Sunday, June 4, 2017

කුතුහලය කැටිවු ත‍්‍රාසය හා ඉලඇදෙන භීතිය සමගින් ගිය මීමුරේ සවාරිය 2 වන කොටස

පළමු කොටස බලන්න මෙතැනට කොටන්න

උඩු කයට වස්තරයක් නැතිව ඇග සීතලෙන් ගැහෙන්න ගත්තු නිසා අවදි වෙච්චි මම වැතිරිලා හිටපු තැනින් ඔළුව උස්සලා බැලූවේ මේ කොහේද ඉන්නේ කියලා. වැටිලා උන්නු ගල් ගොඩට පොඞ්ඩක් ඈතින් පන්දමක් වගේ දෙයක් නිමෙන්න ඔන්න මෙන්න වගේ මලානික එළියක් විහිදුවමින් ලාවට පත්තුවෙනවා. මම මේ ඉන්නේ කොහේද කියලා හිතාගන්න බෑ. ඉන්න තැන හිතාගන්න බැරිව හිටපු මගේ හිතට එකපාරටම මම මේ ඉන්නේ කනත්තක් මැද්දේ කියලා හිතුනා. ගැහෙන සීතල පරදාගෙන ඇගේ හීගඩුත් පිපුනේ එ් හිතට ආපු සිතුවිල්ලත් එක්කමයි. යකෙක් දත් ටික විලිස්සනවා සේ සැරෙන් සැරේ හමන හුලං පාරට මම හිටපු තැනට ඈතින් තිබුනු නිවිලා ගිය දරසෑයේ ගිනි අඟුරු ටික රතුපාටින් දිලිසෙනවා මගේ දෑසට අහුවුනා. කනත්තක් මැද මම තනිවෙලා ඉන්නවා කියන සිතුවිල්ල හොදින්ම තහවුරු කරන්නට අර මලානිකව පත්තුවෙන පන්දමත් දර සෑයටත් පුළුවන්වුනා. කෑළි කපන්න පුළුවන් මහ අන්ධකාරේ අතපත ගාලා ගල්ගොඩක් මැද තිබුන ගල් දෙබොක්කාවක් පල්ලේ මම වැටිලා ඉන්නවා කියලා මනසින් හිතාගත්තත් එත් කනත්තක කොහේද මේවාගේ ගල්? එහෙනම් මම ඉන්නේ කැලයක් මැදද? ළඟ තිබුන සුවිශාල ගහේ ඉදන් තඩි වවුලෙක් ශබ්ද නගමින් ඉගිලි ගියාට පස්සේ තවත් වවුලන් කිහිිප දෙනෙක් උගේ පස්සේන් ඉගිලිලා ගියා. ඉන්න තැනින් ටිකක් ඈතින් වතුර පාරක් ගලායනවා ඇහෙනවා විතරයි. මම මේ ඉන්නේ ගෙදර නොවන බව තේරුම් ගියාට පස්සේ අසීරුවෙන් ඔළුව කෙලින්කරගෙන දැන් ඉන්න ස්ථානය ගලපගන්න බැලූවා. එහෙනම් මම ඉන්නේ කනත්තක් මැද නම් නොවෙයි. එහෙනම් මේ කොහේද? 
එතකොට තමයි මගේ මතකයට ආවේ පෙර දිනයේ අපි ආපු මීමුරේ සවාරිය ගැන. එහෙනම් මම ඉන්නේ මීමුරේ අපේ කූඩාරම් ගහපු තැන. කෝ මගේ යාළුවෝ ටික? ටිකෙන් ටික ඇස් දෙක අඳුරට හුරුවුනාට පස්සේ මං හිටපු ගල් ගොඩ අයිනේ උඩුබැලි අතට පෙරලිලා තිබුන බාබකිව් උදුනත් තැන් තැන් වල විසිරිලා තිබුන බොතල් හා විදුරු ටිකත් දැක්කා. ඇ`ගට වාරු අරන් බෝල ගල් ගෙඩියක් උඩින් වාඩිගත්තු මගේ දෑසට නිවිලා ගිය ගිනිමැලයේ රතුපාට අගුරුකැට සුළඟත් එක්ක දිළිසෙනවා අසුවුනා. එ්ක තමයි මම රැවුටුනු දරසෑය. ආයේමත් සැරයකත් වටපිට බැලූවේ යාළුවෝ ටික කොහේද ඉන්නේ කියලා. ඔන්න එ් පාර තමයි හැගෙන සීතලේ හිටපු මට මහ සැරේට දාඩිය දාන්න ගත්තේ. සුවිශාල කුඹුක් ගහට එයා පැත්තේ සුදු වැලිතලාවේ අටවලා තිබුන කුඩාරම එතැන නෑ. එකට මීමුරේ ආපු යාළුවොත් නෑ. කොළොම්පුරේ ඉදන් මීමුරේ ආපු මං හද්දා කැළේක තනිවෙලා. ඉදහිට කෑ ගහන රැහැයියෝ දෙතුන්දෙනෙක් විතරයි එ් වේලාවේ තනියට හිටියේ. මගේ යාළුවන්ටයි  කුඩාරමටයි  මොකදවුනේ කියලා සිතට ලොකු ගැටළුවක්වුනා. මුං තුන්දෙනා මාව දමලා ගියාවද්ද? කෙලින් හිටගන්නවත් බැරිතරමට මීවිත සිරුරම අවසඟ කරලා ඉවරයි.

