Monday, February 13, 2017

අ සම්මත වැලැන්ටයින්


 

සුසුමක් සේ සමුගෙන
පැතු රුව ගියදිනේ
රිදවයිද විරහව
සැඟවි හදවත කොනේ
එක්කර බැඳුනේ
දෑඟිලි රන්හුයෙන්
නිවිය හැකිද හද ගිනි
අත වත්කල පැනින්
සිත් බැඳි ආලය
කෙලෙසක සැඟවන්නට
ඔබ මා හමුවන දිනකදී
යළි අප අද
හදවත අයදි සෙනෙහස
පුබුදාලන්නට ආලනුරාවන්
දෙනෙත් වසා
මුලූ ලොවට හොරෙන්

Saturday, February 11, 2017

පත්තර ලෝකයේ රජකල ටයිම්ස් මන්දිරය




කොළොම්පුරේ පත්තර ගැන මීට ඉස්සර ලිපියක් කතාකරා. මෙවර කොළොම්පුරෙන් කතාකරන්න යන්නේ කලකට ඉස්සර ලංකාවේ පත්තර ලෝකයේ දැවැන්ත පුවත්පත් සමාගමක්වු ටයිම්ස් සමාගම ගැනයි. කොළඹ ටයිම්ස් මන්දිරය තමයි එදා ලංකාවේ පත්තර මහගෙදරවුනේ.  1846 අගෝස්තු මාසේ 11 වෙනිදා තමයි සිලොන් ටයිම්ස් පත්තරේ කලඑළි බහින්නේ. පස්සේ කාලේක මේ සිලොන් ටයිම්ස් පත්තරේ ටයිම්ස් ඔෆ් සිලොන් නමින් වෙනස් වෙනවා. මේ පත්තරේ මුලින්ම පටන්ගන්නේ ඉහළ චැතැම් විදියේ බ්‍රෝඞ් සහ සමාගම පිහිටුවා තිබු තැනයි. පත්තරේ පටන් ගන්නේ ආරම්භක කර්තෘ හියු ස්ටුවට් මහතා හා කොරනේලිස් ඩයස් මහතා එකතුවෙලා තමයි. පස්සේ කාලෙක ලංකා ව්‍යවස්ථාදායක සභාවේ මන්ති‍්‍ර ධුරයක් දැරු ජෝන් කැපර් මහතා මේ පත්තරේ හියු ස්ටුවට් මහතාගෙන් මිලට ගන්නවා. එ් 1864 හෝ 1865 අවුරුද්දේ වෙන්න ඇති කියලා තමයි සඳහන් වෙන්නේ. 1866 අවුරුද්දේ ජෝන් කැපර් මහතා මේ පත්තර කන්තෝරුව චැතැම් විදියේ කුඩා ගොඩනැගිල්ලකට අරගෙන යනවා. මේ ගොඩනැගිල්ල තිබුනා කියන්නේ පසුකාලිනව ගොඩනැගු ලෝඞ් නෙල්සන් හෝටලය තිබුන බිම්කඬේ තමයි. 



මේ පත්තරේ තනි අයිතිය තිබු කැපර් පුත‍්‍ර සමාගම  1881 අවුරුද්දේ අගෝස්තු 1 වෙනිදා පත්තරේ සවර්ණ ජයන්ති  උළේල පැවැති අවස්තාවේදි සිලොන් ටයිම්ස් පත්තරේ ටයිම්ස් ඔෆ් සිලොන් නමින් නම වෙනස් කරනවා. මේ ටයිම්ස් පත්තර කන්තෝරුවට අලූත් ගොඩනැගිල්ලක් හදන්න  ඕනෑ කියා හිතුව ජෝන් කැපර් මහතා  හා එයාගේ පුතුන් දෙන්නා කොටුවේ බි‍්‍රස්ටල් විදියෙන් ඉඩමක් වෙන්දිසියකින් මිලදි ගන්නවා. එදා මේ මිලදි ගත්තු ඉඩමේ මිල වුනේ රුපියල් 27000ක්. ඔය ඉඩම පිහිටුවා තිබුනේ කොටුවේ මහවිදිය (මෙන් ස්ටි‍්‍රට්* හා බි‍්‍රස්ටල් ස්ටි‍්‍රට් එකතුවෙන ස්ථානයේ දකුණු කෙලවරයි. ඔවුන් තම මන්දිරය විශාලව හදාගන්න අවට බිම් කොටස්ද මිලට ගත්තා. එ් අක්කරය දසලක්ෂයකට තක්සේරුකරන ලද මිලගනන් වලටයි. මේ ගත්තු ඉඩමේ දෙමහල් මන්දිරයක් හදවා 1894 අවුරුද්දේ ඒ මන්දිරයේ ටයිම්ස් පත්තර කන්තෝරුව පිහිටුවාලූවා. 



