවෙනවා.   


 

 


ජලය හිස් කරන ලද තටාකයේ කීල් බ්ලොක් සැකසීම ඩොක් මාරස්ටර්වරයාගේ උපදෙස් අනුව එම අඳාල තටකාංගනයේ ඩොක්සයිඩ් අංශයේ සේවකයින් විසින් සකසනවා. ඩොකින් ප්ලෑන් එක අනුව නියමිත කීල් බ්ලොක් සකසා අවසන්වු පසුව තාටාකය ජලයෙන් පිරවිමත් ඉන් අනතුරුව නැව තාටාකය ඇතුලට ගැනිමට ඩොක් ගේට්ටුව (Dock Gate / Caisson) විවෘත කිරිමත්  සිදුකෙරෙනවා.  


වසා ඇති ඩොක් ගේට්ටුව(Dock Gate / Caisson)

තටාකය ජලයෙන් පිරවිම


නැවේ කපිතාන් සමගින් සම්බන්ධවී ඩොක් කරන්නට ප‍්‍රථමයෙන් ටීරිම් (Trim) එක හා බැලස්ට් (Ballast) තත්වය  නියමිත ලෙසින් සකසාගතයුතු වෙනවා. නැව ඉදිරියෙන් හා පසුපසින් මුහුදේ ගිලිඇති ප‍්‍රමානය (Forward Draft & Aft. Draft)  මැන බලා නැවේ ටීරිම් එක කොපමනදැයි සොයා බලනවා. මෙහිදි තටාකාංගනයේ පතුලේ ඇති බෑවුම් තත්වයද නැවේ දිග ප‍්‍රමානයද සැලකිල්ලට ගන්නවා. මිටර්1.6 ක ටීරිම් එකකට නොවැඩි ලෙස තබාගන්නටත් අවම බැලස්ට් තත්වයයක් නැවේ තබාගන්නටත් වගබලාගන්නවා.
දැන් ඉතිං අහන්න එපා බැලස්ට් කියන්නේ මොකක්ද කියලා? නැවක ගෙනියන බඩුභාහිරාදියෙන් තොරවුනාම නැව ජලයේ ගිලි ඇති කොටස උඩඑනවා. එවිට අවරපෙතිද  නැව හසුරවන රඩරයද ජලයෙන් උඩට මතුව එමත් නිසා එයට ගමන් කරන්නට අපහසුතා ඇති වෙන්නටත් සමබරතාවය රැකගනිමට නොහැකිවන්නටත් පුලුවන්. නැවේ සමබරතාවය තබාගන්නටත් නැව ජලයේ ගිල්වා ගන්නටත් විශේෂයෙන් සකසා ඇති බැලස්ට් ටැංකි (Ballast Tanks) තුලට ජලය පුරවාගන්නවා.   


මීලඟට ඩොක් මාස්ටර්වරයා වරායේ නාවික නියමු මැදිරියට(Pilot Station) හා සම්බන්ධවි නැවේ තත්වය හා කාළගුණ තත්වය අනුව නැව තටාකයට ගැනිමට අවශ්‍ය ටග් බෝට්ටු (Tug Boats) ගනන තිරණය කරගන්නවා. නැවෙන් නියමුවෙක් (Pilot) අවශ්‍ය බව පැවසුවොත් නියමුවෙක්ද නැව නියාමනය කරන්නට ලබාගන්නවා.
තටාකයට නෞකාව ඇතුලත් කිරිමේදි නැව නවත්වාලිමේ ලණු (Mooring Ropes ) නෞකාවේ ඉදිරියෙන් හා පසු පසින් අවශ්‍ය පරිදි යොදාගෙන තටාකයට නැව ඇතුලක් කිරිම අරඹනවා. මෙහිදි ඩොක් මාස්ටර් වරයා ඇතුලු ඩොක් අංශයේ සේවකින් මෙම භාරදුර කි‍්‍රයාවලියේ යෙදෙනවා.
තටාකය ජලයෙන් පිරවු පසුව කීල් බ්ලොක් සකසා තිබෙන අයුරු දකින්නට බැහැ. එම නිසා තටාකයේ මධ්‍ය හදුනාගන්නට දෙපසින් ලඹයක් එල්ලු ලණුවක් යොදාගන්නවා. මෙහිදි නැව ඉදිරිපසින් හා පසුපසින් මෙසේ ලඹය යෙදු ලණු දෙකක් යොදාගන්නේ හරියට නැවේ කීල් එක තටාකයේ මධ්‍යයේ පිහිටනවාද කියලා හඳුනාගන්නයි.


තටාකයේ මධ්‍ය හදුනාගන්නට දෙපසින් ලඹයක් එල්ලු ලණුවක් යොදාගැනිම

 නැව තටාකයේ කීල් බ්ලොක් උඩ පිහිටාගත්තා කියා හොදින් තහවුරුවු පසුව කැසින් දොරටුව වසාදමා ජලය ඉවත් කිරිම පටන්ගන්නවා. නැව්තටාකාංගනයේ සුවිශාල ජල පෙම්ප  කි‍්‍රයාත්මක කිරිම මගින් තටාකයේ ජලය ඉවත් කිරිම සිදුකරනු ලබනවා. මෙම ජලය ඉවත් කිරිමේ  අවස්ථාවේදි නැවේ මධ්‍ය හා ස්ථානගත කරතිබු ස්ථානය වෙනස්වන්නට නොදි නිවැරදිව තබාගන්නට සිදුවෙනවා.
සාමාන්‍යයෙන් නැව කොට උඩ තැබෙන අවස්ථාවේදි නැවේ පසුපස කොටස මුලින්ම කීල් බ්ලොක් උඩ පතිතවෙනවා. රැගෙන යන බඩු භාන්ඩවලින් තොරවිමත් නිසා නැවේ ඉදිරියට වඩා පසු පසුකොටස බරින් වැඩිවෙන්නට හේතුවෙන්නේ එන්ජින් අවරපෙති ඇතුලු සියළු යන්ත‍්‍රසුත‍්‍රත් එවායේ සමහර තෙල් ටැංකිත් ස්ථානගතකර ඇත්තේ පිටුපස කොටසේ විමයි. මෙසේ පසුපස කොටස මුලින්ම කීල් බ්ලොක් උඩ පතිතවන අවස්ථාවේ මුළු නෞකාවේ බර පිටුපස කීල් බ්ලොක් රදා පවතිනවා. මෙය තීරණාත්මක කාලය (Critical Period) ලෙසින් හඳුන්වනවා. 


 



නැව් පතුලත් කීල් බ්ලෙක් එකත් අතර දුර මිටරයක් තරමයට ජලය අඩුකල පසුව කිමිදුම් කරුවෙකු යොදාගෙන නියමිත පිරිදි කීල් බ්ලොක් උඩට නැව සමපාතවී ඇතිදැයි සොයා බැලීමක්ද සිදුකරනු ලබනවා. ඔහුගෙන් නියමිත පරිදි නැව කීල් බ්ලොක් උඩට සමපාතවි ඇතිබව තහවුරුවුවායින් පසුව තවදුරටත් ජලය ඉවත්කරමින් කොට උඩට පත්කරගැනිමට හැකිවෙනවා. මා මුලින් කීවාක් මෙන් කීල් බ්ලොක් උඩට  නැවේ පසුපස කොටස මුලින්ම පතිත වෙනවා. ඉක්මනින් ජලය බැසයද්දි නෞකාවේ කීල් එක කොට උඩට පතිතවි අවසන්වෙනවා. ඉන් අනතුරුවයි ඩොක්මාස්ටර්වරයා නැව කොට උඩ ආරක්ෂාකාරි ලෙස නවත්වා අවසන් බවට කපිතාන් වරයාට දැනුම් දෙන්නේ. තටාකයේ ජලය බැස ගියාට පසුව නැවේ එන්ජින් ඇතුළු යන්ත‍්‍රසුත‍්‍රවල සිසිලන පද්ධති කි‍්‍රයාකරන්නට ජලය කොයින්ද? තටාකයේ සියළු ජලය ඉවත්කරන්නට ප‍්‍රථමයෙන් තාටාකංගනයේ සේවා සැපයම් අංශයෙන් ජෙනරේටර් හා අනිකුත් යන්ත‍්‍රසුත‍්‍රවලට නියමිත සිසිල් කිරිමේ ජලනල මාර්ග ඇතුලු සේවාද අවශ්‍ය නම් විදුලි සම්බන්ධතාවයන්ද සවිකර දෙනු ලබනවා.
අවසානයේ නෞකාවේ සිසිලන පද්ධතිවලට බාහිරෙන් ජලය දුන් පසුව තවදුරටත් නැව ජලය මත නොරදවා තාටකයේ සියලු ජලය ඉවත්කර දමනු ලැබේ. මුහුදු ජලයත් සමගින් තටාකයට ඇතුලුවු තටාක බිම මත රැදි තිබෙන මඩ සියල්ල සොදා හැරිමෙන් පසුව නැවහි අලුත්වැඩියාවන් කිරිම ආරම්භවෙනවා. 


 

නැවේ කීල් එක කීල් බ්ලොක් උඩ රැදි ඇති අයුරු


 



තාටාකගත කල පසුව නැව් බඳ ආරක්ෂාකිරිම සඳහා මලබැදුන ස්ථානයන්  බ්ලාස්ටින් (Grit Blasting) කිරිම හා තින්ත (Painting) ආලේපනයන් සිදුකිරිමට ප‍්‍රථමයෙන් කරදියේ තිබු නෞකාව ඉක්මනින් පිරිසිදු වතුරින් සොදා හැරිමත් බඳේ හා පතුල හරියේ බැදුනු කාවට්ටින් හා බෙල්ලන් (Barnacles) සූරා ඉවත් කිරිමත් සිදුකරනවා. නැව් බඳ ආරක්ෂාකිරිම සඳහා මලබැදුන ස්ථානයන්  බ්ලාස්ට්න කිරිම හා තින්ත ආලේපනයන් සිදුකිරිමත් ඊළඟට කරනු ලබනවා. දිරාපත්වුනු යකඩ කොටස් ඉවත් කර අළුතින් පිහිටුවාලිමද මෙයට අමතරව ඇතුලත එන්ජින් හා යන්ත‍්‍රසුත‍්‍රද පිටත තිබෙන දොඹකර හා යන්ත‍්‍රසුත‍්‍රද නැව් සමාගමේ අවශ්‍යතාව අනුව අළුත්වැඩියාවන් කිරිමත් සිදුකරනු ලබනවා.
ඔන්න ඔහෝමයි නැවක් කොට උඩයන්නේ. නැව කොට උඩින් මිදි ආපහු මුහුදට යන විදිහත් බලා ඉන්න ලස්සන වැඩක්.