 ගල්කුට්ටිය උඩට වෙලා  රාත්තිරියේ අපේ බාබකිව් පාටියත් රාජ්ගේ පිස්සු කියවිල්ලත් මතක් කරගත්තා. එ් සිදුවෙච්චි සියල්ලත් මගේ මනසේ ආපහු චිත‍්‍රපටයක් සේ රඟ දැක්වෙන්න පටන්ගත්තා. එහෙනම් හොදටම බීලා පිස්සු නටපු රාජු එක්ක පටලැවුනු බේබදු ගමේ බුවා ගමේ උන් සෙට් එකක් අරන් ඇවිත් අපිට ගමකට නෙලූවාද?. රාජු තිළිණයා එක්ක කුමාරත් මාව මේ කැළේ දමලා පන එපා කියලා දිව්වාද? නැත්නම් කොළඹ යන්න ඔනේ කිව්ව රාජුවා මගට ඇරලන්න ගියාවද්ද? එත් මාව මේ කැලේ මැද තනියෙන් දමලා යයිද? රාජුවා එහෙම කලත් අනිත් උන් දෙන්නා මාව දමලා යන්න යයිද? එ්ක නම් වෙන්න බැරිවැඩක් බව සිතුණා. සීතල වැඩි  හින්දා ෂර්ට් එකක් ඇදගත්තා නම් හොදයි කියලා අමාරුවෙන් කද කෙලින්කරන් කුඹුක් ගහ එහා පැත්ත බැලූවා. ඔන්න ඔය වේලාවේ තමයි මගේ භීතිය ත‍්‍රාසය එකතුවෙලා සන්ත‍්‍රාසය ඇතිවෙන්න ගත්තේ. ඇගේ ලේ වතුරවුනා. බීපු ලෝකල් විස්කි මතේ බිංදුවට හිඳුනා. මගේ කකුල් කෙටි දෙකෙන් උස්සලා මීමුරේ වටේ කරකවලා කඹුක් ගහ යට සුදු වැලිතලාවේ තිබුනු ගලක ගැහුවා වාගේ දැනුනා. අනේ දෙයියනේ කුඩාරමට මොකදවුනේ?  ඊයේ හවස කුඹුක් ගහයට වැලිතලාවේ ලස්සනට ඉදිකරපු මගේ අයිඩින්ටිය තියලා අනුන් ගෙන් කුලියට අරන් ආපු කුඩාරමට දැන් එතැන නෑ. බොක්ක කූල් වුනා. මුත්ත‍්‍රා බරකුත් ඇල්ලූවා. පපුව දෙමොලෙන් පිටිකොටෙන්නාවාගේ ගැහෙන්නට පටන්ගත්තා. සීතලට කෙලින් වෙච්චි මයිල් තවත් කෙලින්වුනා. හිරිගඩු උඩ හිරිගඩු පිපුනා. එ් වෙලාවේ හිතට ආපු බය භිතිය තනිකම මෙහෙම වචනවලින් ගලපන්න බෑ. ඇඳුම් බෑග් එක්ක මේ මහ කැලේ මැද කූඩාරම හොරු අරන් යන්නත් බෑ. වෙරි මරගාතේ බුදියන් ඉන්නැද්දි ගමේ උන් එ්ක ඉස්සුවාද?. එහෙනම් කෝ යාළුවෝ? මුන් මාව මේ කැලේ දමලා කුඩාරමත් අකුලන් ගියාවද්ද? හැබැයි එහෙම ජරා වැඩකරන පජාති  මිත‍්‍රයන් නම් නොවෙයි උන්. අපි හිටපු තැනට වල් අලියෙක් වත් ආවද මන්දා. ඌ ඇවිල්ලා කුඩාරම ගලවලා වීසිකරලා දමන්න ඇතියි ඊළඟට හිතුණා. කෙලින් හටගන්නවත් බැරිව හිටපු මම අගුරු විතරක් තිබුන ගිනි මැලේ ළඟට බෝල හැඩයේ රවුම් ගල් උඩින් පැනලා ගිහින් පැත්තක තිබුණ කොටයක් අමාරුවෙන් උස්සලා අගුරුගොඩට විසී කළා. වේලිච්ච කොල රොඩු එකතුකරලා අගුරුගොඩට දමලා ගිනිගොඩ කොහොමහරි ආපහු අවුලෝගත්තා. වේලිච්ච කොල රොඩුවලට ඇවිලූනු ගිනිදළු කොටය වෙලා ගනිද්දි තිත්ත කළුවර ටිකක් මැකිලා ගිහිල්ලා ටිකක් විතර එකාලෝක වෙන්න ගත්තා.
අපේ කූඩාරම