ජෝන් කැපර් මහත්තයා 1912 අවුරුද්දේ ටයිම්ස් පත්තර ව්‍යාපාරය පෞද්ගලික සමාගමක් විදිහට ලියාපදිංචි කෙරෙව්වා. ඔවුන් 1923 අගෝස්තු මාසයේ 05 වෙනිදා ටයිම්ස් ඔෆ් සිලෝන් සන්ඬේ ඉලස්ට්රේටඞ් පත්තරය ඇරඹුවා. පසුව මේ පත්තර් හැදින්වුයේ ටයිම්ස් වික්එන්ඩර් නමින්. කැපර් මහතා ටයිම්ස් පත්තර කන්තෝරුවට 1929 දි මහල් හයකින් යුතු නව ගොඩනැගිල්ලක් හදන්නට වොකර් පුත‍්‍ර සමාගමට බාරදුන්නා. 1932 අවුරුද්ද වෙනකොට මේ ගොඩනැගිල්ලෙන් අඩක් නිමකරලා තිබුනා. පත්තර කන්තෝරුව අලූත් ගොඩනැගිල්ලට ගෙවදිලා පරණ දෙමහල් ගොඩනැගිල්ල කඩා ඉවත්කරලා දැම්මා. 1935 අවුරුද්ද වෙනකොට මේ සය මහල් ගොඩනැගිල්ල වොකර් පුත‍්‍ර සමාගම සාදා නිමකෙරුනා. මේ අලූත් මන්දිරය විවෘත කරන්න ආවේ ලංකාන්ඩුකාර සර් ඇන්ඩෲ කොල්ඞ්කොට් මහතායි.  මේ ටයිම්ස් මන්දිරය තමයි එදා දවස ලංකාවේ පිහිටි උසම ගොඩනැගිල්ලත්  ආසියාවේ විශාලතම පුවත්පත් ආයතන වලින් එකක්දත් වුනේ. 