Sunday, June 4, 2017

කුතුහලය කැටිවු ත‍්‍රාසය හා ඉලඇදෙන භීතිය සමගින් ගිය මීමුරේ සවාරිය 2 වන කොටස

පළමු කොටස බලන්න මෙතැනට කොටන්න

උඩු කයට වස්තරයක් නැතිව ඇග සීතලෙන් ගැහෙන්න ගත්තු නිසා අවදි වෙච්චි මම වැතිරිලා හිටපු තැනින් ඔළුව උස්සලා බැලූවේ මේ කොහේද ඉන්නේ කියලා. වැටිලා උන්නු ගල් ගොඩට පොඞ්ඩක් ඈතින් පන්දමක් වගේ දෙයක් නිමෙන්න ඔන්න මෙන්න වගේ මලානික එළියක් විහිදුවමින් ලාවට පත්තුවෙනවා. මම මේ ඉන්නේ කොහේද කියලා හිතාගන්න බෑ. ඉන්න තැන හිතාගන්න බැරිව හිටපු මගේ හිතට එකපාරටම මම මේ ඉන්නේ කනත්තක් මැද්දේ කියලා හිතුනා. ගැහෙන සීතල පරදාගෙන ඇගේ හීගඩුත් පිපුනේ එ් හිතට ආපු සිතුවිල්ලත් එක්කමයි. යකෙක් දත් ටික විලිස්සනවා සේ සැරෙන් සැරේ හමන හුලං පාරට මම හිටපු තැනට ඈතින් තිබුනු නිවිලා ගිය දරසෑයේ ගිනි අඟුරු ටික රතුපාටින් දිලිසෙනවා මගේ දෑසට අහුවුනා. කනත්තක් මැද මම තනිවෙලා ඉන්නවා කියන සිතුවිල්ල හොදින්ම තහවුරු කරන්නට අර මලානිකව පත්තුවෙන පන්දමත් දර සෑයටත් පුළුවන්වුනා. කෑළි කපන්න පුළුවන් මහ අන්ධකාරේ අතපත ගාලා ගල්ගොඩක් මැද තිබුන ගල් දෙබොක්කාවක් පල්ලේ මම වැටිලා ඉන්නවා කියලා මනසින් හිතාගත්තත් එත් කනත්තක කොහේද මේවාගේ ගල්? එහෙනම් මම ඉන්නේ කැලයක් මැදද? ළඟ තිබුන සුවිශාල ගහේ ඉදන් තඩි වවුලෙක් ශබ්ද නගමින් ඉගිලි ගියාට පස්සේ තවත් වවුලන් කිහිිප දෙනෙක් උගේ පස්සේන් ඉගිලිලා ගියා. ඉන්න තැනින් ටිකක් ඈතින් වතුර පාරක් ගලායනවා ඇහෙනවා විතරයි. මම මේ ඉන්නේ ගෙදර නොවන බව තේරුම් ගියාට පස්සේ අසීරුවෙන් ඔළුව කෙලින්කරගෙන දැන් ඉන්න ස්ථානය ගලපගන්න බැලූවා. එහෙනම් මම ඉන්නේ කනත්තක් මැද නම් නොවෙයි. එහෙනම් මේ කොහේද? 
එතකොට තමයි මගේ මතකයට ආවේ පෙර දිනයේ අපි ආපු මීමුරේ සවාරිය ගැන. එහෙනම් මම ඉන්නේ මීමුරේ අපේ කූඩාරම් ගහපු තැන. කෝ මගේ යාළුවෝ ටික? ටිකෙන් ටික ඇස් දෙක අඳුරට හුරුවුනාට පස්සේ මං හිටපු ගල් ගොඩ අයිනේ උඩුබැලි අතට පෙරලිලා තිබුන බාබකිව් උදුනත් තැන් තැන් වල විසිරිලා තිබුන බොතල් හා විදුරු ටිකත් දැක්කා. ඇ`ගට වාරු අරන් බෝල ගල් ගෙඩියක් උඩින් වාඩිගත්තු මගේ දෑසට නිවිලා ගිය ගිනිමැලයේ රතුපාට අගුරුකැට සුළඟත් එක්ක දිළිසෙනවා අසුවුනා. එ්ක තමයි මම රැවුටුනු දරසෑය. ආයේමත් සැරයකත් වටපිට බැලූවේ යාළුවෝ ටික කොහේද ඉන්නේ කියලා. ඔන්න එ් පාර තමයි හැගෙන සීතලේ හිටපු මට මහ සැරේට දාඩිය දාන්න ගත්තේ. සුවිශාල කුඹුක් ගහට එයා පැත්තේ සුදු වැලිතලාවේ අටවලා තිබුන කුඩාරම එතැන නෑ. එකට මීමුරේ ආපු යාළුවොත් නෑ. කොළොම්පුරේ ඉදන් මීමුරේ ආපු මං හද්දා කැළේක තනිවෙලා. ඉදහිට කෑ ගහන රැහැයියෝ දෙතුන්දෙනෙක් විතරයි එ් වේලාවේ තනියට හිටියේ. මගේ යාළුවන්ටයි  කුඩාරමටයි  මොකදවුනේ කියලා සිතට ලොකු ගැටළුවක්වුනා. මුං තුන්දෙනා මාව දමලා ගියාවද්ද? කෙලින් හිටගන්නවත් බැරිතරමට මීවිත සිරුරම අවසඟ කරලා ඉවරයි.

 ගල්කුට්ටිය උඩට වෙලා  රාත්තිරියේ අපේ බාබකිව් පාටියත් රාජ්ගේ පිස්සු කියවිල්ලත් මතක් කරගත්තා. එ් සිදුවෙච්චි සියල්ලත් මගේ මනසේ ආපහු චිත‍්‍රපටයක් සේ රඟ දැක්වෙන්න පටන්ගත්තා. එහෙනම් හොදටම බීලා පිස්සු නටපු රාජු එක්ක පටලැවුනු බේබදු ගමේ බුවා ගමේ උන් සෙට් එකක් අරන් ඇවිත් අපිට ගමකට නෙලූවාද?. රාජු තිළිණයා එක්ක කුමාරත් මාව මේ කැළේ දමලා පන එපා කියලා දිව්වාද? නැත්නම් කොළඹ යන්න ඔනේ කිව්ව රාජුවා මගට ඇරලන්න ගියාවද්ද? එත් මාව මේ කැලේ මැද තනියෙන් දමලා යයිද? රාජුවා එහෙම කලත් අනිත් උන් දෙන්නා මාව දමලා යන්න යයිද? එ්ක නම් වෙන්න බැරිවැඩක් බව සිතුණා. සීතල වැඩි  හින්දා ෂර්ට් එකක් ඇදගත්තා නම් හොදයි කියලා අමාරුවෙන් කද කෙලින්කරන් කුඹුක් ගහ එහා පැත්ත බැලූවා. ඔන්න ඔය වේලාවේ තමයි මගේ භීතිය ත‍්‍රාසය එකතුවෙලා සන්ත‍්‍රාසය ඇතිවෙන්න ගත්තේ. ඇගේ ලේ වතුරවුනා. බීපු ලෝකල් විස්කි මතේ බිංදුවට හිඳුනා. මගේ කකුල් කෙටි දෙකෙන් උස්සලා මීමුරේ වටේ කරකවලා කඹුක් ගහ යට සුදු වැලිතලාවේ තිබුනු ගලක ගැහුවා වාගේ දැනුනා. අනේ දෙයියනේ කුඩාරමට මොකදවුනේ?  ඊයේ හවස කුඹුක් ගහයට වැලිතලාවේ ලස්සනට ඉදිකරපු මගේ අයිඩින්ටිය තියලා අනුන් ගෙන් කුලියට අරන් ආපු කුඩාරමට දැන් එතැන නෑ. බොක්ක කූල් වුනා. මුත්ත‍්‍රා බරකුත් ඇල්ලූවා. පපුව දෙමොලෙන් පිටිකොටෙන්නාවාගේ ගැහෙන්නට පටන්ගත්තා. සීතලට කෙලින් වෙච්චි මයිල් තවත් කෙලින්වුනා. හිරිගඩු උඩ හිරිගඩු පිපුනා. එ් වෙලාවේ හිතට ආපු බය භිතිය තනිකම මෙහෙම වචනවලින් ගලපන්න බෑ. ඇඳුම් බෑග් එක්ක මේ මහ කැලේ මැද කූඩාරම හොරු අරන් යන්නත් බෑ. වෙරි මරගාතේ බුදියන් ඉන්නැද්දි ගමේ උන් එ්ක ඉස්සුවාද?. එහෙනම් කෝ යාළුවෝ? මුන් මාව මේ කැලේ දමලා කුඩාරමත් අකුලන් ගියාවද්ද? හැබැයි එහෙම ජරා වැඩකරන පජාති  මිත‍්‍රයන් නම් නොවෙයි උන්. අපි හිටපු තැනට වල් අලියෙක් වත් ආවද මන්දා. ඌ ඇවිල්ලා කුඩාරම ගලවලා වීසිකරලා දමන්න ඇතියි ඊළඟට හිතුණා. කෙලින් හටගන්නවත් බැරිව හිටපු මම අගුරු විතරක් තිබුන ගිනි මැලේ ළඟට බෝල හැඩයේ රවුම් ගල් උඩින් පැනලා ගිහින් පැත්තක තිබුණ කොටයක් අමාරුවෙන් උස්සලා අගුරුගොඩට විසී කළා. වේලිච්ච කොල රොඩු එකතුකරලා අගුරුගොඩට දමලා ගිනිගොඩ කොහොමහරි ආපහු අවුලෝගත්තා. වේලිච්ච කොල රොඩුවලට ඇවිලූනු ගිනිදළු කොටය වෙලා ගනිද්දි තිත්ත කළුවර ටිකක් මැකිලා ගිහිල්ලා ටිකක් විතර එකාලෝක වෙන්න ගත්තා.
අපේ කූඩාරම