 ගිනි මැලේ ළඟ උන්නු මගේ දෑසට එ් දර්ශනය වුනේ විසාල කුඹුක් ගහ අයිනේ බිම සුදුරෙද්දකින් හිසේ ඉදන් දෙපතුල දක්වා වහපු මළ මිනියක් වගේ එකක් තියේනවා. වල් අලියෙක් ගහලා අපේ කවුරුහරි මැරිලාද? ඔන්න එ්පාර ආයේමත් මගේ පපුව මැද්දේ හෟදවස්තුවක් කියලා එකක් තියේනවා කියලා පෙන්නන්න වාගේ ඩික් ඩික් ගාලා ගැහෙන්න පටන් ගත්තේ. පහලට බැහැලා අන්තිම අගිස්සේ තිබුනු පුරුෂ දයිරිය උඩට උස්සලා අරගෙන  ඕන මගුලක් වෙන්න කියලා අර මළ මිනිය බලන්න ගල් ගෙඩි උඩින් පැන පැන වැනි වැනි කුඹුක් ගහ ළඟට ගියා. මළමිනිය ළඟට යද්දි දැක්කා මළ මිනියට එහායින් බිමට සමතලා වෙච්චි අපේ කුඩාරමත් තියේනවා. බිමට පාත් වෙච්චි කුඩාරම ඇතුලෙන් කාගේදෝ කකුල් දෙකක යටිපතුල් දෙක යාන්තමට සුදුපාටට පේනවා. දැන්නම් සහසුද්දෙන් ෂුවර් අලියෙක් ඇවිල්ලා මුං ටික මරලා දමලා කියලා. එත් කෝ අනිකා? ළඟ ලං වෙනකොට තමයි දැක්කේ  කුමාරයා අර විසාල කුඩාරමේ එක් කොනක වැතිරිලා ඉන්නවා. ඈතින් සද්දේට බජව් දමන් උන්නු අල්ල වැටේ කොල්ලන්ට කෑගහන්න හිතුවත් කටට ඉබ්බෙක් දමලා වාගේ වචන පිටවෙන්නේ නෑ. කුමාරයා ළඟට ඇවිත් උරහිසට අත තියලා දෙපාරක් විතර හෙලෙව්වා. මිනිහා ඉන්නේ මළාවගේ. කොකටත් කියලා නහයට අත ලං කරලා බැලින්නම් මෙන්න මේකා මැරිලා නෑ යස අපුරුවට හුස්ම ගන්නවා. එහා පැත්තේ හිටපු මල මිනියේ රෙද්ද  අහක්කරලා බලන කොට එතැන හිටියේ රාජුකාරයා. එහෙනම් දෙපතුල් එලියේ දාගෙන ඉන්නේ තිළිණයා. මුං එකෙක් වත් මැරිලා නෑ කියලා ගැහි ගැහි තිබුන පපු කෙටිය පොඞ්ඩක් විතර කූල් අඩවුන් වෙලා ගියා. ඉවසන්න බැරි සීතලත් තිබුනත් බිමට පතබෑවුනු කූඩාරම අස්සෙන් ඇඳුම් බෑග් එක එළියට ගන්න එකත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා හිතුන හින්දා වේලූනු තොලකටත්  බිම තිබුනු සොඩා බොතලයකින් තොමාගෙන ආයෙමත් මුලින් වැටිලා උන්නු ගල් දෙබොක්කෙටම ආවා පොඞ්ඩක් ඇහැ පියා ගන්න. එත් එක්කම වාගේ බඩ තැලතිලා ආපු ඔක්කාරෙට ? තිස්සේ කාපු බීපුවා සියල්ලත් මෙන්න  එළියට පැන්නා. එ් වැඩෙත් ඉතිං එකපාරින් නම් නතරවෙන්නේ නැතිව එළිය වැටිලත් පැයක් දෙකක් යනකම් වැඬේ සිද්ධවුනා.
 සීතලට මුළු සරවාංගෙම වෙවුලනවා නිදාගන්න හැදුවාට නින්ද නම් අහල පහලකවත් නෑ. පාන්දර එළිය වැටෙද්දි නැගිට්ටත් නැගිටගන්නත් පනක් නෑ. අමාරුවෙන් යාළුවෝ තුන්දෙනාට ඇහැරෙව්වා. නැගිට්ට හැටියේම හිස් මෙගා බෝතලයකට වතුර එකක් පුරවාගත්තු රාජු ගංඉවුර දිගේ කුඹුක් ගහෙන් එහාට දිව්වේ ජංගල් බොග් එකක් දාන්නයි. කුමාර උනුවතුර රත් කරලා තේ හැදුවා. කොහේ බොන්නද බිව්ව හැටියේ ආයේමත් කබරයාම තමයි. 
වතුර උනු කරනවා තේ බොන්නයි හදන්නේ 


අපි ගෙනාපු නුඞ්ලස් පැකට් කඩලා තිළිණයා උදේට කන්න කෑමත් හදන අතරේ මම සීසිකඩ විසිරිලා තිබුන අපේ බඩු මුට්ටු එකතු කරන්න පටන්ගත්තා. මේ ගමනට එන්නට පෙර මම කොළඹින්  ඊට පෙර දවසක අරගත්තු රීචාජබල් විදුලි පන්දම මිසින් වෙලා. එක හැම තැනම හෙව්වත් හමුවුනේ නෑ. එහා පැත්තේ කෑම්ප් එකේ කොල්ලන් ටික උන්ගේ බඩු මුට්ටු පැක් කරනවා. අපි දත්මැද මැද ඉන්න අතරේදි ගල්උඩින් පැනගෙන අනිත් කෑම්ප් එකේ කොල්ලන් බලන්න ඇහි බැමට උඩිනුයි කනටයි කඩුක්කන් පළඳාගෙන උන්නු මීමුරේ විකුනන් කන සෙට් එකේ නායකයා ගියා. මෙන්න  බොලේ උගේ අතේ මගේ නැතිවෙච්චි විදුලිපන්දම වගේ එකක් තියේනවා. 
"එයි තිළිණ බලපන් අරූ ගාව තියෙන්නේ  මගේ ටොර්ච් එක නේද?"
"එ්ක උගේ වෙන්න ඇති. එකවාගේ එවා  ඕනේ තරම් තියේනවා නේ බං."  
"බලපං අර තියෙන රතුපාට ස්ටිකරය එක තමයි එ් ටෝර්ච් එක ගෙන්නන කොම්පැනියෙන් දෙන වොරන්ටිය ගහලා තියෙන්නේ. මුට කොහෙන්ද ඒක වාගේ එකක්ම?  හිටපං බලන්න." 
මම හිමිහිට මිනිහා ළඟට ගියා
"මචං මේ ටෝර්ච් එක ඔයාගේද?"
"ඔව් මම ගත්තු එකක්."
මිනිහා ගත් කටටම කිව්වා. 
මමත් ආ ඇත්තද කියලා හිමිහිට වතුරට බැස්සා. ටික වේලාවකින් ආයේමත් අපේ පැත්තට ආපු කඩුක්කන්කාරයා මිනිහා අතේ තිබුන අඩුමකුඩුම ටික ගලක් උඩින් තියලා කූඩාරම් අකුලන්න ගියා. මිනිහා පොඞ්ඩත් එහාට වෙනකම් ඉදලා හිමිහිට ගිහිල්ලා අර විදුලිපන්දම අරන් බැලූවා. මෙන්න බොලේ මම ටෝර්ච් එක ගත්තු දාම තමයි එකම ආයතනයෙන් මේකත් අරන් තියෙන්නේ. ඒක නම් කීයටවත් වෙන්න බැරි දෙයක්. මේ ආයතනයට ශාඛා නෑ තියෙන්නේ කොළඹ විතරයි.  බලන් යනකොට මු මහ පට්ට හොරෙක්නේ. හිටපං උඹට හොඳ වැඩක් කරන්නම් කියලා හිමිහිට මීමුරේ මාකටින් නායක හොර දෙටුවාට හොරෙන් එතැනින්  උස්සපු ටෝර්ච් එක මගේ ඇඳුම් මල්ලට දමාගත්තා. හොර නායකයා පස්සේ ඇවිත් හරියට තමන් සල්ලි දිලා අරගත්තු ටෝර්ච් එකක් වගේ ඒක හොයන්න පටන් ගත්තා කියමුකෝ. රේස් බුකි තියෙන බෝලෙට බෑට් පිත්තෙන් පහර දෙන සංගමේ පරිපාලනය  කොරපු කොරන්න හදන සල්ලීකාර මහත්තයාගේ කොම්පැනියෙන් ඉරිදාට සිංහලෙන් පලවෙන ජාතික පුවත් පතක් සමග දෙන ටැබ්ලොයිඞ් ප‍්‍රමානයේ කලා අතිරේකයක නම තමයි මේ නායක හොරාට තියෙන්නේ. හරි නම දන්න කියන අය හිතාගන්න කෝ. මූ හොද අවංක එකෙක් නම් වැදගත් මහත්මයෙක් වගේ මං මේක කැලේ වැටිලා අහුලපු එකක් බව හරි කියන්න තිබුන. එත් එහෙම කිව්වෙ නෑ.