ජෝන් කැපර් මහත්තයා රුපියල් ලක්ෂ 70 කට මේ ටයිම්ස් පුවත්පත් ආයතනයත් ගොඩනැගිල්ලත් එහි ඉඩමත් 1946 දෙසැම්බර් මාසයේදි විකුණා දැම්මා. ලංකාවේ ධනවත් ව්‍යාපාරික වැවිලිකරුවෙකුවු  සි.ටි. රස්ට් මහතා තමයි එය මිලදි ගත්තේ. ටයිම්ස් පත්තර සමාගමේ කොටස් විකුණා දමන්නට 1947 දි රස්ට් මහතා කටයුතුකළා. ඉන් වැඩිම කොටස් ප‍්‍රමාණයක් මිලදිගත් ආරුමුගම් සංගරපිල්ලේ මහතා ටයිම්ස් අධ්‍යක්ෂක මන්ඩලයේ සභාපති ධුරයට පත්වුනා. එහි කළමණාකාර අධ්‍යක්ෂක බවට එ්.සි. තංගරාජා මහතාත් පත්වුනා. මේ පත්විම් සිදුවිමත් එක්කම ටයිම්ස් පත්තර කන්තෝරුව ලංකීය ව්‍යාපාරයක් බවට පත්කරමින් දේශපාලන හා සංස්කෘතික පෙරලියන් ඇතිකරන්නට ඉවහල්වුන සිංහල පත්තර කලාවක උපතත් සිද්දවුනා. මෙයට පෙර මේ සමාගමේ අයිතිය තිබු විදේශිකයින් සිංහල පුවත්පත් මුද්‍රණය කිරිමට මැලිකමක් දැක්වන්නට හේතුවුනේ සිංහල පුවත් පතක් මුද්‍රණය කලහොත් සවදේශිකයින්ගේ අයිතිවාසිකම් රැකදිමට ඉංග‍්‍රිසි ජාතිකයින්ටම සිදුවන බව ඔවුන් තුල මුල් බැස තිබු මතයක් වු බැවිනි. සිංහල පුවත්පත් කතුවරයෙකුවු ඩි.ඩබ්ලිව් වික‍්‍රමාරච්චි මහතා කලකට පෙර ටයිම්ස් සාමාන්‍යාධිකාරි සි.එ්. ගැල්පින් මහතා සමග සිංහල පත්තරයක් මුද්‍රණය කරන්නට සාකච්ඡුා කලත් එය අසාර්ථකවුයේ මේ නිසාවෙනි.

ඩි.බි.ධනපාල මහතා 

ටයිම්ස් සභාපති ආරුමුගම් සංගරපිල්ලේ මහතා  ඩි.බි.ධනපාල මහතාගේ මැදිහත්විම යොදාගෙන ලංකාදිප නමින්  සිංහල පුවත්පතක්  1947 ඔක්තෝබර් 27 මුද්‍රණය කළා. මුල්ම ලංකාදිප පත්තරේ මුද්‍රණයවුනේ දිනපතා සවස පත්තරයක් ලෙසිනුයි. ලංකාදිප පත්තරේ ප‍්‍රධාන කර්තෘවුයේ  ප‍්‍රකට වියතෙකුවු ජුලියස්ද ලැනරෝල් මහතායි.  1948 දි ලැනරෝල් මහතා අස්වියාමෙන් පසුව එහි ප‍්‍රධාන කර්තෘ බවට ඩි.බි.ධනපාල මහතා පත්වුනා. ටයිම්ස් පත්තර කන්තෝරුවේ සවර්ණමය යුගය ආරම්භවුනේ ඉන් පස්සේ තමයි. හවස ලංකාදිප පත්තරේ උදෑසන පත්තරයක් ලෙසින් 1949 මැයි 01 දා සිට පළවෙන්නට ගත්තා. 1949 ඔක්තෝබර් 28 ඉරිදා ලංකාදිප පත්තරේ ටයිම්ස් මන්දිරයෙන් මුද්‍රණයෙන් පළවුනා. 1956 අවුරුද්දේ  බුද්ධජයන්ති උත්සවය නිමිති කරගෙන රසවාහිනි ශාස්ත‍්‍රිය සගරාව මැයි මාසයේදිද වනිතාවිත්ති කාන්තා පුවත්පත 1957 අපේ‍්‍රල් 12 වෙනිදාත් මුද්‍රණයෙන් පිටවුනා. මේ පත්තර කන්තෝරුවෙ මුද්‍රණය කෙරුනු සිංහල පුවත් පත් මගින් දේශිය වෙදකම නාට්‍ය කලාව සංගීතයේ හා සංස්කෘතියේ නව ප‍්‍රබෝදයක් ඇතිකරවුවා. 