 ගිනි මැලේ ළඟ උන්නු මගේ දෑසට එ් දර්ශනය වුනේ විසාල කුඹුක් ගහ අයිනේ බිම සුදුරෙද්දකින් හිසේ ඉදන් දෙපතුල දක්වා වහපු මළ මිනියක් වගේ එකක් තියේනවා. වල් අලියෙක් ගහලා අපේ කවුරුහරි මැරිලාද? ඔන්න එ්පාර ආයේමත් මගේ පපුව මැද්දේ හෟදවස්තුවක් කියලා එකක් තියේනවා කියලා පෙන්නන්න වාගේ ඩික් ඩික් ගාලා ගැහෙන්න පටන් ගත්තේ. පහලට බැහැලා අන්තිම අගිස්සේ තිබුනු පුරුෂ දයිරිය උඩට උස්සලා අරගෙන  ඕන මගුලක් වෙන්න කියලා අර මළ මිනිය බලන්න ගල් ගෙඩි උඩින් පැන පැන වැනි වැනි කුඹුක් ගහ ළඟට ගියා. මළමිනිය ළඟට යද්දි දැක්කා මළ මිනියට එහායින් බිමට සමතලා වෙච්චි අපේ කුඩාරමත් තියේනවා. බිමට පාත් වෙච්චි කුඩාරම ඇතුලෙන් කාගේදෝ කකුල් දෙකක යටිපතුල් දෙක යාන්තමට සුදුපාටට පේනවා. දැන්නම් සහසුද්දෙන් ෂුවර් අලියෙක් ඇවිල්ලා මුං ටික මරලා දමලා කියලා. එත් කෝ අනිකා? ළඟ ලං වෙනකොට තමයි දැක්කේ  කුමාරයා අර විසාල කුඩාරමේ එක් කොනක වැතිරිලා ඉන්නවා. ඈතින් සද්දේට බජව් දමන් උන්නු අල්ල වැටේ කොල්ලන්ට කෑගහන්න හිතුවත් කටට ඉබ්බෙක් දමලා වාගේ වචන පිටවෙන්නේ නෑ. කුමාරයා ළඟට ඇවිත් උරහිසට අත තියලා දෙපාරක් විතර හෙලෙව්වා. මිනිහා ඉන්නේ මළාවගේ. කොකටත් කියලා නහයට අත ලං කරලා බැලින්නම් මෙන්න මේකා මැරිලා නෑ යස අපුරුවට හුස්ම ගන්නවා. එහා පැත්තේ හිටපු මල මිනියේ රෙද්ද  අහක්කරලා බලන කොට එතැන හිටියේ රාජුකාරයා. එහෙනම් දෙපතුල් එලියේ දාගෙන ඉන්නේ තිළිණයා. මුං එකෙක් වත් මැරිලා නෑ කියලා ගැහි ගැහි තිබුන පපු කෙටිය පොඞ්ඩක් විතර කූල් අඩවුන් වෙලා ගියා. ඉවසන්න බැරි සීතලත් තිබුනත් බිමට පතබෑවුනු කූඩාරම අස්සෙන් ඇඳුම් බෑග් එක එළියට ගන්න එකත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා හිතුන හින්දා වේලූනු තොලකටත්  බිම තිබුනු සොඩා බොතලයකින් තොමාගෙන ආයෙමත් මුලින් වැටිලා උන්නු ගල් දෙබොක්කෙටම ආවා පොඞ්ඩක් ඇහැ පියා ගන්න. එත් එක්කම වාගේ බඩ තැලතිලා ආපු ඔක්කාරෙට ? තිස්සේ කාපු බීපුවා සියල්ලත් මෙන්න  එළියට පැන්නා. එ් වැඩෙත් ඉතිං එකපාරින් නම් නතරවෙන්නේ නැතිව එළිය වැටිලත් පැයක් දෙකක් යනකම් වැඬේ සිද්ධවුනා.
 සීතලට මුළු සරවාංගෙම වෙවුලනවා නිදාගන්න හැදුවාට නින්ද නම් අහල පහලකවත් නෑ. පාන්දර එළිය වැටෙද්දි නැගිට්ටත් නැගිටගන්නත් පනක් නෑ. අමාරුවෙන් යාළුවෝ තුන්දෙනාට ඇහැරෙව්වා. නැගිට්ට හැටියේම හිස් මෙගා බෝතලයකට වතුර එකක් පුරවාගත්තු රාජු ගංඉවුර දිගේ කුඹුක් ගහෙන් එහාට දිව්වේ ජංගල් බොග් එකක් දාන්නයි. කුමාර උනුවතුර රත් කරලා තේ හැදුවා. කොහේ බොන්නද බිව්ව හැටියේ ආයේමත් කබරයාම තමයි. 
වතුර උනු කරනවා තේ බොන්නයි හදන්නේ 


අපි ගෙනාපු නුඞ්ලස් පැකට් කඩලා තිළිණයා උදේට කන්න කෑමත් හදන අතරේ මම සීසිකඩ විසිරිලා තිබුන අපේ බඩු මුට්ටු එකතු කරන්න පටන්ගත්තා. මේ ගමනට එන්නට පෙර මම කොළඹින්  ඊට පෙර දවසක අරගත්තු රීචාජබල් විදුලි පන්දම මිසින් වෙලා. එක හැම තැනම හෙව්වත් හමුවුනේ නෑ. එහා පැත්තේ කෑම්ප් එකේ කොල්ලන් ටික උන්ගේ බඩු මුට්ටු පැක් කරනවා. අපි දත්මැද මැද ඉන්න අතරේදි ගල්උඩින් පැනගෙන අනිත් කෑම්ප් එකේ කොල්ලන් බලන්න ඇහි බැමට උඩිනුයි කනටයි කඩුක්කන් පළඳාගෙන උන්නු මීමුරේ විකුනන් කන සෙට් එකේ නායකයා ගියා. මෙන්න  බොලේ උගේ අතේ මගේ නැතිවෙච්චි විදුලිපන්දම වගේ එකක් තියේනවා. 
"එයි තිළිණ බලපන් අරූ ගාව තියෙන්නේ  මගේ ටොර්ච් එක නේද?"
"එ්ක උගේ වෙන්න ඇති. එකවාගේ එවා  ඕනේ තරම් තියේනවා නේ බං."  
"බලපං අර තියෙන රතුපාට ස්ටිකරය එක තමයි එ් ටෝර්ච් එක ගෙන්නන කොම්පැනියෙන් දෙන වොරන්ටිය ගහලා තියෙන්නේ. මුට කොහෙන්ද ඒක වාගේ එකක්ම?  හිටපං බලන්න." 
මම හිමිහිට මිනිහා ළඟට ගියා
"මචං මේ ටෝර්ච් එක ඔයාගේද?"
"ඔව් මම ගත්තු එකක්."
මිනිහා ගත් කටටම කිව්වා. 
මමත් ආ ඇත්තද කියලා හිමිහිට වතුරට බැස්සා. ටික වේලාවකින් ආයේමත් අපේ පැත්තට ආපු කඩුක්කන්කාරයා මිනිහා අතේ තිබුන අඩුමකුඩුම ටික ගලක් උඩින් තියලා කූඩාරම් අකුලන්න ගියා. මිනිහා පොඞ්ඩත් එහාට වෙනකම් ඉදලා හිමිහිට ගිහිල්ලා අර විදුලිපන්දම අරන් බැලූවා. මෙන්න බොලේ මම ටෝර්ච් එක ගත්තු දාම තමයි එකම ආයතනයෙන් මේකත් අරන් තියෙන්නේ. ඒක නම් කීයටවත් වෙන්න බැරි දෙයක්. මේ ආයතනයට ශාඛා නෑ තියෙන්නේ කොළඹ විතරයි.  බලන් යනකොට මු මහ පට්ට හොරෙක්නේ. හිටපං උඹට හොඳ වැඩක් කරන්නම් කියලා හිමිහිට මීමුරේ මාකටින් නායක හොර දෙටුවාට හොරෙන් එතැනින්  උස්සපු ටෝර්ච් එක මගේ ඇඳුම් මල්ලට දමාගත්තා. හොර නායකයා පස්සේ ඇවිත් හරියට තමන් සල්ලි දිලා අරගත්තු ටෝර්ච් එකක් වගේ ඒක හොයන්න පටන් ගත්තා කියමුකෝ. රේස් බුකි තියෙන බෝලෙට බෑට් පිත්තෙන් පහර දෙන සංගමේ පරිපාලනය  කොරපු කොරන්න හදන සල්ලීකාර මහත්තයාගේ කොම්පැනියෙන් ඉරිදාට සිංහලෙන් පලවෙන ජාතික පුවත් පතක් සමග දෙන ටැබ්ලොයිඞ් ප‍්‍රමානයේ කලා අතිරේකයක නම තමයි මේ නායක හොරාට තියෙන්නේ. හරි නම දන්න කියන අය හිතාගන්න කෝ. මූ හොද අවංක එකෙක් නම් වැදගත් මහත්මයෙක් වගේ මං මේක කැලේ වැටිලා අහුලපු එකක් බව හරි කියන්න තිබුන. එත් එහෙම කිව්වෙ නෑ.

තිළිණයි මමයි සීතල වතුරේ බැහැලා පැයක් විතර හිටපු හින්දා ඇගේ පතේ තිබුනු මීවිතෙන් ආපු සියළු රෝගාබාද දුරිභූතවෙලා ගියා. කවුරු කවුරුත් තිළිණ උදේ ආහාරයට හදාපු නුඞ්ලස් කාලා බඩ පුරවාගත්තත් මට නම්  තිබුනේ ? කෑමත් සැරෙන් සැරේ එලියට දැම්මාට පස්සේ කෑම කන්න බැරි අප්පිරියාවක්. එත් කොහෝම හරි කන්න එපැයි. හිස්වෙලා තිබුන බඩගෙඩියටත් නුඞ්ලස් ටිකක් විතර බස්සගන්න පුළුවන්වුනේ සීතල වතුර සත්කාරයෙන් පස්සේ තමයි. අමාරුවෙන් නුඞ්ලස් ටිකක් බඩගෙඩියට දාගත්තාට පස්සේ ඉතිරිවුන ටික එහා පැත්තේ කෑම්ප් සයිට් එකේ ගලවාපු කූඩාරම් ටික අරගෙන යන්න ආපු ඊයේ ? අර බේබද්දා පන්නලා දමාපු ගමේ උන් දෙන්නාට දුන්නා. එයාලත් එ්ක ආසාවෙන් අරගෙන කෑවා. 
අපේ කූඩාරම අතුරුදහන් කිරිම නැත්නම් හොඳට තිබුන කූඩාරම බිමට පතබෑවුනු අන්දම මම හොයලා බැලූවා. 
බීලා වැඩිවුනු රාජු මුලින්ම ගමේ බේබද්දා එක්කත් පස්සේ මං එක්කත් ඇරගෙන ආපහු ගෙදර යන්න  ඕනේ කියලා අල්ලපු අඩව්ව මතකද? අන්න එ් වෙලාවේ වෙරි මරගාතේ කූඩාරමේ ෙදාරටුව හොයාගන්න බැරිව කූඩාරම වටේ ගිය රාජු එක උඩට පැන්නාලූ. මේ ගොන් අලියාගේ බරට කැඩුනු කූඩාරම බිමට පතබෑවිලා ගියා. කූඩාරම කඩා දාපු එකට මල හොදම එකෙන් පැනමු මංතුමා රාජුවාට දෙකක් අනින්න ගල් දොබොක්කාවෙන් නැගිට්ටත් ගහපු මීවිතේ තිබුනු පවර් එකට කදකෙලින් කොරගන්නට බැරිව ආපහු ගල් දෙබොක්කොටෙම වැටුනාලූ. අන්තිම්දි හොදටම වැඩිවෙලා කරටිය කැඩෙන්ඩ වැදුනු මම ගල් දෙබොක්කාවේ අස්සට වැටිලා මර නින්දක් ගහන්න අරගෙන තිබුනා හින්දා එ් කිසි දෙයක් මතක ගබඩාවේ රැදිලා නෑ. ආපහු තිබුනා වාගේ කූඩාරම කෙලින් කරන්න කම්මැලි හිතුන තිළිණයා අර බිමට පතබෑවුනු කූඩාරම යටට රිංගා ගත්තේ සීතල හින්දාලූ. එයා යට හිටිද්දි කූඩාරම උඩ දැවැන්ත කබරයෙක් වැඩලා හිටිය විත්තිය දැක්කේ කුඩාරම අකුලද්දි තමයි. අන්තිමට කබරයා ගෙනාපු කුමාරයි කූඩාරම බිමට සමතලා කෙරුව රාජුවයි දෙන්නාට එකතුවෙලා කබරයා යන්න කූඩාරමත් සෝදා පිරිසිදු කරලා ගන්න බාරදුන්නා. 
කූඩාරමේ ලැගපු කබරයා ඉවත් කිරිම