තිළිණයි මමයි සීතල වතුරේ බැහැලා පැයක් විතර හිටපු හින්දා ඇගේ පතේ තිබුනු මීවිතෙන් ආපු සියළු රෝගාබාද දුරිභූතවෙලා ගියා. කවුරු කවුරුත් තිළිණ උදේ ආහාරයට හදාපු නුඞ්ලස් කාලා බඩ පුරවාගත්තත් මට නම්  තිබුනේ ? කෑමත් සැරෙන් සැරේ එලියට දැම්මාට පස්සේ කෑම කන්න බැරි අප්පිරියාවක්. එත් කොහෝම හරි කන්න එපැයි. හිස්වෙලා තිබුන බඩගෙඩියටත් නුඞ්ලස් ටිකක් විතර බස්සගන්න පුළුවන්වුනේ සීතල වතුර සත්කාරයෙන් පස්සේ තමයි. අමාරුවෙන් නුඞ්ලස් ටිකක් බඩගෙඩියට දාගත්තාට පස්සේ ඉතිරිවුන ටික එහා පැත්තේ කෑම්ප් සයිට් එකේ ගලවාපු කූඩාරම් ටික අරගෙන යන්න ආපු ඊයේ ? අර බේබද්දා පන්නලා දමාපු ගමේ උන් දෙන්නාට දුන්නා. එයාලත් එ්ක ආසාවෙන් අරගෙන කෑවා. 
අපේ කූඩාරම අතුරුදහන් කිරිම නැත්නම් හොඳට තිබුන කූඩාරම බිමට පතබෑවුනු අන්දම මම හොයලා බැලූවා. 
බීලා වැඩිවුනු රාජු මුලින්ම ගමේ බේබද්දා එක්කත් පස්සේ මං එක්කත් ඇරගෙන ආපහු ගෙදර යන්න  ඕනේ කියලා අල්ලපු අඩව්ව මතකද? අන්න එ් වෙලාවේ වෙරි මරගාතේ කූඩාරමේ ෙදාරටුව හොයාගන්න බැරිව කූඩාරම වටේ ගිය රාජු එක උඩට පැන්නාලූ. මේ ගොන් අලියාගේ බරට කැඩුනු කූඩාරම බිමට පතබෑවිලා ගියා. කූඩාරම කඩා දාපු එකට මල හොදම එකෙන් පැනමු මංතුමා රාජුවාට දෙකක් අනින්න ගල් දොබොක්කාවෙන් නැගිට්ටත් ගහපු මීවිතේ තිබුනු පවර් එකට කදකෙලින් කොරගන්නට බැරිව ආපහු ගල් දෙබොක්කොටෙම වැටුනාලූ. අන්තිම්දි හොදටම වැඩිවෙලා කරටිය කැඩෙන්ඩ වැදුනු මම ගල් දෙබොක්කාවේ අස්සට වැටිලා මර නින්දක් ගහන්න අරගෙන තිබුනා හින්දා එ් කිසි දෙයක් මතක ගබඩාවේ රැදිලා නෑ. ආපහු තිබුනා වාගේ කූඩාරම කෙලින් කරන්න කම්මැලි හිතුන තිළිණයා අර බිමට පතබෑවුනු කූඩාරම යටට රිංගා ගත්තේ සීතල හින්දාලූ. එයා යට හිටිද්දි කූඩාරම උඩ දැවැන්ත කබරයෙක් වැඩලා හිටිය විත්තිය දැක්කේ කුඩාරම අකුලද්දි තමයි. අන්තිමට කබරයා ගෙනාපු කුමාරයි කූඩාරම බිමට සමතලා කෙරුව රාජුවයි දෙන්නාට එකතුවෙලා කබරයා යන්න කූඩාරමත් සෝදා පිරිසිදු කරලා ගන්න බාරදුන්නා. 
කූඩාරමේ ලැගපු කබරයා ඉවත් කිරිම


ඊට පස්සේ මම කල්පනා කලේ අපි ප්ලෑන් කරපු විදිහට ඉතිරි දින දෙකත් ඉන්නවාද කියලා. ආයෙමත් අර තමන් උස්සපු ටෝර්ච් එක බලන්නද මන්දා එතැනින් යන ගමං මීමුරේ විකුනන මාකටිං නායකයා අපිටත් එයාගේ වෝටර් ඇඞ්වෙන්චර් ඉවෙන්ට් වලට සහභාගි වෙන්න කියලා ආරාධනා කළා. 
"මචං කුමාර අද අපි මොකද කරන්නේ? "
මම  ඇහැව්වා.
"යමුද අරුන් එක්ක වෝටර් ඇඞ්වෙන්චර් එකට."
"පිස්සුද බං මුං හදන්නේ අපෙන් ගානක් කඩන්නද කොහේද. දැන් මෙතන කුඹුක් ගහ යට පෙන්නුවාටත් අපෙන් ගාන කපනවා. "
තිළින කිව්වා.
"මෙහේට ආපු එකේ ගානක් දිලා අපි ෆන් එකක් ගමු." 
"පිස්සුද කුමාර මුංගේ තියෙන්නේ  අස්ප ගනං නේ. අනික බං මගේ ටෝර්ච් එකකත් උස්සලා එක උගේ කිව්වා. අපේ බඩු මුට්ටු  මෙතන දමලා යන්න බෑ. කූඩාරම අකුලන් ගිහිල්ලා ආපහු කාර් එකට දමලා එන්නත් බෑ. අනික ඔක්කෝටම වැඩිය මුං විස්වාස කරන්න බෑ. මම කිව්වා."
"ඔය වතුරේ නටන්න එන්න කියලා අපෙන් මෙච්චරක්  ඕනයි කිව්වොත් මොකද කරන්නේ? මේ කුමාර තමයි උන්ට කෝල්කරලා සෙට් කරගත්තේ."
එ් අස්සේ මෙච්චර වේලාවක් සද්ද බද්ද නැතිව හිටිය රාජුවා කටදැම්මා.  
"අනේ උඹ කටවහං හිටපං. උඹතමයි මේ ඔක්කෝම කෙරුවේ. ඊයේ පාටිය වන කලේ කවුද? එ් උඹනේ. දැන් සුදනා වෙන්න හදනවා." 
කේන්ති ගිය කුමාරයා අකුලමින් හිටිය කූඩාරමත් දමලා ගිහින් ගලක් උඩ වාඩිගත්තා. 
"එහෙනම් ලකේ ගල නගිමු."
ලකේ ගල