එත් පසුකාලිනව මේ පත්තරකන්තොරුව බිඳවැටෙන්නට එහි දුර්වල පරිපාලනය විශාල වශයෙන් බලපෑවා. අන්තිමේදි විශාල පාඨකයින් සංඛ්‍යාවක් සිටි ලංකාදිප පත්තරේවත් නියමාකාරයෙන් පවත්වාගෙන යන්නට ඔවුන්ට බැරිවුනා. දුර්වල පරිපාලනය යටතේ අමාරුවෙන් කරගෙන ගිය ටයිම්ස් පත්තර සමාගම 1977 අවුරුද්දේ අගොස්තු මාසයේ 02 දා රජයට පවරාගෙන නිසිබලධාරියෙකුගේ පාලනයට පත්කළා. අවසානයේදි සිංහල පත්තරකලාවේ ජයකෙහෙලි නැංවු ටයිම්ස් පත්තර කන්තෝරුව වැහිලාම ගියා. 

Friday, February 3, 2017

නිතීඥ ජොන් ද සිල්වා ලියු නුර්ති ගී

නිතීඥ ජොන් ද සිල්වා මහතා කියන්නේ අපේ රටේ ෂෙක්ස්පියර්, සිංහල නාට්‍යයේ පියා,  ලංකා කාලිදාස යන විරුදාවලීයන් ගෙන් හැඳින්වුනු කලාකරුවෙක්. අපේ කොළොම්පුරෙන් මීට පෙර ඔහු ගැන ලිපියක් පළවුනා. එය මෙතැනින් බලාගන්න පුළුවනි. එහෙනම් දැන් මොනවාද ඔහු ගැන කතාකරන්න යන්නේ? මෙවර අපේ කොළොම්පුරේ ලිපිය සකස්වෙන්නේ අපේ කලා ලොවේ අදටත් නිතරම කියැවෙන එතුමා රචනා කරන ලද නුර්ති ගීත ගැනයි. මේ ගීතයන් ඔයාලත් හොඳට අහලා ඇති නේද? හැබැයි නිතීඥ ජොන් ද සිල්වා මහතා මේවා රචනා කළා කියලා දැනගෙන හිටියේ නෑ නේද?





අඹ දඹ නාරන් කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම් 
ගංගාවේ  ඕලූ ඇත්තේ  එ්වායේ කෑම නැත්තේ
ඇත පුෂ්ප  අත්තේ අත්තේ එ්වා පිපේ
(රමායණ නාට්‍ය)


දන්නෝ බුදුන්ගේ ශ‍්‍රී ධර්මස්කන්ධා  

පේවි රකීති  සොඳ සීලේ නිබන්දා
ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය  බෝසේ 
රහතුන් නිවසනා පාය ප‍්‍රකාසේ...... 
(සිරිසඟබෝ චරිතය)






සුවඳ පත්ම  ඕලූ ආදී නොයෙක් පුෂ්පයෙන් සැදී 
සරන හංස සේරු බෝම පොකුණු  ශිත පැන්පිරී 
සුවඳ ......
(දුටුගැමුණු චරිතය)

දන්න වම්හුම් අප කන්නසාමි රාජධුරයේ

රාජධුර   රාජධුර    රාජධුරයේ
දන්න වම්හුම් ......
රකී බුද්ධ ධරමේ සීල පුර්වේ රජුන් ලෙසේ
අධර්මිෂ්ඨ  නීච කි‍්‍රයා යයි මැකී ලකේ
(ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ චරිතය) 







අද වෙස්සන්තර රාජපුතා මංද්‍රි කුමාරි බඳී  
දේවෝපකාරෙ වේවා සෑදීසෙත් 
රට වැස්සන්ගේ කාලේ  හොඳා 
දුර්භික්ෂ යාය සිදී 
මංගල්ලේ සාරවෙවා සෑදී සෙත් 
(වෙස්සන්තර නාට්‍ය)






වාසනා දිනේක මේක පාමූ තුටින් සිතේ 
පාමූ තුටින් නටමු  මේ ලී දරා අතේ
වාසනා දිනේක ඔහෝ
වාසනා දිනේක මේක පාමූ තුටින් සිතේ 
(රත්නාවලි නාට්‍ය)






පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින් 
සංගීත සිංහලේ ද්වීපේ
මාවාගෙ උගත් මේ කාලෙ අයෙක් නැත
ඊට දුර්ජනා කෝපේ 
මහ  මෝඩකමක් තව ඇද්ද රටේ මා
එක්ක අනේ ඇයි කොපේ
ඇන්නෑ ඊර්ෂ්‍යා  මුන්ගේ  මෝඩකම් පේනා
(ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ)