ඊට පස්සේ මම කල්පනා කලේ අපි ප්ලෑන් කරපු විදිහට ඉතිරි දින දෙකත් ඉන්නවාද කියලා. ආයෙමත් අර තමන් උස්සපු ටෝර්ච් එක බලන්නද මන්දා එතැනින් යන ගමං මීමුරේ විකුනන මාකටිං නායකයා අපිටත් එයාගේ වෝටර් ඇඞ්වෙන්චර් ඉවෙන්ට් වලට සහභාගි වෙන්න කියලා ආරාධනා කළා. 
"මචං කුමාර අද අපි මොකද කරන්නේ? "
මම  ඇහැව්වා.
"යමුද අරුන් එක්ක වෝටර් ඇඞ්වෙන්චර් එකට."
"පිස්සුද බං මුං හදන්නේ අපෙන් ගානක් කඩන්නද කොහේද. දැන් මෙතන කුඹුක් ගහ යට පෙන්නුවාටත් අපෙන් ගාන කපනවා. "
තිළින කිව්වා.
"මෙහේට ආපු එකේ ගානක් දිලා අපි ෆන් එකක් ගමු." 
"පිස්සුද කුමාර මුංගේ තියෙන්නේ  අස්ප ගනං නේ. අනික බං මගේ ටෝර්ච් එකකත් උස්සලා එක උගේ කිව්වා. අපේ බඩු මුට්ටු  මෙතන දමලා යන්න බෑ. කූඩාරම අකුලන් ගිහිල්ලා ආපහු කාර් එකට දමලා එන්නත් බෑ. අනික ඔක්කෝටම වැඩිය මුං විස්වාස කරන්න බෑ. මම කිව්වා."
"ඔය වතුරේ නටන්න එන්න කියලා අපෙන් මෙච්චරක්  ඕනයි කිව්වොත් මොකද කරන්නේ? මේ කුමාර තමයි උන්ට කෝල්කරලා සෙට් කරගත්තේ."
එ් අස්සේ මෙච්චර වේලාවක් සද්ද බද්ද නැතිව හිටිය රාජුවා කටදැම්මා.  
"අනේ උඹ කටවහං හිටපං. උඹතමයි මේ ඔක්කෝම කෙරුවේ. ඊයේ පාටිය වන කලේ කවුද? එ් උඹනේ. දැන් සුදනා වෙන්න හදනවා." 
කේන්ති ගිය කුමාරයා අකුලමින් හිටිය කූඩාරමත් දමලා ගිහින් ගලක් උඩ වාඩිගත්තා. 
"එහෙනම් ලකේ ගල නගිමු."
ලකේ ගල


"අර බෑවුමේ උඩට නගින්න පුළුවන්ද? අනික අපි කඳු නගින්න ආපු ගමනක් නෙමෙයි. එ් හින්දා මටනම් බෑ."
රාජුවා ආයේමත් කිව්වා. 
"මේවා මෙතන තියලා යන්න බෑ. බඩු මුට්ටු අස්කරන් අපි යමු. යන ගමන් බලමු මොකද කරන්නේ කියලා."
බඩු පැක් කරන ගමන්


ආසාවෙන් ප්ලෑන් කරන් ආපු සවාරියේ පළමු දිනයම අලකරලා දාපු රාජු ගේ පිස්සු වැඩ නිසා මගේ හිත ඔද්දල්වෙලා තිබුනේ. ඒක නිසා තවදුරටත් මේ කැලෑවේ ඉන්න බෑ කියලා හිතුනා. අන්තිමේදි දවස්තුනක් ඉන්න බලාගෙන ආපු ගමන පහුවදාම ඉවරකරලා එන්න බඩු අස්පස් කළා. 
කුමාර වෝටර් ඇඞ්වෙන්චර් ඉවෙන්ට් වලට යන්න කැමතිවුනත් තිළිණයි මායි එකහෙලාම අකමැතිවුනේ විදුලි පන්දම හොරාගත්  සිද්ධිය ගැන කියලා. ගමේ උන් හොරුනොවුනත් පිටිං ඇවිල්ලා මීමුරේ ගම්මානේ විකුනන් කන උන් අතරේ අපේ බඩුමුට්ටු එතැන තියලා වතුරේ දියබුං ගහන්න අපි බයවුනා කියහල්ලකෝ. ආපහු එනිං ගමන් මුලින්ම අපිට හමුවු මීමුරේ මාකටින් අයියා මගදි මුලිච්චි වුනේ සුරියඅරණ පිචැර් එකේ වැද්දා ගේ කඩය තිබුනා කියපු හරියේදි. අපිට කරපු උපකාර වලට අධාරයක් නොකියා ඉල්ලූවා. එකට සරිලන්න කියලා කුමාර රුපියල් දාහේ මොනර කොලයක් පසුම්බියෙන් ඇදලා දීලා හොඳ පිනක් එහෙම කරගත්තා. 
ලොරියක බඩු පටවාගෙන මීමුරෙන් පිටත්වි එන්නට පෙර.


ඔන්න ඉතිං අර ගල්මුල් පෑදුනු පත සයිස් වලවල් එක්ක අගල් හැදුනු පාරේ ෆෝ විල් නැති කාර් එකකින් කන්ද අදිනවා කියන්නේ පන යන වැඩක්. කට්ටිය බැහැලා පයින් කන්ද නගිද්දි ටයර් කපාගෙන දුවිලි නංවාගෙන යනක  කාර් එකෙන් නැගගෙන දුලි වලාවන් ගෙන් හොදටම නෑවා. අන්තිමේදි අපි ආයේමත් මීමුරේට වෙනින් දවසක එන්න බලාගෙන සමුදුන්නා.

හෝව් හෝව් මීමුරෙන් ආවා කිව්වාට කතාව තව ඉවර නෑ.  

යාන්තම් ආපහු ලූල්වත්ත පාරෙන් හුන්නස්ගිරිය පාරට ආපු අපි දැන් මොකද කරන්නේ කියලා කතාවෙන්න ගත්තා. එකෙක් කියනවා කොළඹ යමු කියලා. අනිකා කියනවා නුවරඑළියට යමු කියලා. තිළිණයා කියනවා බදුල්ලේ ඉන්න එයාගේ ඥාතිගෙදරකට යමු කියලා. එක තිරණයක් නෑ. දැන් කාර් එක ධාවනය වෙන්නේ නුවරඑළියන්න බලාගෙන මහියංගන පැත්තටයි. කිලෝමිටර් අටක් දහයක් විතර යනකම් අපි තාමහරි තිරණයක් අරන් නෑ. මම මගේ නිශේධ බලය යොදවාලා කිව්වා කොහේවත් යන්න  ඕනේ නෑ අපි ආපහු කොළඹ යමුයි කියලා. කොහොමත් නුවරඑළි යන්න අකමැත්තෙන් හිටිය රාජු එකපාරටම මගේ  යෝජනාව අනුමත කළා. එහෙනම් යමු කියලා කාර් එක ආපහු හරවාගෙන නුවරට එන්න පිටත්වුනා. මඟක් දුරට එනකොට දැක්කා වික්ටොරියා වේල්ලට හැරෙන පාර එතැන ලොකු බොඞ් එකක් ගහලා තිබුනා.
"යමල්ලා වික්ටෝරියා ඩෑම් එක බලන්න."
 ඉතිං මගේ කැමැත්තට කවුරුත් ඉඩදීලා වේල්ල බලන්න එකගවුනා. 
වික්ටෝරියා වේල්ල නැරඹුම් කුටියේ සිට


අපිත් හිතාගෙන හිටියේ වේල්ල බලලා ඇවිත් දවල්ට කෑම උයාගෙන කන්න. එත් වේල්ල නරඹන නැරඹුම් කුටියට යන්නත් බොහෝ දුරක් යන්න ඔනේ. නැරඹුම් කුටිය තියෙන්නේ වේල්ලට ගොඩක් ඈතින්. හැබැයි වේල්ල හදපු හැටි ඇතුලූ ගොඩාක් විස්තර පින්තූර එකේ තිබුනා. අන්තිමේදි වික්ටෝරියා වේල්ල ගොඩාක් ඈත ඉදන් නරඹලා ඉවරවෙනකොට දවල් ඉර  හැරිලා පැය දෙක තුනකට වැඩිය පහුවෙලා ගිහිල්ලා. දැන් ඉතිං බඩ පනුවෝත් බඩගින්නට අරගලකරල උන්ටත් මහන්සිවෙලා තිබුන වෙලාවක්. ආපහු නුවර මහියංගන පාරට ඇවිල්ලා කෑම උයාගන්න තැනක් හෙව්වා. වේගල හරියේ පාර අයිනේ අපිටම කියාපුතැනක් සෙට්වුනා.


ඔය තියෙන්නේ කෑම උයපු තැනයි. එහා පැත්තේ එළවළු කඩයි.