"අර බෑවුමේ උඩට නගින්න පුළුවන්ද? අනික අපි කඳු නගින්න ආපු ගමනක් නෙමෙයි. එ් හින්දා මටනම් බෑ."
රාජුවා ආයේමත් කිව්වා. 
"මේවා මෙතන තියලා යන්න බෑ. බඩු මුට්ටු අස්කරන් අපි යමු. යන ගමන් බලමු මොකද කරන්නේ කියලා."
බඩු පැක් කරන ගමන්


ආසාවෙන් ප්ලෑන් කරන් ආපු සවාරියේ පළමු දිනයම අලකරලා දාපු රාජු ගේ පිස්සු වැඩ නිසා මගේ හිත ඔද්දල්වෙලා තිබුනේ. ඒක නිසා තවදුරටත් මේ කැලෑවේ ඉන්න බෑ කියලා හිතුනා. අන්තිමේදි දවස්තුනක් ඉන්න බලාගෙන ආපු ගමන පහුවදාම ඉවරකරලා එන්න බඩු අස්පස් කළා. 
කුමාර වෝටර් ඇඞ්වෙන්චර් ඉවෙන්ට් වලට යන්න කැමතිවුනත් තිළිණයි මායි එකහෙලාම අකමැතිවුනේ විදුලි පන්දම හොරාගත්  සිද්ධිය ගැන කියලා. ගමේ උන් හොරුනොවුනත් පිටිං ඇවිල්ලා මීමුරේ ගම්මානේ විකුනන් කන උන් අතරේ අපේ බඩුමුට්ටු එතැන තියලා වතුරේ දියබුං ගහන්න අපි බයවුනා කියහල්ලකෝ. ආපහු එනිං ගමන් මුලින්ම අපිට හමුවු මීමුරේ මාකටින් අයියා මගදි මුලිච්චි වුනේ සුරියඅරණ පිචැර් එකේ වැද්දා ගේ කඩය තිබුනා කියපු හරියේදි. අපිට කරපු උපකාර වලට අධාරයක් නොකියා ඉල්ලූවා. එකට සරිලන්න කියලා කුමාර රුපියල් දාහේ මොනර කොලයක් පසුම්බියෙන් ඇදලා දීලා හොඳ පිනක් එහෙම කරගත්තා. 
ලොරියක බඩු පටවාගෙන මීමුරෙන් පිටත්වි එන්නට පෙර.


ඔන්න ඉතිං අර ගල්මුල් පෑදුනු පත සයිස් වලවල් එක්ක අගල් හැදුනු පාරේ ෆෝ විල් නැති කාර් එකකින් කන්ද අදිනවා කියන්නේ පන යන වැඩක්. කට්ටිය බැහැලා පයින් කන්ද නගිද්දි ටයර් කපාගෙන දුවිලි නංවාගෙන යනක  කාර් එකෙන් නැගගෙන දුලි වලාවන් ගෙන් හොදටම නෑවා. අන්තිමේදි අපි ආයේමත් මීමුරේට වෙනින් දවසක එන්න බලාගෙන සමුදුන්නා.

හෝව් හෝව් මීමුරෙන් ආවා කිව්වාට කතාව තව ඉවර නෑ.  

යාන්තම් ආපහු ලූල්වත්ත පාරෙන් හුන්නස්ගිරිය පාරට ආපු අපි දැන් මොකද කරන්නේ කියලා කතාවෙන්න ගත්තා. එකෙක් කියනවා කොළඹ යමු කියලා. අනිකා කියනවා නුවරඑළියට යමු කියලා. තිළිණයා කියනවා බදුල්ලේ ඉන්න එයාගේ ඥාතිගෙදරකට යමු කියලා. එක තිරණයක් නෑ. දැන් කාර් එක ධාවනය වෙන්නේ නුවරඑළියන්න බලාගෙන මහියංගන පැත්තටයි. කිලෝමිටර් අටක් දහයක් විතර යනකම් අපි තාමහරි තිරණයක් අරන් නෑ. මම මගේ නිශේධ බලය යොදවාලා කිව්වා කොහේවත් යන්න  ඕනේ නෑ අපි ආපහු කොළඹ යමුයි කියලා. කොහොමත් නුවරඑළි යන්න අකමැත්තෙන් හිටිය රාජු එකපාරටම මගේ  යෝජනාව අනුමත කළා. එහෙනම් යමු කියලා කාර් එක ආපහු හරවාගෙන නුවරට එන්න පිටත්වුනා. මඟක් දුරට එනකොට දැක්කා වික්ටොරියා වේල්ලට හැරෙන පාර එතැන ලොකු බොඞ් එකක් ගහලා තිබුනා.
"යමල්ලා වික්ටෝරියා ඩෑම් එක බලන්න."
 ඉතිං මගේ කැමැත්තට කවුරුත් ඉඩදීලා වේල්ල බලන්න එකගවුනා. 
වික්ටෝරියා වේල්ල නැරඹුම් කුටියේ සිට