මගේ මද්‍රී නම් බිසෝගේ 
යාඥාව  බෝය වේගේ
නෙක් චණ්ඩ ව්‍යාඝ‍්‍ර වාසේ 
හිමාල දේශ දේවී
හාමත්ව ඉන්ට වේමැයි
බෝදුක් විඳින්ට වෙන්නේ
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මාගේ 
(වෙස්සන්තර නාට්‍ය)

බෝ  දෝස් කියා  මාගේ බෝ දොස් කියා  

සිව් දෙසේ වැස්සෝ කිපී  පන්නා මා ලූහ මෙවන - දාසින්ව  ලබාගෙන - සම්භ වෙන්ටා සුන්දරී
යන්නටා හැක්කී වේදෝ  - දානා දෙයිද වෙස්සන්තර  
බෝ  දෝස් කියා  මාගේ බෝ දොස් කියා  
(වෙස්සන්තර නාට්‍ය)






සිරි ගණ ධර්ම සංඝ නමදිම් මෝ
බෝධිසත්ව  චරිතක්ද නාට්‍යකර 
ලොවට පාමු බැතිනී බෝ
සර්ව දෝෂයන් භංගවෙන්න සෙත
දෙවියෝ දෙත මෙත පා බෝ
(වෙස්සන්තර නාට්‍ය)


රකිනු ඊශ්වරා 

මේ අප සෑම සකල අපල
දුරැර නොහැර සිරි සැප සලසාද බැද්දේ ඉන්න අපට 
(රමායණ නාට්‍ය)

දේවදාර වෘක්ෂ චම්පාකශෝක වන්දනා 

පුගතාල මූණමල්ද  කදිර මෙ වන නන්දනා
බූරු ගෝන හස්ති  අශ්ව -  මේ වනේ පෙනෙත් විශාල
( උත්තර රාම චරිතය නාට්‍ය)

ඇයි තරහෙන් මාන්නකාරි

පලා දුවන්නේ  දමලා මා මෙහි
පලා දුවන්නේ  දමලා මා
ඉවසිලිවන්තී කෝප නොවේවී
ශාන්තදාන්ත වේ
(රත්නාවලි නාට්‍ය)

අමන දනෝ සිතති මෙ 

නාට්‍ය කලා නාඩගම් වගේය කියා
පවර ශාස්ත‍්‍ර සේ හින්දා
යාය පිරිහි රට වැටේ  ඉන් සජනෙනි
(රත්නාවලි නාට්‍ය)

ගුමුනාදේ  දෙන බඹරගේ දොසිනා 

කරදර විය බෝසේ
එ් මල දාලා ආවේ ගුම්ගාලා මාගේ මූණ රිද්දා
වත මාගේ මල වාගේ එහි භෘංගේ එයි රිංගේ
(ශාකුන්තලා නාට්‍ය)

සවන් දී  පෙර රාම චරිතේ  අසව්

පොරණ ලක්දිව්  උන්න රාවණ
ආලවි ජානකී ගෙනගියේ තම රියේ
කියමි  එය සංගීත බසිනා -  පෙර රාම චරිතේ  අසව්
(රමායණ නාට්‍ය)

පත්මෙකි පේන මූණා - සොඳ මූණා - දිලි සඳකි සරත් 

කාලේ - මෙම කාලේ - උම්මාද වෙන්නා  - සීත මූණ බලා
වාසනා  -  අහො පාවා ගනීදෝ මේ මා 
පත්මෙකි පේන මූණා - සොඳ මූණා - දිලි සඳකි සරත් 
(රමායණ නාට්‍ය)

මේ නුර්තී ගීත සම්පුර්නයෙන්ම ලියා එකතුකලේ නැත්තේ ලිපිය බොහෝ දිගුවන බැවිනි.