 එතැන මීට ඉස්සර කට්ටිය කෑම උයලා ගිය ලිප්ගල් එහෙම තිබුනා. කැලෙන් දරකොටු කඩන් ඇවිත් ලිප පත්තු කරන් බතක් උයන්න ගත්තා. බිමට පැදුරු දමන් කුමාර ලූනු කපනවා. කුමාර තමයි අපේ ප‍්‍රධාන කෝකියාවුනේ. එ් අස්සේ රාජුවා කෑම උයන්න කිසිම උදව්වක් නොකර අර අපේ ඉතුරුවෙච්චි බෝතලයකට වගකියන්න ගත්තා. බිත්තර බැඳලා සැමන් තෙල්දාලා පරිප්පු වැංජනයක් එක්ක බත් මුට්ටියක් උයලා ඉවරවෙද්දි තිළිණයත් බෝතලයට සෙට්වේලා. වාහනේ පදවාගෙන කොළොම්පුරේට එන්න තියේන හින්දා මම ඇරෙන්න අනෙක් තුන්දෙනා බොතලෙන් අනුමතවුනා. එ් අස්සේ රඹටි කැඩෙන්න බිව්ව රාජුවාට බොනවතුර බෝතලයක් කඬේකින් අරන් එන්න කිව්වාම සල්ලි නෑ කියලා ඇඹරුනු මිනිහා පාරෙන් එහා පැත්තේ තිබුන එළවළු කඩයකට ගිහිල්ලා මෙන්න ලොකු එළවළු ගෝනියක් උස්සාගෙන එනවා.
"ඈ බං මොකටද මේ එළවළු?"
"ගෙදර ගෙනියන්න."
"කෝ ගෙන්න කියාපු වතුර බෝතලේ?"
"එ්ක අරන් එන්නම්."
"බලපං මේ කාර් එකට  ඕවා දාන්න ඉඩ තියේනවාද?"
"මේ තියෙන්නේ ඔනේ තරම් ඉඩ."
"උඹේ ඔය ගෝනිය එබුවාම මේ හට්ටි වලං දාන්නේ කොහේද? "
:"කොහෝම හරි අරන් යමු." 
බත් උයන්න බඩු මුට්ටු එළියට අරගත්තු හින්දා රාජු එයාගේ එළවළු ගෝනිය ඩිකියට එබුවා. ආයේමත් කඬේට ගිහිල්ලා මෙන්න යකෝ කොස්ගෙඩියක් උස්සන් එනවා. 
"මොනාද බං මේ උස්සන් එන්නේ? මේ කාර් එකට දාන්න පුළුවන් බරක් තියේනවා. මේක ලොරියක් නොමෙයි. කෝ වතුර බෝතලේ?"
"හරි හරි මං වතුර අරන් එන්නම්. "
ඔන්න ආයේමත් පාරෙන් එහා පැත්තට රාජුවා ගියා. දැන් කෑම උයාලා ඉවරවෙන්නත් ලඟයි. වතුරත් නෑ ගිය මිනිහත් නෑ. අන්තිමේදි මම ගියා රාජුවා බලන්න කඬේ පැත්තට. මිනිහා කඬේ මුදලාලිත් එක්ක ලොකු මුදල් ගනුදෙනුවක්. උඹ  ඕනේ දෙයක් කරගනින් කියලා මම වතුර බොතලයක් මිලදි අරන් ආපහු අපේ පැත්තට ආවා. මමයි කුමාරයි උයාපු බත් ටික කන්න පටන්ගත්තා. උනු උනුවේ පාරක් අයිනේ බස් හොල්ට් එකක් ඉස්සරා කෑම උයන් කනකොට තියෙන්නේ මාරම ආනන්දයක් තමයි. එ් උයලා කාපු බත් එකේ රස අදටත් මට දැනේනවා. ඔන්න පාරේ අයිනේ ඉදන් උයාපු කෑම එක කාලා ඉවරවෙනකොට හවස හයටත් කිට්ටුවෙලා.
පාරේ බස්වල යන මිනිස්සු අපි දිහා බලන්නේ මීට ඉස්සර දැකලා නැති අහිකුන්ටකයෝ ටිකක් දිහා බලනවා වාගේ. ටික වේලාවකින් මෙන්න රාජුවා විසාල පොල් ගොනියක් කර තියාගෙන එනවා. මේක දැක්කාම මට අසූ හාරදාහට මලම පැන්නා. 
"මොකක්ද බං මේ කරන්නේ? මම එකපාරක් කිව්වානේද මේ කාර් එකේ ඉඩනෑ කියලා?" 
"කොහෝම හරි ගෙනියමු."
"කොහෝම හරි ගෙනියන්න වෙන්නේ උඹව මෙතන තියලා."
"ඔය එළවළු මැනිං මාර්කට් එකෙන් මෙහෙට වඩා අඩුවට ගන්න පුළුවනි."
කුමාරත් කිව්වා.එත් රාජුවා මේවා අහන්නේ නෑ. අපේ ටි‍්‍රප් එකත් අනුභවකරලා දැන් තවත් මේකා ඇනයක් වෙන්න හදනවා. දැන් මෙතැනින් එන්න  ඕනේ වුනත් රාජුවා තාම කාලත් නෑ. 
"මම යන්නම් බස්එකේ කොළඹ උඹලාට මේවා ගෙනියන්න බැරිනම් මේ පල්ලමට විසිකරලා දානවා. මට සල්ලි ලොකු නෑ." 
ඊයේ රාත්තියේ රාජුවාට දෙකක් අනින්න බැරිවුන කෙන්තියෙන් හිටපු මට ආයෙමත් දෙකක් අනින්නමයි හිතෙන්නේ. බොහෝම නිස්කලංක චරිතයක් වුනු කුමාර උයපුපිහපු භාජන ටික සෝදලා දැම්මා. ඩිකියේ පුරවලා තිබුනු එළවළු ගොනියයි පොල් ගොනියයි එළියට ඇදලා දමලා අපේ ලට්ට පට්ට ටික මුලින්ම ඩිකියට අඩුක්කරලා දැම්මා. ඩිකියේ දොර වැහැව්වේ එළවළු ටික තැලෙන්න හොද නැතිවුනත් ඇතුලට කොහොම හරි රිංගවලා තමයි. දැන් පොල් ගෝනියටයි කොස්ගෙඩියටයි  මොකද කරන්නේ? 
"මිනිහෝ දැන් පේනවා නේද උඹේ ඔය පොල් ගෝනිය පටවන්න ඉඩක් නැති විත්තිය." 
"මු පොල් කොළඹට අරන්යන්නේ එහේ පොල් නැති ගානට.  දන්නේ නැද්ද පොල් ති‍්‍රකෝණේ කොහේද කියලා?  මට පෙන්නේ මේකා වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැති පාටයි."
"හරි එහෙනම් පොල් ගොනියත් විසිකරපල්ලා. එළවළු ගොනියත් විසිකරපල්ලා. මට ඔය සල්ලි ලොකු නෑ. "
"අර අමාරුවෙන් එළවළු ගෝනිය ඇතුලට ඔබලා වහාපු ඩිකියේ දොර රාජුවා අයෙත් අරින්න හදනවා. "
"යකෝ  ඕක ආයෙත් අරින්න එපා."
"නෑ නෑ උඹලාට මේවා අරන් යන්න බෑ කිව්වේ. මට ඔනේ නෑ විසිකරලා යමු. මට ඔය සල්ලි ලොකු නෑ."
"ඇරලා එළියට ඇදලාදාපං බං මුගෙන් තියෙන මළකරදරේ. "
"ඔන්න ඔහේ කොහොම හරි අරන් යමු බං. පව්නේ ගෙදර ගෙනියන්න ගත්තු එ්වානේ. "
තිළිණයාගේ හිත උනුවෙලා කියවන්න ගත්තා.
"එහෙනම් අපිත් ගෙවල් වලට ගෙනියන්න අරවා මෙව්වා අරගන්න එපැයි. මේ මී හරකාට තේරෙන්නේ නැද්ද මේක කාර් එකක් මිස ලොරියක් නොවන විත්තිය. ඉඩක් ඇත්තෙත් නෑ තවත් පටවා ගන්නවා." 
"එයි උඹ කන්නේ නැද්ද?"
"මට එපා. "
"කියන දේ අහලා කාලා හිටපං."
"එක සැරයක් කිව්වානේ මට එපා. මට සල්ලි ලොකු නෑ."
"මූට සල්ලි වැඩි වෙලානේ. එපා නම් දාලා යමු."
"හරි බං ඔන්න ඔහේ අරන් යමු." 
පොල් ගොනියයි කොස්ගෙඩියයි එළියට දමලා පිටිපස්සේ සීට් එකේ ඇලවෙලා හිටපු රාජුවාට දිහා බලලා කුමාරත් කිව්වා.
 "ඔය පොල් ගෝනිය සිට් එක උඩ තියන්න බෑ. මුට ඔඩොක්කුවේ තියාගෙන යන්න කියපං." 
ඉතිං දැන් ඇදිරිවැටිලත් ඉවරයි. ආයෙත් ඉතිරි බඩු ටික පිටිපස්සෙන් පටවාගත්තාට පස්සේ  කොස් ගෙඩිය රාජුවාගේ කකුල් දෙක යටින් තියලා පොල් ගෝනිය ඔඩොක්කුවේ තිබ්බේ ආයෙත් ඌට හැරෙන්නවත් බැරිවෙන විදිහට. කොළොම්පුරේට එන්නට අපි එතැනින් පිටත්වෙලා ආවේ හවස හතට විතර. මීවිතෙන් සප්පායම් වෙලා බඩ පැලෙන්න කාලා හොඳට ගොරව ගොරවා උන් ටික බුදියා ගනිද්දි උන්ට හිතෙන් බැන බැන මම කාර් එක කොළොඹට පැදෙව්වා. එන අතර මගදි කුමාරත් එයාගේ හට්ටිවලං පැඳුරු කොට්ට ආදියත් එක්කම භාරදීලා ඊළග කොලොන්නාවෙන් රාජුවත් හැළුවා. රාජුවා බැස්සාම මට තිබුන ලොකුම හිසරදය නැතිවුනා වගේ වුනා. ආයේමත් කොළොම්පුරයට සම්ප‍්‍රාප්තවුන මම මුලින්ම හිතාගත්තේ රාජුවා වාගේ අමු බේබදු පිස්සෝ එක්ක කොහේවත් යන්නේ නෑ කියලා. 

ඔන්න  ඕක තමයි අපේ භීතිය තාස‍්‍රය ඉස්පොල්ලේ ගිය මීමුරේ සවාරිය. ආපහු එන ගමනේ සිදුවුනු තවත් බොහෝ දේවල් තිබුනත් ලිපිය තවත් මාගලක් වාගේ දිගුවෙන බව නිසා කෙටිකරලා දැම්මා.

Saturday, May 27, 2017

ඉල ඇදෙන සටන් සමග භීතිය ඉස්පොල්ලේ ගිය මීමුරේ සවාරිය

හැමදාමත් කොළොම්පුරයට වෙලා ඉදලාත් බැරි හින්දා කොළොම්පුරේ කොළොම්පුරයෙන් පිටට යන්නයි මේ හදන්නේ. හැබැයි මේ  ලියන්නේ සයිබර් අවකාශයේ බොහෝ දෙනෙක් ලියලාත් තියෙන නොදන්නා කෙනෙකුත් නැති නොයිදුල් ගම්මානයක් කියාගත්තු හැමෝම ගිහිල්ලා නොයිදුල් එක ඉදුල් කරලා දමාපු මීමුරේ ගම්මානයට ගිය ගමන ගැනයි. මේ ලිපිය නම් මේ කවුරුත් ලියනා ජාතියේ මීමුරේ ගම ගැනවත් එහි පාරසරික වටිනාකම ගැනවත් ලියැවෙන ලිපියක් නම් වෙන්නේ නෑ. එහෙනම් මෙන අටමංගල්ලයක් ගැනද ලියන්න යන්නේ? මේක තමයි අවුරුද්ද පුරාම වැඩකරලා හෙම්බත්වෙච්චි කොළොම්පුරයා මානසික නිදහසක් ලැබගන්න කියලා මීමුරේ කියන නකලස් කඳු පන්තියේ අස්සේ තියෙන මහ කැලෑවක් මැද්දේ තනිවෙච්චි නොයිදුල් ගම්මානෙට ( එහෙම තමයි යනකම් හිතාගෙන උන්නේ) ගිහිල්ලා අලකරගෙන වනකරගෙන  භීතිය ඉස්පොල්ලේ ගිය සංචාරක ගමන ගැන ලියන්නයි මේ වෑයම් කරන්නේ. හැබැයි මේ ගමන ගියේ ඊයේ පෙරේදාක නම් නොවෙයි.