අපිත් හිතාගෙන හිටියේ වේල්ල බලලා ඇවිත් දවල්ට කෑම උයාගෙන කන්න. එත් වේල්ල නරඹන නැරඹුම් කුටියට යන්නත් බොහෝ දුරක් යන්න ඔනේ. නැරඹුම් කුටිය තියෙන්නේ වේල්ලට ගොඩක් ඈතින්. හැබැයි වේල්ල හදපු හැටි ඇතුලූ ගොඩාක් විස්තර පින්තූර එකේ තිබුනා. අන්තිමේදි වික්ටෝරියා වේල්ල ගොඩාක් ඈත ඉදන් නරඹලා ඉවරවෙනකොට දවල් ඉර  හැරිලා පැය දෙක තුනකට වැඩිය පහුවෙලා ගිහිල්ලා. දැන් ඉතිං බඩ පනුවෝත් බඩගින්නට අරගලකරල උන්ටත් මහන්සිවෙලා තිබුන වෙලාවක්. ආපහු නුවර මහියංගන පාරට ඇවිල්ලා කෑම උයාගන්න තැනක් හෙව්වා. වේගල හරියේ පාර අයිනේ අපිටම කියාපුතැනක් සෙට්වුනා.


ඔය තියෙන්නේ කෑම උයපු තැනයි. එහා පැත්තේ එළවළු කඩයි.


 එතැන මීට ඉස්සර කට්ටිය කෑම උයලා ගිය ලිප්ගල් එහෙම තිබුනා. කැලෙන් දරකොටු කඩන් ඇවිත් ලිප පත්තු කරන් බතක් උයන්න ගත්තා. බිමට පැදුරු දමන් කුමාර ලූනු කපනවා. කුමාර තමයි අපේ ප‍්‍රධාන කෝකියාවුනේ. එ් අස්සේ රාජුවා කෑම උයන්න කිසිම උදව්වක් නොකර අර අපේ ඉතුරුවෙච්චි බෝතලයකට වගකියන්න ගත්තා. බිත්තර බැඳලා සැමන් තෙල්දාලා පරිප්පු වැංජනයක් එක්ක බත් මුට්ටියක් උයලා ඉවරවෙද්දි තිළිණයත් බෝතලයට සෙට්වේලා. වාහනේ පදවාගෙන කොළොම්පුරේට එන්න තියේන හින්දා මම ඇරෙන්න අනෙක් තුන්දෙනා බොතලෙන් අනුමතවුනා. එ් අස්සේ රඹටි කැඩෙන්න බිව්ව රාජුවාට බොනවතුර බෝතලයක් කඬේකින් අරන් එන්න කිව්වාම සල්ලි නෑ කියලා ඇඹරුනු මිනිහා පාරෙන් එහා පැත්තේ තිබුන එළවළු කඩයකට ගිහිල්ලා මෙන්න ලොකු එළවළු ගෝනියක් උස්සාගෙන එනවා.
"ඈ බං මොකටද මේ එළවළු?"
"ගෙදර ගෙනියන්න."
"කෝ ගෙන්න කියාපු වතුර බෝතලේ?"
"එ්ක අරන් එන්නම්."
"බලපං මේ කාර් එකට  ඕවා දාන්න ඉඩ තියේනවාද?"
"මේ තියෙන්නේ ඔනේ තරම් ඉඩ."
"උඹේ ඔය ගෝනිය එබුවාම මේ හට්ටි වලං දාන්නේ කොහේද? "
:"කොහෝම හරි අරන් යමු." 
බත් උයන්න බඩු මුට්ටු එළියට අරගත්තු හින්දා රාජු එයාගේ එළවළු ගෝනිය ඩිකියට එබුවා. ආයේමත් කඬේට ගිහිල්ලා මෙන්න යකෝ කොස්ගෙඩියක් උස්සන් එනවා. 
"මොනාද බං මේ උස්සන් එන්නේ? මේ කාර් එකට දාන්න පුළුවන් බරක් තියේනවා. මේක ලොරියක් නොමෙයි. කෝ වතුර බෝතලේ?"
"හරි හරි මං වතුර අරන් එන්නම්. "
ඔන්න ආයේමත් පාරෙන් එහා පැත්තට රාජුවා ගියා. දැන් කෑම උයාලා ඉවරවෙන්නත් ලඟයි. වතුරත් නෑ ගිය මිනිහත් නෑ. අන්තිමේදි මම ගියා රාජුවා බලන්න කඬේ පැත්තට. මිනිහා කඬේ මුදලාලිත් එක්ක ලොකු මුදල් ගනුදෙනුවක්. උඹ  ඕනේ දෙයක් කරගනින් කියලා මම වතුර බොතලයක් මිලදි අරන් ආපහු අපේ පැත්තට ආවා. මමයි කුමාරයි උයාපු බත් ටික කන්න පටන්ගත්තා. උනු උනුවේ පාරක් අයිනේ බස් හොල්ට් එකක් ඉස්සරා කෑම උයන් කනකොට තියෙන්නේ මාරම ආනන්දයක් තමයි. එ් උයලා කාපු බත් එකේ රස අදටත් මට දැනේනවා. ඔන්න පාරේ අයිනේ ඉදන් උයාපු කෑම එක කාලා ඉවරවෙනකොට හවස හයටත් කිට්ටුවෙලා.
පාරේ බස්වල යන මිනිස්සු අපි දිහා බලන්නේ මීට ඉස්සර දැකලා නැති අහිකුන්ටකයෝ ටිකක් දිහා බලනවා වාගේ. ටික වේලාවකින් මෙන්න රාජුවා විසාල පොල් ගොනියක් කර තියාගෙන එනවා. මේක දැක්කාම මට අසූ හාරදාහට මලම පැන්නා. 
"මොකක්ද බං මේ කරන්නේ? මම එකපාරක් කිව්වානේද මේ කාර් එකේ ඉඩනෑ කියලා?" 
"කොහෝම හරි ගෙනියමු."
"කොහෝම හරි ගෙනියන්න වෙන්නේ උඹව මෙතන තියලා."
"ඔය එළවළු මැනිං මාර්කට් එකෙන් මෙහෙට වඩා අඩුවට ගන්න පුළුවනි."
කුමාරත් කිව්වා.එත් රාජුවා මේවා අහන්නේ නෑ. අපේ ටි‍්‍රප් එකත් අනුභවකරලා දැන් තවත් මේකා ඇනයක් වෙන්න හදනවා. දැන් මෙතැනින් එන්න  ඕනේ වුනත් රාජුවා තාම කාලත් නෑ. 
"මම යන්නම් බස්එකේ කොළඹ උඹලාට මේවා ගෙනියන්න බැරිනම් මේ පල්ලමට විසිකරලා දානවා. මට සල්ලි ලොකු නෑ." 
ඊයේ රාත්තියේ රාජුවාට දෙකක් අනින්න බැරිවුන කෙන්තියෙන් හිටපු මට ආයෙමත් දෙකක් අනින්නමයි හිතෙන්නේ. බොහෝම නිස්කලංක චරිතයක් වුනු කුමාර උයපුපිහපු භාජන ටික සෝදලා දැම්මා. ඩිකියේ පුරවලා තිබුනු එළවළු ගොනියයි පොල් ගොනියයි එළියට ඇදලා දමලා අපේ ලට්ට පට්ට ටික මුලින්ම ඩිකියට අඩුක්කරලා දැම්මා. ඩිකියේ දොර වැහැව්වේ එළවළු ටික තැලෙන්න හොද නැතිවුනත් ඇතුලට කොහොම හරි රිංගවලා තමයි. දැන් පොල් ගෝනියටයි කොස්ගෙඩියටයි  මොකද කරන්නේ? 
"මිනිහෝ දැන් පේනවා නේද උඹේ ඔය පොල් ගෝනිය පටවන්න ඉඩක් නැති විත්තිය." 
"මු පොල් කොළඹට අරන්යන්නේ එහේ පොල් නැති ගානට.  දන්නේ නැද්ද පොල් ති‍්‍රකෝණේ කොහේද කියලා?  මට පෙන්නේ මේකා වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැති පාටයි."
"හරි එහෙනම් පොල් ගොනියත් විසිකරපල්ලා. එළවළු ගොනියත් විසිකරපල්ලා. මට ඔය සල්ලි ලොකු නෑ. "
"අර අමාරුවෙන් එළවළු ගෝනිය ඇතුලට ඔබලා වහාපු ඩිකියේ දොර රාජුවා අයෙත් අරින්න හදනවා. "
"යකෝ  ඕක ආයෙත් අරින්න එපා."
"නෑ නෑ උඹලාට මේවා අරන් යන්න බෑ කිව්වේ. මට ඔනේ නෑ විසිකරලා යමු. මට ඔය සල්ලි ලොකු නෑ."
"ඇරලා එළියට ඇදලාදාපං බං මුගෙන් තියෙන මළකරදරේ. "
"ඔන්න ඔහේ කොහොම හරි අරන් යමු බං. පව්නේ ගෙදර ගෙනියන්න ගත්තු එ්වානේ. "
තිළිණයාගේ හිත උනුවෙලා කියවන්න ගත්තා.
"එහෙනම් අපිත් ගෙවල් වලට ගෙනියන්න අරවා මෙව්වා අරගන්න එපැයි. මේ මී හරකාට තේරෙන්නේ නැද්ද මේක කාර් එකක් මිස ලොරියක් නොවන විත්තිය. ඉඩක් ඇත්තෙත් නෑ තවත් පටවා ගන්නවා." 
"එයි උඹ කන්නේ නැද්ද?"
"මට එපා. "
"කියන දේ අහලා කාලා හිටපං."
"එක සැරයක් කිව්වානේ මට එපා. මට සල්ලි ලොකු නෑ."
"මූට සල්ලි වැඩි වෙලානේ. එපා නම් දාලා යමු."
"හරි බං ඔන්න ඔහේ අරන් යමු." 
පොල් ගොනියයි කොස්ගෙඩියයි එළියට දමලා පිටිපස්සේ සීට් එකේ ඇලවෙලා හිටපු රාජුවාට දිහා බලලා කුමාරත් කිව්වා.
 "ඔය පොල් ගෝනිය සිට් එක උඩ තියන්න බෑ. මුට ඔඩොක්කුවේ තියාගෙන යන්න කියපං." 
ඉතිං දැන් ඇදිරිවැටිලත් ඉවරයි. ආයෙත් ඉතිරි බඩු ටික පිටිපස්සෙන් පටවාගත්තාට පස්සේ  කොස් ගෙඩිය රාජුවාගේ කකුල් දෙක යටින් තියලා පොල් ගෝනිය ඔඩොක්කුවේ තිබ්බේ ආයෙත් ඌට හැරෙන්නවත් බැරිවෙන විදිහට. කොළොම්පුරේට එන්නට අපි එතැනින් පිටත්වෙලා ආවේ හවස හතට විතර. මීවිතෙන් සප්පායම් වෙලා බඩ පැලෙන්න කාලා හොඳට ගොරව ගොරවා උන් ටික බුදියා ගනිද්දි උන්ට හිතෙන් බැන බැන මම කාර් එක කොළොඹට පැදෙව්වා. එන අතර මගදි කුමාරත් එයාගේ හට්ටිවලං පැඳුරු කොට්ට ආදියත් එක්කම භාරදීලා ඊළග කොලොන්නාවෙන් රාජුවත් හැළුවා. රාජුවා බැස්සාම මට තිබුන ලොකුම හිසරදය නැතිවුනා වගේ වුනා. ආයේමත් කොළොම්පුරයට සම්ප‍්‍රාප්තවුන මම මුලින්ම හිතාගත්තේ රාජුවා වාගේ අමු බේබදු පිස්සෝ එක්ක කොහේවත් යන්නේ නෑ කියලා. 

ඔන්න  ඕක තමයි අපේ භීතිය තාස‍්‍රය ඉස්පොල්ලේ ගිය මීමුරේ සවාරිය. ආපහු එන ගමනේ සිදුවුනු තවත් බොහෝ දේවල් තිබුනත් ලිපිය තවත් මාගලක් වාගේ දිගුවෙන බව නිසා කෙටිකරලා දැම්මා.

31 comments:

  1. Api giya trip matha wenawa macho ela ela

    ReplyDelete
  2. හැක්... මදැයි ඔහොමවත් පන බේරගෙන ආව.
    රාජුව කොහොම වෙතත් අනික් පොරවල් දෙකනං ට්‍රිප් යන්න කියාපු බඩු දෙකක් වගේ.