මීට අවුරුදු ගනනාවකට පෙර ඉදන් මගේ හිනයක් වෙලා තිබුනේ අවාරේට සිරිපාදේ කරුණා කරන්න. මීවිතක් එක්ක දොඩමළුවෙන කොට නම් අපායට උනත් යන්න ෆිට්වෙන යාළු මිත්තරයෝ වැඬේ සෙට් කරගෙන කතා කරද්දී නම් පස්ස ගහන්නේ මේ තුන්ලොකෙත් නැති ඉළ ඇදෙන බොරු බේගල් වලින් ගමනට සෙට් වෙන්නට බැරිවෙන කරුණුකාරණා පෙන්නලා තමයි. එ් වෙලාවට තමයි මුන් ජංගි අදින පිරිමිද කියලා හිතෙන්නේ. ඔන්න මීට අවුරුදු එකාහාමාරකට පෙරදි ආයෙමත් අර හිත්කොනක සැගවිලා උන්නු අවාරේ සිරිපාදේ ගමන එළියට ඇදිලා ආවේ. හොඳ හදවතක් තිබ්බ අපායට උනත් යන්න එක පයින් නොවෙයි දෙපයින්ම කැමතිවෙන කුමාර කියලා එක යාළුවෙක් එ් ගමනට එකතුවෙන්න කැමතිවුනා.  ඕනේම මගුලකට මාත් එක්ක සෙට්වෙන බිරින්දෑවගේ ඥාති සහෝදරයා වෙච්චි තිළිණයත් එක්කාසු කරගත්තා. අන්තිමේදි  සුපුරුදු විදිහටම නොයෙකුත් හේතු ඇවිල්ලා සිරිපාදේ ගමන පස්සට ඇදෙන්න ගත්තා. එහෙනම් අපි යමු මීමුරේ කියලා කතාවුනා. ඔන්න එ්පාර මුං අහනවා මීමුරේ කියන්නේ මොකක්ද? එ් ගම තියෙන්නේ කොහේද? ගියාම බලන්න තියෙන්නේ මොනවාද කියලා පුරස්න වැලයි. අර වත්පොතේ නැත්නම් බුකියේ අපි මීමුරේ විකුණන් කන උන් සෙට් එකේ එකෙකුට කතාකොරලා විස්තර ඇහැව්වා. උන් ගාව තියෙන්නේ per Head  නැත්නම් ඔළුවකට ගෙවන ගානක්. ඔළුවක් තියෙන උන් නෙමෙයි නම් එ් ගාන ගෙවලා උන් එක්ක එකතුවෙනවා. එත් සිරි ලංකාවේ උපන්න අපිට මීමුරේට  ගිහිල්ලා  දවස් දෙකක් ඉන්න ටුවර් ගයිඞ්ලා ඔනේද? අනික සෙවන් සීස් කොස්කරලා එ් කියන්නේ සප්ත මහා සාගරය තරණය කොරලා ලෝකේ රටවල් ගනනාවකට පය ගහපු කොළොම්පුරයාට හුනෙක්ගේ අහවල් එකක් සයිස් සිරිලංකාවේ මීමුරේ කියන ගමට යන්න එජන්ට්ලා හොයනවාද? පිස්සුද උන්ට කුද ගහගන්න කියලා අපි මීමුරේ යන්නට දින වකවානුත් පිලියෙල කරගත්තා. 
කට්ටිය තුන් දෙනෙකුට විතරක් සීමාවෙනවා කියලා මේ ගමන යන්න තව රාජු කියලා යාළුවෙකුත් මේගමනට එකතුකරගත්තා. එ් අස්සේ තිළිණයාගේ පැත්තේ තවත් බර තියෙන ඥාති පවුලක අයියා මලෝ දෙන්නෙකුත් සෙට් උනේ උන්ගේ මොන්ටේරෝ ස්පෝට් ජීප් රථයවත් ගමනට අරන් එන බව කියලා තමයි. දැන් ගමනට දින ලංවෙන්න ලංවෙන්න ගෙනියන්න ඔනේ කරන බඩු මූට්ටු එහෙම ලෑස්ති කරන්න පටන්ගත්තා. ලොකුම අවුලවුනේ කූඩාරමක් කුලියට ගන්න එක තමයි. දැන් සුමානයක් තිස්සේ කූඩාරම් හොයනවා. අන්තිමේදි කුමාර කිව්වා අපි කූඩාරමක් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව සල්ලි වලට අරගමු කියලා. හොද තත්වයේ කෑම්පින් ටෙන්ට් එකක ගාන ඇහැව්වාම පිස්සු පීකුදු වෙනවා. එත් කොහොම හරි ගමනට පෙර දවසේ හවස්වෙනකොට තමයි කුලියට කූඩාරමක් හොයාගන්නත් ලැබුණා. එදා හවස්වෙනකොට අර සැප ජීප් එකක් අරගෙන එනවා කිව්ව අයියා මලෝ දෙන්නාගේ දුරකථන වල රිංස් යනවා විතරයි යන ඇමතුම්වලට නො ආන්සර්. දැන් කෑමද බීමද අඩුමකුඩුම ඉවුම්පිහුම් බඩුද ඔක්කෝම අරගෙන දෙයියනේ කියලා යන්න හැදුවාම අර ගෑණු ජංගි අදින අයියාමලෝ දෙන්නා පතරංග පොල්ලක් තියලා. දැන් ඉතිං මොකේද යන්නේ? ගමන  කල්දාමුද? පාරේ බස් එකේ යන්න බැරිද? ඔන්න ඔය වාගේ දහසක් පුරස්න කතාවෙද්දි මම කිව්වා නෑ ගමන කල් දාන්නේ නෑ. අපි යමු මගේ කාර් එකේ කියලා. කාර් එකක යන්න පුළුවනිද පාර හොඳයිද? ඔන්න තව ප‍්‍රශ්න වැලක්. කූඩාරමක් හොයාගන්න බැරිවුන හින්දා අපේ කුමාරයා අර ෆේස් බුකියේ මීමුරේ වළදන උන්ගෙන් කෙනෙකුට කතාකරලා විස්තර එහෙම අහලා තිබ්බා. ඔය විස්තර අහපු එකත් පස්සේ අපිට මාරම ඇනයක් වුනා. අන්තිමේදි මම තිරණය කලේ  යන්න පුළුවන් උපරිම දුරට කාර් එකෙන් ගිහිල්ලා යන්න බැරිනම් කාර් එක මගදමලා පයින් හරි ගමන යන්නයි.

 තිළිණයි මමයි 

 තිළිණයි රාජුවයි 

උදේ රැයින්ම තිළිණයි මමයි ගල්කිස්සෙන් පිටත්වෙලා කුමාරවයි රාජුවයි මගදි එකතුකරගත්තා. කුමාර ඉවුම්පිහුම් බඩු පැදුරුකොට්ට විතරක් නොවෙයි ලෝකල් විස්කි බොතල්  පහක්  අපි හතර දෙනාට අරන් ඇවිත් තිබුනා. උදේ පාතරාසය ගත්තේ කඩුගන්නාවේදි. උදේට කන්න අපි උඹගේ ගෙදරට එනවා කියලා මාවනැල්ලේදි දුන්න කෙටි දැනුම් දිමෙන් ජයටම කෑම මේසයක්  සකස්කරලා තිබු මගේ සාගර මිතුරෙක් වන නාවික ඉන්ජිනේරු කඩුගන්නාවේ කඞ්ඩා මහතායි. කඩ්ඩාගේ ඇඹෙිනියටත් ස්තූති කරන්නට ඔ්නේ. විනෝදෙන් විනෝදෙන් අපි මහනුවරටත් ආවා. මහනුවරත් පසුකරගෙන හුන්නස්ගිරියටත් ඇවිල්ලා ලූල්වත්තට යන පාරට වාහනය හරවාගත්තා. නියම ලස්සන පරිසරය රසවිදින්න හොදම ස්ථානයන් තිබුනා. කොබට් ගැප් එකට නැත්නම් අට්ටලමෙට්ටුව පහුකරලා යනකම් පාර එච්චරම අවුලක් තිබුනේ නෑ. 



තවත් දුරට යද්දි තමයි කොන්ක‍්‍රිට් කරපු පාරේ විසාල වලවල් අහුවෙන්න ගත්තේ. පව් අප්පා ග්රවුන්ඞ් ක්ලියරනස් නැති කාර් එහෙම යන්න බැරිව මග නතරවෙලා . දැන් බලන් යනකොට ඔක්කොමල්ලා යන්නේ මීමුරේ බලන්නයි. මගදි හමුවෙන කඩෙකින් කොච්චි දමාපු ලණු මිරිසක් එක්ක හායි හුයි ගාගා නහයෙන් ගිනි පිඹිමින්රොටි කාලා තේ බිව්ව අපි දවල් ඉර හැරිලා පැය දෙකකට පස්සේ විතර මීමුරේ මී ගහයටට එ්ගන්න ලැබුණා. 