    ReplyDelete
    Replies
    1. තිළිණයා නම් දැනට ඉන්නේ නැවක. කුමාරත් හොද බොක්කක් තියෙන ෆිට් පොරක් ලගදීම බත්තලංගුන්ඩුවටත් යන්නයි ඉන්නේ.

      Delete
    2. බත්තලංගුණ්ඩුව පැත්තෙ මේ දවස් වල මුහුද තදයි.. වහිනවා.. ටිකක් කල් ඇරලා යමන්

      Delete
    3. බත්තලන්ගුණ්ඩුවේ යන්න බෝට්ටුවක් හොයාගන්නේ කොහොමද?

      Delete
  3. අපෝ අර ඇනේ අරගෙන යන්න එපා ආය කොහෙවත් ...
    එල ද බ්‍රා ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. එදායින් පස්සේ රාජුවා තියාගත්තේ අතේ දුරටත් වඩා ටිකක් දුරින්.

      Delete
  4. කවුද බන් අර මීමුරේ ගයිඩ් බුවා.. ලක්බිම පත්තරේට යනකම් හිතා ගත්ත එතනින් එහාට මතක නෑ.. ලක්බිම මංජුසාව කියල එකක් මතකයි.. මංජු කෙනෙක් ද? එහෙම ගොතයෝන්ගේ නම ගම එක්කම කැරැක්ටර් එක දාපන් එතකොට අපිටත් පරිස්සන් වෙන්නවත්..

    බොරු කියන්නේ මොකටද.. අම්මප.. ට්‍රිප් එපා උනා ඕයි.. :))))

    ReplyDelete
    Replies
    1. එකේ පොඩි පත්තර කෑල්ල. අපොයි එහෙනම් ඉරිදා පත්තරේ අරගන්න වෙයි.

      Delete
    2. මංජුසාව කියන්නෙ ටැබ්ලොයිඩ් එක නෙමෙයි බොල.

      Delete
    3. අහ.. රිද්ම? අනිත් කෑල්ල රත්තරං ද? නෙද්දකින්..

      Delete
  5. "කොළොම්පුරේ මීමුරේ ගියා වගේ" කියන්න පුලුවන් නේද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අලුත්ම උපහැරනයක් දුමි හොයගත්තා වගේ. කොළොම්පුරේ මිමුරේ ගියාවගේ. නියමයි ස්තූතියි.

      Delete
  6. "කොළොම්පුරේ මීමුරේ ගියා වගේ" කියන්න පුලුවන් නේද?

    ජයවේවා!!!

    ReplyDelete
  7. ඔහොම කාලකන්නි එක්ක ට්‍රිප් යන්ඩ නෙමෙයි කතාකරන්ඩවත් හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද අප්පා ගියාට පස්සේ තමයි දන්නේ මිනිහා බිව්වාම ඇනයක් වෙනවා කියලා.

      Delete
  8. ට්‍රිප් නොයා යුතු විදිහ ගැන හොඳට ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. මෙව්වා කාට කාටත් හොද පාඩම් නේද ප‍්‍රා,
      When you make a mistake, there are only three things you should ever do about it: Admit it, Learn from it, and don't repeat it.

      Delete
  9. ට්‍රිප් එකකට හොඳම ගාන හතර.ඒකෙත් ඉතිං අර වගේ ඇණයක් හිටියා කියන්නෙ ඇති ඔයින් ගියා.. හෙහ් හෙහ්... කමියා ටෝච් හොරාගෙ නම ලියල තියන නිසා ආයෙ අපි ලියන්න ඕන නෑ නෙ.රෑට උයාගෙන කෑවත් දවල් වේල පොඩි කඩේකට ඇල්ලුවා නම් උඹලට තව ටිකක් ඇවිදින්න තිබුනා. ආයෙත් යන ගමන් ලියහං.. නියමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගමන චාටර් වුනත් මතක් කරනකොට මාර ෆන් එකක් තියෙනවා.

      Delete
  10. ඇති බන් ඔයින් ගියා......
    මොනා වුනත්හ් සුප්පා ෆන් එකක් අරන් වගේ

    ReplyDelete
    Replies
    1. පිස්සු හොදම එකෙන්. ඊළග එකට උඹවත් එකතුකරගන්නවා අනිවා.

      Delete
  11. ඔයින් ගියා මදැයි... නියමයි ඈ... හොඳ සටහනක්... ඔයාගෙ නැව් ගමන් ගැන අත්දැකීමුත් ලියන්න... ඒවා කියවන්න ආසාවෙන් ඉන්නවා... කීයෙන් කී දෙනාටද අප්පා එහෙම අත්දැකීමක් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතිල. නාවික දිවිය ගැන ලියන්නයි කියලා ඔයා ඇතුලුව අටම්පහුරේ අටං, අජිත් ධර්මකිර්ති, ප‍්‍රාජේ විතරක් නොවෙයි Transylvania ලියන ඩොක්ටර් රුවන්නුත් කිව්වා. නොලියා ඉන්න හැදුවේ ඒ දිවියේ විදපු සතුටට වඩා හෙලපු දහඩිය විදපු දුක් වැඩි හින්දයි. ඒ අත්දැකිම් අකුරුවලට ගලපන්න හරිම අමාරුයි. ඔයාලගේ ඉල්ලිම හින්දා ඉදිරියේදි ලියවෙයි.

      Delete
  12. හැම ට්‍රිප් එකකම රාජුවෙක් කුමාරයෙක් ඉන්නවමයි බං ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි හැබැයි උන්වාගේ පිස්සොත් එක්ක ගියෙත් තමයි ටි‍්‍රප් එකේ මතක සටහන් ටිකක් හරි ඉතිරිවෙන්නේ.

      Delete
  13. Athi oyin giya. Bebaddo ekka trip giyama pana beragena gedara ena ekath sure naha Asanga.

    ReplyDelete
  14. ට්‍රිප් එක නම් මරු....... ඒත් රාජු වගේ උන් එක්ක ට්‍රිප් යද්දී පරිස්සමෙන්......
    මොනව උනත් නියමෙට ලියල තියනවා.

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න