එතැනත් වාහන එහාමෙහා කරගන්න බැරිතරම් වාහන ගාල් කරගෙන. සන්ගලාස් දාගෙන අලි කකුල් කළිසමක් ඇදගත්තු හුරුබුහුටි සියුමැලි කෙල්ලක් වාහන වලින් ආපු කොල්ලන්ට උඹ මචං වරෙන් පලයන් වගේ සුලලිත වචන සෙට් එකකින් කතාකොරනවා. බැලින්නම් අර මීමුරේ විකුණනන් කන උන්ගේ එකියක්. දැන් කොහේද අපේ කෑම්ප් එක ගහගන්නේ ? අපාරදේ කියන්න බෑ අපේ කුමාරයා විරයා වාගේ ඉස්සරාට පැන්නා. කුමාර මීට ඉස්සරයින් උන් එක්ක කතාකොරලා තිබුණ විත්තිය කිව්වා විතරයි උන් අපිව සාදරයෙන් පිලිගත්තා. එත් උන් එක්ක සෙට් වෙන්න මගේ එතරම්  කැමත්තක් තිබුනේ නෑ. අපි කූඩාරම් අරගෙන ඇවිල්ලා ඉන්නේ කියලා ගැන දැනගත්තු  හින්දා උන් කැමතිවුනා අපිට කුඩාරම ගහගන්න තැනක් පෙන්නන්න. හැබැයි එ් නිකං නම් නෙවෙයි. එ් හිටිය කොල්ලා කිව්වා අර සියුමැලි වචන කතාකරන අංගනාව එක්ක අපිට පිටත් වෙන්න එයා කෑම්ප් සයිට් එකක් පෙන්වයි කියලා. තවත් වේලාවක් මීගහ යට ගතකරපු අපිට පස්සෙන් එන්නයි කියලා තව ඇල්ටෝ කාර් එකකින් ආපු කොල්ලෝ සෙට් එකකුයි එක්කගෙන අර අංගනාව පිටත්වුනා. ආපහු ආපු පාරේම කන්දක් එහෙම නැගලා ටිකක් දුරක් ගමන් කරලා වෙනින් අතුරු පාරකට හැරුණා. ඒක තනිකරම ගල්මුල් පෑදුණු ගුරුපාරක්.  මගක් යද්දී අර කොල්ලන්ට කෑම දෙන්න කියලා උන්ගේ කාර් එක පාර අයිනේ නවත්තලා උන්වත් අරගෙන කන්දක් උඩ තිබුන ගෙදරකට අර කෙල්ල ගියා. ආයේ එකි නොමෙයි පැත්ත පලාතේ ආවේ.  අපිත් ඉතිං බලං හිටියේ අර සියුමැලි කෙල්ලත් එක්ක හොද චැටක් එහෙම දාගෙනම කුඩාරම ගහගන්න. ඔන්න එ්පාර පුදපි ගමන් කාපි යකා කියලා වයසක අංකල් පොරක් ඇවිදිල්ලා කියපි අර කෙල්ල තමයි උන්දෑව එව්වේ කූඩාරම ගහන තැනක් පෙන්නන්න කියලා. අමාරුවෙන් අපේ වාහනේට ගොඩකරගත්තු අංකල් ගොයියාව අරන් අබලන් පාරේ විසාල පල්ලමක් එහෙම බැහැගෙන තවත් දුරට ගියා. අන්තීමේදි පාර ඉවරවෙන්නේ ගොයම් කපලා දුඹුරු පාටින් වෙලිච්ච ඉපනැල්ල විතරක් ඉතුරුවෙලා තියෙන කූඹුරුයායක් ඉහළින්. ඔතැනින් අපේ වාහනය නතරකරන්න සිද්ධවුනා. අපේ කුඩාරම් ලට්ටපට්ට කෑම බිම අරන් පහළට බැහැලා කුඹුර උඩින් ගමන් කරපු අපිට ගල්කුට්ටි වලින් පිරිච්ච ලස්සන දොළපාරක් දකින්න ලැබුණා. බෝල ගල් උඩින් බඩුමුට්ටු අරන් ගමන් කරන එකත් ඉතිං පට්ට රිස්කි දෙයක් තමයි. වයසක ලොක්කාත් නිකං හිටියේ නෑ අපේ කුඩාරම කරේ තියන් උන්දෑ පහලොවේ විස්සේ කොල්ලෙක් වගේ ගල් උඩින් ජම්ප් කරගෙන විදලා ගියා. අපිත් ඉතිං අතිං පයින් බඩු මුට්ටු  කර තියං හති දමාගෙන අංකල් පොර පස්සේ යද්දි එයා ඉන්නවා දොළ පාර අයිනේ තියෙන ලොකු කුඹුක් ගහක් අද්දර සුදු වැලි ගොඩක් උඩට වෙලා. මෙතැන අපේ කුඩාරම ගහගන්නයි එයා කිව්වා. ඔන්න එයා කොහෙන්දෝ මන්දා උදැල්ලකුත් අරන් ඇවිල්ලා දුන්නා. කුඹුක් ගහ වටේටම තියෙන්නේ අර එක එක සයිස් එකේ බෝල  ගල් තමයි. ටිකක් ඈතට වෙන්න දොළේ ගහගෙන ඇවිල්ලා ගල් වල රැදුන දිරාපත් වෙච්චි කොටන් කිහිපයක් එහෙම උස්සන් ඇවිල්ලා අංකල් පොර කූඩාරම තියෙන ඉසව්වෙන් එහා ගොඩ ගහලා දුන්න ගිනි මැලයක් ගහන්න. අපිට උදව් කරපු මිනිහෙක් නිකං යවන්න බැරි හින්දා එයාට පලමුවෙනි බෝතලේ කඩලා පොඩි සොට් එකක් එහෙමත් දුන්නා. කරත්ත අඩි දෙකක් වාගේ වීදුරුව පිරෙන්න පොඩි ෂොට් එකෙන් දෙකක් දාගත්තු වයසක ලොක්කා අපි දුන්න රුපියල් පන්සියය අරන් අඩියට දෙකට මාරුවුනේ හවස්වෙලා අපේ වැඩ බලන්න එන්නම් කියාගෙන. 





  අපේ කූඩාරම 
     

ඔන්න අපි අර වැලි තලාවේ අමාරුවෙන් කූඩාරම ඔසවා ගත්තා. කූඩාරම ගහැව්වා  විතරයි බොන්න කොහොමත් කෑදර රාජු කාරයා බිමට පැදුරක් එලාගෙන අර කඩපු බෝතලෙන් අඩියක් එහෙම දාගෙන වැතිර ගත්තා. තිළිණත් කුමාරත් මමත් ඉතිං අර සුදුම සුදු පාටින් ගලා යන සීතල දොළේ ගිලූනේ ඇගේපතේ අමාරුව යන්නත් එක්කයි. අපි හිටපු කුඹුක් ගහට ටිකක් එහායින් තවත් කොල්ලෝ සෙට් එකක් කුඩාරමක් ගහගෙන උන්නා. උන් එ් වෙලාවේ ගෑස් ලිපක් එහෙම පත්තු කරන් උයනවා. තවත් උන් වගයක්  අපි නාන හරියට බැස්සේ උන්ටත් නාන්නයි. ඔළුකට්ට පෙගිලා මොලේට සීතලේ අල්ලනකම් දොළේ ගිලිලා හිටපු අපි ඇගේ තිබුණ පරණ කුණු තට්ටු ටිකත් අතුල්ලලා අයින් කරන් ගොඩට ආවා. එ් අතරේ අර කොල්ලෝ ටිකත් එක්ක කතාකලාම උන් අර මීමුරේ මාකටින් උන් ගේ ගැටයකට අහුවෙලා ආපු උන් ටිකක් තමයි. උන්වත් බලන්න මීමුරේ විකුණන උන්ගේ තව එකෙක් එහෙමත් ආවා. අපේ කුමාරයා එයාලගේ එකෙකුට කතා කරපු විත්තිය ඌටත් නිවුස් එක ගිහිල්ලා. අපිත් එක්කත් කතාකරපු මිනිහා අපිට රෑට පත්තු කරන්න පන්දම් දෙන්නත් පොරොන්දු වෙලා ගියා. දැන් ඉතිං ඇදිරිවැටෙන්නත් ලඟයි වගෙයි. අපි ගෙනාපු බාබකිව් උදුන අරන් එකට අගුරු කැට පුරවලා ගිනිතියන්න මාරම ගේමක් එහෙම දෙන්න සිද්ධවුනත් අන්තිමේදි කොහොම හරි අගුරුවලට ගිනි අවුලෝගත්තා. වෙලාසනින්ම බොන්න පටන්ගත්තු අපේ රාජුවා එතකොටත් මදපවනේ තමයි හිටියේ. අයිස්කැට පුරවාපු රෙජිෆෝම් පෙට්ටියක දමන් ආපු සොසේජස් හා කුකුල් මස් එහෙමත් එළියට ඇවිත් අගුරු ගොඩ උඩ පිච්චෙන්න පටන්ගත්තා.

 ගිනිමැලය

අපේ කූඩාරම අතුරුදහන් වෙන්නට පෙර

   
එහා පැත්තෙන් බොංගෝ තඩියකට තඩිබබා අර කොල්ලන් ටිකත් පාටිය පටන් අරන්. කොට ගොඩට ගිනි  තියලා අපේ ගිනිමැලයත් අවුලවාගත්තා. ඔන්න ආයේමත් ගල් උඩින් පැනන් ආපු මීමුරේ මාකටින් අයියා කෙනෙක් අපේ වාඩිය පැත්තෙන් එහා පැත්තේ කොල්ලෙන්ගේ වාඩිය පැත්තට ගියේ ගමේ පොරවල් දෙන්නෙකුත් එක්කයි. එන්න එන්න කරුවල වැඩිවුනා.  අපිත් අපේ පාටිය හිමිහිට පටන්ගත්තා. තරමකට වැදිලා උන්න රාජු පරාදවෙච්චි හිටපු මහරජානන්ගේ ගුණ කියන්නට පටන්ගත්තා. දේශාපාලනය අරහං වෙච්චි මට නම් ඔය වන්දභට්ටකම් අල්ලන්නේ නෑ. කොච්චර දේශපාලන කතා කියන්න එපයි කිව්වාත් රාජුවාගේ කියවිල්ල නැවැත්තුවේ නෑ. 
"තව කාලයක් ඉන්න තිබුණ එකේ එයා ඉල්ලගෙනනේ  පරාදවුනේ."
"උඹලා තමයි එ් රත්තරං මනුස්සයාව  පරාද කලේ. "
"අපි මොනාද බං කලේ? එයාව මිනිස්සුන්ට එපා වුන හින්දා නේද?"
කට පියාගෙන ඉන්න බැරිවුන මම ඔන්න ඔහේ කියලා දැම්මා. දේශපාලන වලියක් ඇදගන්න බලාගෙන හිටපු  රාජු වාදෙට පැටලූනා. කතාව යන අතරේත් අපේ බාබකිව් පාටියත් නැගලා යනවා. චිකන් හොදට සීසන් කරලා කුමාර ගෙදරින් අරන් ඇවිත් තිබුනා. එ් අතරේ තරමකට වැදිච්චි ගමේපොරක් විදුලි පන්දම් එළි අපේ මුණට එල්ලකරන් අපේ වාඩිය උඩින් පැනලා අර කොල්ලෝ සෙට් එක ඉන්න දිහාවට ගියේ මොනවාද මන්දා කියමින්. මේකට මද පවනේ වැදිලයි හිටිය කොළොම්පුරයාටත් ටිකක් විතර මලත් පැන්නාට උන්ගේ ගම හින්දා පොඞ්ඩක් ඉවසුවා. එහා පැත්තේ කොල්ලන් ගෙන් බීපු ටොච් ගහපු ගමේ පොරත් ටික වේලාවක පස්සේ අපිත් එක්ක මිවිත පුරන්න බලහත්කාරයෙන් වාගේ සෙට්වුනා කියපල්ලකෝ. ඔන්න දැන්තමයි  සීන් එකේ හොඳම හරිය පටන්ගන්නේ. රාජු කියන්නේ බී ගත්තාම කටකමිසිරියාවක් නැතිව කියනව වාචාලයෙක්. එ්කටම හරියන බීගත්තු ගමේ එකා ගමේ බයියෙක් නොවන බව පෙන්නන්න ඌත් අපේ කොළොම්තොටේ කරක්ගහපු නොදන්නා තැනක් නෑ විදිහට කියවන්න ගත්තා. 
"මහත්තයලා කොහේද? කොහේද වැඩකරන්නේ?"
"අපි කොළඹ තමයි. "
"මම වරායේ කෙන්ටේනර් එකක් එලෙව්වා."
"අපිත් වරායේ තමයි."
" දන්නවාද වාරයේ අර මහත්තයා. එකාට මගේනම කිව්වොත්  ඔනේම දෙයක් කරලා දෙයි." 
"ඇයි දැන් යන්නේ නැත්තේ?"
"මෙහේ කුඹුරු වැඩ බලාගන්න බෑ එහේ වැඩට ගියාම. තාමත් මට වරායෙන් කතා කරනවා. මම යන්නේ නෑ."
අපේ බොතලෙන් තව  වඩියක් විදුරුවට හලාගන්න ගමන් මිනිහා කිව්වා.
"වරායේ  වැඩට ගියේ මීමුරේ ඉදන්ද?" 
කුමාර ඇහැව්වා.
"මෙහේ ඉදන් යන්න පුළුවනිද මහත්තයෝ?  ඒකාලේ මම බෝඩිම් වෙලා හිටියේ කොලොන්නාවේ. "
"කොලොන්නාවේ  කොතනද? මමත් කොලොන්නාවේ තමයි." 
රාජු මැදට පැනලා ඇහැව්වා.
"කොලොන්නාවේ .................... හරියේ වංගුවේ ගෙදරයි. එ් ගෙදර ඇන්ටිගෙන් අහන්න." 
"ඔය කියන හරියේ එහෙම ගෙයක් නෑ." 
"එහෙම කොහොමද කියන්නේ මම හිටියේ එ් ගෙදර උඩ තට්ටුවේ. ඇන්ටිට දුවලාදෙන්නයි පුතයි හිටියා."
"අනේ පලයන් යන්න. බොරු කියන්න එපා බං. කොලොන්නාවේ .................... ඔය වංගුවට ගෙවල් දෙකක් එහායින් මගේගෙදර තියෙන්නේ. බලාපල්ලා මූ කියන පට්ට බොරු." 
"අනේ මචං  ඕක නවත්තපං. අපි මේ ආවේ ගම බලලා පොඩි ආතල් එකක් අරන් යන්න. පිස්සු වැඩ නතරකරපං."
මුං දෙන්නා මගේ කීම අහන්නේ නෑ.
දැන් ඉතිං වලියක් ඇරඹෙන තරමේ වාග් ප‍්‍රහාර දෙන්නා අතර ඇතිවෙන්න ගත්තා.
"මේ රාජු දැන් ඇති කියෙව්වා. නවත්තගනිං. "
"මම රාජුට අනතුරු ඇඟව්වා. "
"මචං අපේ රාජුට පොඞ්ඩක් වැඩි ඔය කතා නවත්තලා දාපං."
ගමේ බුවාව ශේප් කරගන්න බැළුවත් ඌත් මට සරේන්ඩර් වෙන්නේ නෑ.  ගමේ උන්එක්කලා වලියක් ඇදගත්තොත් මොකද කරන්නේ? මේ කැලේ කොහේ කියලා දුවන්නද? 
"අපේ ....... මහත්තයාව පැරද්දුවා උඹලා දන්නේ නෑ එ් මිනිහාගේ වටිනාකම."
රාජු එ් ගමන ආයේමත් දේශපාලනය ඇදලා ගත්තා. ගමේ එකත් ඇරියේ නෑ. ඌත් බීමතින් කියවන්න උනා.


මද පවනේ ඉන්න රාජුවා

කොහොම හරි ආයෙත් රාජු මාත් එක්ක වාදෙට පැටලූනා. 
"යකෝ කිව්වාම අහලා දැන්වත් උඹේ කට නවත්තාගනිං."
රාජු එක දිගට  කියවනවා විතරක් නොවෙයි ගමේ උන්ටත් චැලෙන්ජ් කරන්නට පටන්ගත්තා. 
"මචං තිළිණ මේකා කියවන එක නතර කරන්නේ නෑ. මූට දෙකක් ඇනපං. "
මම මගේ ඥාතියාට   ඕඩරේ දුන්නා. 
"උඹ මට ගහන්න. යකෝ උඹෙන් ගුටි කන්නද මාව මේ හද්දා කැලේට අරන් ආවේ?  මම දැන් යනවා කොළඹ. උඹලාට මාව එපා හින්දා නේ ඔහෝම කියන්නේ. උඹලාට මට වැඩිය මේ ගමේ බයියෝ ලොකුවෙලා. "
"කෑනොගහා හිටපන්." 
"මම කෑගහන්නේ නෑ.උඹනේ කෑ ගහන්නේ"
" යකෝ දැන් උඹනේ කෑ ගහන්නේ." 
"එයි තිළිණයා ගහපන්  මූට දෙකක් කොච්චර කිව්වාත් මූ කටපියාගන්නේ නෑ."
"මම මොකටද කට පියාගන්නේ. මම ජීවත්වෙන පැත්ත ගැන  මූන් කොහොමද කියන්නේ."
"මූට කියන එක තේරෙන්නේ නෑ. තිළිණ ඇනපං බං මේ හරකාට දෙකක්."
තිළිණයා නම් ඇහුනේ නැති ගානට ඉන්නවා. 
"එයි තිළිණ මොකද බං බලාගෙන ඉන්නේ?  උඹට බැරිනම් කියපං මම දෙකක් ඇනලා කට වහන්නම්."
"පිස්සුද බං රාජු උඹේ යාළුවෙක් නේ.  මට පුළුවන්ද ඌට ගහන්න?"  
මේ අතරේ අපිට පන්දම් දෙන්න පෙරොන්දු වුනු මීමුරේ මාකටින් අයියා එක්ක ඇවිල්ලා ගිය ගමේ බුවාලා දෙන්නාත් එ් පාර එතැනට ආවා. හැබැයි මම හිතුවේ උන් දෙන්නාත් අර බේබදු බයියා  එක්ක සෙට්වෙයි කියලා. එහෙම උනේ නෑ. උන් දෙන්නා කොහොම හරි අර බේබදු බයියාව එතැනින් පිටත්කරවන්න කටයුතු කෙරේව්වා. කුමාර එයාලටත් අපිත් එක්ක පොඩි ෂොට් එකක් දාන්නත් කතා කළා.
"මට ඉන්න බෑ. මම යනවා කොළඹ." 
"දැන්  යන්නද?"
"ඔව් මේ කැලේ ඉන්න බෑ. උඹලා මට ගහන්නයි හදන්නේ."
"දැන්වත් ඔය කියවිල්ල නවත්තාගනිං නැත්නම් උඹට මම ගහනවා."
"නෑ නෑ උඹලාත් එක්ක ඉන්න බෑ. මම දැන්ම යනවා කොළඹ." 
"උඹ දැන් යන්නේ කොහොමද? "
තිළිණයා ඇහැව්වා. 
"සල්ලි දෙන්නම් මාව ගිහිල්ලා දාපං." 
රාජු ගමේ බුවාලට කියන්න උනා.
"දැන් යන්න බෑ මහත්තයෝ."
"මාව මේ කැළෙන් පාරට ගිහිල්ලා දාපල්ලා. මම පයින් හරි යනවා." 
"කොළඹටද උඹ  පයින් යන්නේ?"  කුමාර ඇහැව්වා. 
දැන් රාජු අපිට මාර ඇනයක් වෙන්නයි යන්නේ. 
"ඔන්න  ඕකාට යන්න දිපල්ලා බං මු මාරම ඇනයක් වුනානේ."
"දැක්කානේ ඉස්සෙල්ලා මට ගහන්න හැදුවා. මුන් එක්ක කොහොමද මෙහෙම ඉන්නේ?"
"පලයන් දැන්ම පලයන් හැබැයි උඹ ගැන අපි වගකියන්නේ නෑ. "
"මේ කැලේට එක්කන් ඇවිත් දැන් එලවනවා. ඉල්ලන  ඕනේම ගානක් දෙන්නම් මාව පාරට දාපල්ලා බං. බැරිද?  හරි උඹලාට බැරිනම් මම යනවා."
"පිස්සුද මහත්තයෝ දැන් ආපු පාරේ යන්න බෑ අලිත් ඉන්නවා. ඔනේනම් උදේට යන වෑන් එකට දාන්නම්. " 
අපිත් එක්ක මිවිතට සෙට් වුනු ගමේ උන් දෙන්නා කිව්වා.
ලස්සනට ප්ලෑන් කරන් ආපු මීමුරේ ගමනේ රාජු ගේ පිස්සු නැටිල්ලත් කියවිල්ලත් වැඩිවුනා. එ් එක්කම  මට ඇතිවෙච්චි කේන්තියත් නිසා මීවිතත් පෙවුනා වැඩිවුනා. රාජු කුඩාරමට ගිහිල්ලා කොළඹ යන්න ඇඳුම් බෑග්එක හොයනවායි තිළිණයා කිව්වා. මේ බේබදු පිස්සාට මහ රාත්තිරියේ කැලැවක් මැදින් ආපහු යන්න දෙන්න පුළුවන්ද? කොච්චර කිව්වත් කියන දේ අහන්නේ නැති රාජුට දෙකක් අනින්න අමාරුවෙන් කුඹුක් ගහ අයිනේ එලපු පැදුරෙන් අමාරුවෙන් අපහසුවෙන් නැගිටලා ගියාත් පොඞ්ඩක් විතර මගේ මතකයේ රැදිලා තිබුනා. ඊට පස්සේ වෙච්චි කිසිම දෙයක් මතකයෙන් අතුගෑවිලා ගිහිල්ලා. අදටත් එ්ක මතක් වෙන්නේ නෑ.
ඉතිං ඊට පස්සේ.................?????????

කුතුහලය කැටිවු ත‍්‍රාසය හා ඉලඇදෙන භීතිය සමගින් වැඩිහිටියන් පොඩිහිටියන් ඇතුලූ පවුලේ සැමට නැරඹිය හැකි සටන් ජවනිකා පිරුනු මීමුරේ සවාරියේ 2වන කොටස ළඟදීම.......

දෙවන කොටස බලන්න මෙතැනට කොටන්න